දකුණත් උතුරත් නොකියවූ පාඩම් | දිනමිණ

දකුණත් උතුරත් නොකියවූ පාඩම්

ලයනල් බෝපගේ තවමත් සිය අතීත අත්දැකීම්, වර්තමාන සමාජ තත්ත්වයන්, තමන් ඇසුරු කළ සමීප දේශපාලන මිතුරන්…. ආදී බොහෝ දේ ගැන කිරා මැන බලයි. ඒවායේ ගති ලක්ෂණ සම සමව විවේචනාත්මකව දකියි.

“අද පවතින මේ සමහර තත්ත්වයන් අපි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වුණ 60-70 දශකයේ ලෝක තත්ත්වයන්ට වඩා වෙනස්. ඒවගේම අද දවසේ අපේ රටේ දේශපාලන ව්‍යාපාරවලට එක්වෙන තරුණ පරම්පරාවේ තත්ත්වයන් හා පසුබිම එදාට වඩා වෙනස්. රෝහණ සහෝදරයා ඇතුළු අපි බොහොම දෙනෙක් ජනතා විමුක්ති පෙරමුණට එක් වුණේ සිංහල බෞද්ධ ගැමි පරිසරයකින්. ඒ පරිසරයෙන් උකහා ගත් සමහර ලක්ෂණ අප තුළ ශේෂ වී තිබුණා. ඒවා එක්තරා අන්දමක මානසික බැඳීම්. ඒත් ඇතැම් අය කියන අන්දමට ඒ බැඳීම් ඒ ආකාරයටම අපි තුළ දිගින් දිගටම තිබුණා කියලා කියන්න බැහැ. අපි ඒ මතිමතාන්තරවලට පමණක් කොටුවෙලා හිටියා කියල මම කියන්නේ නැහැ. ඒක ජනතා විමුක්ති පෙරමුණේ එක සාධනීය ලක්ෂණයක්.”

“පිරිහී තිබෙන සමාජ ක්‍රමය වෙනුවට වඩා යහපත් සමාජයක් ගොඩනැඟීම සඳහා ඉදිරියට යන්නට තිබෙන මාර්ගය පාලක පැලැන්තිය විසින් සමාජ ආන්තික ජාතිවාදී හා ජාතිකවාදී ස්ථාවර යොදාගෙන අහුරා දමා තියෙනවා. ඒ ස්ථාවරවලින් ගැලවෙන්නට අපටත් නොහැකි වුණා. එපමණක් නොවෙයි, අසූ ගණන්වල අවසාන භාගයේ සිට සමාජ ආන්තික ජාතිවාදී හා ජාතිකවාදී සංවිධාන සමඟ එකම වේදිකාවේ එකම වැඩපිළිවෙළක් මත කටයුතු කරමින් ඒ ස්ථාවරවලට යටත් වෙලා ඒවා සමාජය තුළ ශක්තිමත් කරලා, තහවුරු කරලා පැළපදියම් කරන්න අපි හේතුකාරක වුණා. විශේෂයෙන්ම 1982 ජනාධිපතිවරණයට පස්සේ 1987 දෙවන සන්නද්ධ නැඟිටීම අවස්ථාවේත් රෝහණ සහෝදරයා ඇතුළු පක්ෂයේ නායකත්වය ජාතිවාදය දෙසටම තල්ලු වුණා. රෝහණ සහෝදරයත් පක්ෂයත් එතරම් ම පසුගාමී අන්දමකට ජාතිවාදය දෙසට තල්ලු වුණේ කොහොමද කියන එක අදත් මතුවෙන, ඒ වගේම නිවැරදිව සාකච්ඡාවට ලක් කළ යුතු ප්‍රශ්නයක්.”

බෝපගේ පවසන අන්දමට 60 දශකයේ පසුභාගයේ සහ 70 දශකයේ මුල් භාගයේ දෙමළ තරුණයන් මෙන් ජනතා විමුක්ති පෙරමුණ ද ජාතිවාදයෙන් මි දී තිබුණේ නැත. එහෙත් ජ.වි.පෙ. බිහිවුණු අවධියේ සහ විශේෂයෙන්ම 1971 අප්‍රේල් නැඟිටීමෙන් පසු 1983 දක්වා වූ කාලය තුළ දී ජ.වි.පෙ. උග්‍ර ජාතිවාදී ව්‍යාපාරයක් නොවීය.

ජාතිවාදී හා ජාතිකවාදී ප්‍රවණතා පරාජය කොට මානව හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත පදනම්ව ලංකාවේ ඔඩු දුවමින් පවතින ජාතික ප්‍රශ්නයට කල් පවතින විසඳුමක් සොයා ගත හැකි බවත් එවැනි විසඳුමක් සොයා ගැනීමට එරෙහිව පනවා තිබෙන අවහිරකම් ජය ගත හැකි බවත් ජ.වි.පෙ. සිටියදීම ලයනල් බෝපගේ විශ්වාස කළේය. 70 දශකයේ බන්ධනාගාරගතව සිටිය දී ඔහු ජාතික ගැට‍ලුව පිළිබඳව අධ්‍යයනය කොට අන්තර්-වාර්ගික දේශපාලන සංවාදයකට මූලාරම්භයක් තනන්නට උත්සාහයක් කළේය. එහෙත් ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් සම්ප්‍රදායික වම දේශපාලනය අවස්ථාවාදයේ ගිලී ගිය ආකාරයටම අවසානයේ දී ජ.වි.පෙ. දේශපාලනය ද, ඇතැම්විට සාම්ප්‍රදායික වමේ දේශපාලනය ද ඉක්මවා යමින් අවස්ථාවාදයේ ගිලී ගිය බව බෝපගේ විශ්වාස කරයි.

සාම්ප්‍රදායික වම හා එල්.ටී.ටී.ඊ.ය ට සමාන අන්දමකට අන්ත ජාතිවාදීන්ට මුහුණ දී, සියලු ජන ප්‍රජාවන්ට අයත් සාමාජිකයන් එක අරමුණක් කරා එකමුතු කරන්නට අත්‍යවශ්‍ය වන අන්දමේ අනවරත දේශපාලන අරගලයක් කරන්නට තරම් දේශපාලන දැක්මක්, ඉවසීමක් හෝ දරාගැනීමේ ශක්තියක් ජනතා විමුක්ති පෙරමුණට ද නොතිබුණ බව බෝපගේ කියයි. ක්ෂණික විප්ලවය පිළිබඳ අදහස මුරණ්ඩු ආකාරයේ එකක් විය. ජ.වි.පෙ. 1971 කැරැල්ලෙන් පාඩම් ඉගෙන නොගත්තේය. ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන විචාරය පමණක් නොව එහි දේශපාලන සංස්කෘතිය ද තීක්ෂණ වූවද නව-යටත්විජිතවාදී ප්‍රභූ පැලැන්තිය සිය වුවමනා එපාකම් ආරක්ෂා කර ගැනීම උදෙසා කෙතරම් කෲර විය හැකිද යන වැදගත් දේශපාලන පාඩමට ඔවුහු ඇහුම්කන් දී තිබුණේ නැත. ඒ නිසාම 80 දශකයේ අග භාගයේ දී ඔවුහු ඛේදජනක ලෙස ඒ වරදටම නැවතත් සිදු කළ බව බෝපගේ කියයි.

“ජ.වි.පෙ.ට නිරන්තරයෙන් කරපු හිරිහැර, අත්අඩංගුවට ගැනීම් සහ කාර්යධරයන්ට වධ වේදනා පැමිණවීම් තුළින් ශ්‍රී ලංකා රජය ජ.වි.පෙ. මත මුදා හරින ලද මර්දනය සහ උග්‍ර භීෂණය හොඳින් ම දකින්නට තිබුණා. ඊට වඩා වෙනස් දෙයක් ධනේශ්වර රජයකින් බලාපොරොත්තු වෙන්නට නොහැකි බවයි මා අදත් විශ්වාස කරන්නේ. ශ්‍රී ලංකාව වගේ අපරිණත නව යටත්-විජිතවාදී රාජ්‍ය ගැන සිතා නොබැලුවත්, මුල් අවදියේ සෑහෙන කාලයක් සන්නද්ධ විප්ලවය ගැන පංති පවත්වලා රහසිගතව වර්ධනය වුණු කණ්ඩායමකට එරෙහිව එවැනි මර්දනයක් දියත් නොකරන ලද එකම හෝ ධනවාදී රාජ්‍යයක් ලෝකයේ නොමැති බව අපි කල්පනා කරන්න ඕනේ. අපරිණත විප්ලවයක දී මුදා හැරෙන භීෂණය පිළිබඳව ප්‍රමාණවත් උදාහරණ පක්ෂයේ දේශපාලන පංතිවල දී අපි සාකච්ඡා කළා. ඊට එරෙහිව දියත් කරන රාජ්‍ය මර්දනයකින් බලාපොරොත්තු වෙන්නට හැකිව තිබුණ දේ 1971 අරගලයෙන් පසුව වත් ජ.වි.පෙ. කල්පනා කර බැලිය යුතුව තිබුණා. රජයට අවශ්‍ය වෙලා තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යධරයන් හැකි තරම් ඝාතනය කරන්න යි, තවත් අසීමිත සංඛ්‍යාවකට වධ වේදනා පමුණුවල අංගවිකලයන් බවට පත්කොට හිරකර දමන්න යි. රජය ඒ මඟින් පවතින ක්‍රමයට එරෙහිව නැඟී ආ හැකි අලුත් ව්‍යාපාර වර්ධනය වීම වළක්වා ලන්න උත්සාහ කළා.”

උතුරු නැඟෙනහිර ඒ.කේ. 47 අතට ගත් ‘කොලු ගැටව්’ත් මෙම දේශපාලන පාඩමට ඇහුම් කන් නො දුන්හ. පවතින තත්ත්වයට තර්ජනයක් එල්ල වූ විට තමන්ගේම සිංහල ‘භූමි පුත්‍රයන්ට’ එරෙහිව රාජ්‍යය ප්‍රතික්‍රියා කළ අන්දම ඔවුන් දැකිය යුතුව තිබුණි. බෝපගේට අනුව එල්.ටී.ටී.ඊ.ය ද ඒ දේශපාලනික අපරිණතභාවයෙන් පිරී තිබුණි. අවසානයේ ජනතාව එල්.ටී.ටී.ඊ.යේ ක‍ෲරත්වය සහ බොළඳ දේශපාලන වැඩපිළිවෙළ වෙනුවෙන් දස දහස් ගණන් සාමාන්‍ය දෙමළ වැසියෝ තවමත් වන්දි ගෙවති. ඔවුන්ගේ එකම දේශපාලන වැඩපිළිවෙළ වූයේ කවර තත්ත්වයක් යටතේ හෝ වෙනම ඊළාම් රාජ්‍යයක් දිනා ගැනීමයි. නැතහොත් එය දිනා ගැනීමට උත්සාහ කරමින් මියැදීම යි. ආරම්භයේ දී එල්.ටී.ටී.ඊ.ය සාර්ථක බවක් දැක්වූ නමුත් එල්.ටී.ටී.ඊ.ය.ට වඩා යුදමය, මූල්‍ය සහ අනෙක් අනන්තවත් සම්පත් සහිත වූ රජය අවසානයේ දී අතිවිශාල පරිමාණයේ යුද මෙහෙයුම් කිරීමෙන් යුද්ධය ජය ගත් බව බෝපගේගේ අදහසයි.

“දකුණේ දී වගේම උතුරේදීත් අවසානයේ සිදු වුණේ කුමක්ද? ඇත්තටම එල්.ටී.ටී.ඊ.යේ ‘පාරට්ටු කළ යුද ශූරත්වය’ ශ්‍රී ලංකාවේ රජයයි, රජයට ජාත්‍යන්තර මූල්‍ය සහ යුද අනුබලය ලබා දුන් අයයි සමඟ සමාන කරන්න බැරි වුණා. මේ තත්ත්වය වඩා සංකීර්ණ බවට පත් වුණේ එල්.ටී.ටී.ඊ.ය තමන්ට විරුද්ධ වුණු ඕනෑම දේශපාලන ප්‍රවණතාවයක් විනාශ කර දැමීමෙන්. එයින් බේරී දිවි ගලවා ගත් සමහරු විදේශගත වුණා. ඉතිරි වුණු අයගෙන් කොටසක් ශ්‍රී ලංකාවේ රජයට පක්ෂපාතී වුණා. මේ විනාශයට පෙර 71 මෙන්ම 87-89 දීත් ජ.වි.පෙ. ලැබූ විනාශකාරී අත්දැකීමෙන් එල්.ටී.ටී.ඊ.යට පාඩම් ඉගෙන ගත හැකිව තිබුණා. ඔවුන්ට කරන්න තිබුණේ තම සටන් ශූරත්වය හුවා දක්වනවාට වඩා දකුණේ ජනතාව සමඟ දේශපාලන සංවාදයකට එළඹීමයි. අනෙක් අතට උතුරේ දෙමළ තරුණයන් ‘යක්ෂ වෙස්’ ගන්වා පෙන්වනවා වෙනුවට ජ.වි.පෙ. වැනි සංවිධාන කළ යුතුව තිබුණේ උතුරේ ජන කොටස්වල මානව හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන් සමඟ එක්ව කටයුතු කරන එක. නමුත් එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. "ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ගත්ත අවස්ථාවාදී ස්ථාවරයත් එක්ක ඔවුන් කරන ලද වැරදි සහගත දේ වඩාත් සංකීර්ණ බවට පත් වුණා. අවසානයේ දී මේ සංවිධාන දෙකම තමන්ගේම විනාශයත් තමන් පෙනී සිටි ජනතාවගේ විනාශයත් ශේෂ කර ගත්තා. නමුත් අවසානයේ දී හඳුනා ගත යුතු කරුණ වෙන්නේ කවුද මේ අන්ත ජාතිකවාදී කොටස් බිහි කරලූයේ යන්නයි. ඇත්තටම මේ සියලු කරුණුවල සැබෑ චූදිතයන් විය යුත්තේ නව යටත් විජිතවාදී ප්‍රභූ පැලැන්තිය යි. ”

“මට පෞද්ගලිකව අත්දැකීම් තියෙන්නේ රෝහණ විජේවීර සහෝදරයා එක්ක. එල්.ටී.ටී.ඊ. නායකත්වය ගැන කියන්නට මම දන්නේ නැහැ. රෝහණ සහෝදරයාත් මමත් 1960 ගණන්වල ඉඳලා 1983 මැද වෙන තෙක් ඉතාමත් සමීප දේශපාලන මිතුරන් ව හිටියා. ඒ නිසාම ඔහුගේ ගති ලක්ෂණ ගැන මට සෑහෙන අවබෝධයක් තියෙනවා.”

“රෝහණ විජේවීර නමැති චරිතය තුළ ඔහුගේ මුලු ජීවිත කාලය පුරාම යහපත් වූ මෙන්ම යහපත් නොවූ ද ප්‍රබල අංග ලක්ෂණ දකින්න තිබුණා. ඔහු සතුව තිබුණු දේශපාලන මතකය සහ චතුර කථිකත්වය හේතුවෙන් ඉතාමත්ම සරල ලෙස පොදු ජනයා වෙත කරුණු පැහැදිලි කර දෙන්නට තරම් ඔහුගේ වාග් ශෛලිය තුළ ප්‍රබල හැකියාවක් තිබුණා. ඒ හැකියාව නිසා අසන්නන්ගේ මනස තුළ උද්වේගකාරී හැඟීම් ජනිත කරවන්නට ඔහුට තිබුණේ ඉමහත් ශක්තියක්. ඒ ශක්තිය යොදවා අප හා එකඟ නොවන වෙනත් අදහස් දරන පුද්ගලයන් දේශපාලන වශයෙන් විවේචනය කිරීමට පමණක් සීමා නොවී ඔවුන්ට පුද්ගලික ලෙස පහර දීමත්, ඔවුන්ගේ චරිත ඝාතනයට ලක් කිරීමත් හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට එරෙහිව අනවශ්‍ය සතුරන් සෑහෙන්නට ඇති කර ගත්තා.”“සමාජ ආර්ථීක සහ දේශපාලන සිද්ධීන් විශ්ලේෂණය කරන්නට රෝහණ සහෝදරයාට ප්‍රබල හැකියාවක් තිබුණා. පක්ෂයේ දේශපාලන රැස්වීම්, රැළි සහ පෙළපාලි සංවිධානය කරන්නටත් අසීමිත හැකියාවක් ඔහු සතුව තිබුණා. ඒ හැකියාව ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැඟීමට අතිශයින් ඉවහල් වුණා. ඔහු ඒ සඳහා කැප වුණා. නායකත්වය දුන්නා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැඟුණේ ලද්දේ රෝහණ සහෝදරයා විසින්ම දරන ලද පරිශ්‍රමයේ ප්‍රතිඵලයක් වශයෙන් පමණක් නොවන බව අප අමතක නොකළ යුතුයි. ව්‍යාපාරය ගොඩනඟන ලද මුල් කාලයේ සනත් සහ ලොකු අතුල වැනි පසුකාලීනව පක්ෂයේ දේශපාලනයෙන් ඉවත්ව ගිය, ඇතැම් විට පක්ෂයට එරෙහිව නොයෙක් කටයුතුවල යෙදුණු අය පවා ඒ පරිශ්‍රමයට මුලින් දායක වුණ දස දහස් ගණන් සහෝදර සහෝදරියන් මෙන්ම හිතවතුන් ද ඒ සඳහා දායක වුණා. පරිත්‍යාග කළා. අවසානයේ තම ජීවිත පවා ඒ වෙනුවෙන් කැප කළා. මෙම හැකියාවන් කෙතරම් දුරට 1971 අරගලය ආසන්නයේ ඉතා ඉක්මණින් වෙනස් වෙමින් පැවැති දේශපාලන වාතාවරණය විශ්ලේෂණය කරන්නට සහ එම අරගලයේ සංවිධාන කටයුතු සාර්ථක ලෙස සංවිධානය කරන්නට ඇත්තටම ඉවහල් වුණාද යන්න අප කල්පනා කළ යුතුයි.”

“රෝහණ සහෝදරයාගේ චරිතයත් ඔහුගේ දේශපාලන මානසිකත්වය තුළ ඇති වී තිබුණ දෝළන ස්වභාවයත් හොඳින් පිළිබිඹු කරන්නේ ඔහු විසින්ම මනා ලෙස විශ්ලේෂණය කොට ඉදිරිපත් කරන ලද ‘අවස්ථාවාදය’ නමැති ප්‍රපංචය තුළම ඔහුත් ඔහුගේ දේශපාලනයත් ජනතා විමුක්ති පෙරමුණත් චීන කොමියුනිස්ට් පක්‍ෂය සහ එහි නායකත්වය තරමටම අවස්ථාවාදී මඩ ගොහොරුවේ ගිලී යාම. මාක්ස්වාදයත් ජාතිකවාදයත් අතර දෝළනයට ලක් විය හැකි ආකාරයේ මනෝ තත්ත්වයන් රෝහණ සහෝදරයාගේ චරිතය තුළ දිස්වෙන්නට බලපෑ සමාජ පංතිමය සාධක හැරුණු විට එසේ බලපෑ අන්‍ය සාධක මොනවා දැයි යන්න සලකා බැලීම අදටත් වැදගත්.”

සිසිර යාපා

අවසන් කොටස ‍හෙට - අලුත් ලෝකයක් ගැන නොවෙනස් බලාපොරොත්තුව

නව අදහස දක්වන්න