කනවට වැඩිය අහක දැමීම! | දිනමිණ

කනවට වැඩිය අහක දැමීම!

අපේ රටේ අස්වැන්නෙන් තුනෙන් එකක් සතුන් විසින් කා දමනු ලැබේ. එය කොතරම් උග්‍ර තත්ත්වයට පත්වී තිබේද යත්; වඳුරන්, රිලවුන්, වනඅලින්, වල්ඌරන්, දඬු ලේනුන් හා මොනරුන් නිසා ඇතැම් ප්‍රදේශවල වගා කටයුතු මුළුමනින්ම නවතා දමා ඇත. චීනයේ පර්යේෂණ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය හා එහි පලදාව ගැන සමීක්ෂණයක් සිදුකර තිබේ. එම සමීක්ෂණ වාර්තාවලින් පෙනී යන්නේ ජනතාව වගා කරන දෙයින් ඉතා ස්වල්ප ප්‍රයෝජනයක් පමණක් ලබන බව ය. මේ අතර කාලගුණික විපර්යාස නිසාද තවත් හේතු නිසා ද වගාව පාළු වෙයි. ඒවාට වන්දි ගෙවීමට ද රජයට සිදු වෙයි.

ආහාර නිෂ්පාදනය, ආහාර බෙදාහැරීම, ගබඩා කිරීම හා ඒවා පරිභෝජනය කිරීම සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් අපට නැත. රසායනික පොහොර, කෘමිනාශක ඉවත් කරන්නැ’යි බලවත් හඬක් රට තුළ පවතී. එහෙත් මේවා එකවර ඉවත් කළ විට අස්වැන්න හොඳට ම අඩු වෙයි. ඒ අනුව ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යයි. සෞඛ්‍ය සංඛ්‍යා ලේඛනවලට අනුව රටේ ජනගහනයෙන් 16%ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙති. ලෝක තත්ත්වය ගතහොත් කෝටි විස්සක් පමණ සාගින්නේ සිටිති. මේවාට විසැඳුම් යෝජනා කරන ලෝක ආහාර සංවිධානයේ එක් උපදේශනයක් වන්නේ ආහාර නාස්තිය වහා ම නැවැත්විය යුතු බවය.

අප මේ පූර්විකාව ලියා තැබූයේ ජනාධිපතිවරයා මෑතකදී කළ අපූරු කතාවක් පිළිබඳ විවරණයක යෙදීමට අවශ්‍ය පසුබිම සකස්කර ගැනීම සඳහා ය. මෛත්‍රීපාල සිරිසේන මහතා එම කතාවේ දී කියා සිටියේ මේ රටේ ආහාර නාස්තියට කදිම නිදසුන පාර්ලිමේන්තුව බව ය. සෑම පාර්ලිමේන්තු වාරයක් පාසාම විශාල ආහාර තොගයක් ඉවතලනු ලැබේ. සියලු මන්ත්‍රීවරුන් සෑම සභාවකට ම සහභාගී වන්නේ නැත. සහභාගී වන අය ද පාර්ලිමේන්තුවේ ආහාර භුක්ති විඳින්නේ නැත. ඊයේ පුවත්පත් වාර්තාවක් පෙන්වා දුන් අන්දමට මේ වසරේ පාර්ලිමේන්තුව පැවත්වූ වාර ගණන පනස් ගණනකි. එහෙත් මන්ත්‍රීවරුන් දෙසීය දෙනකු පැමිණ ඇත්තේ එක ම එක දිනයක පමණි.

ජපානය ඉතා ශීඝ්‍ර ආර්ථික දියුණුවක් ලැබූයේ නාස්තිය පිටුදැකීමෙන් හා පිළිවෙළකට වැඩ කිරීමෙන් බව කියති. ජපානය අනුගමනය කරන එස් - පහ නම්; සූත්‍රයක් තිබේ. එම සූත්‍රයෙන් සිදුකරන්නේ නාස්තිය වළක්වා කාලයෙන් උපරිම ප්‍රයෝජන ගෙන වැඩකිරීමට ජනතාව පෙළඹවීම ය. අපේ රටේ ද එස් - පහ ක්‍රමය තහවුරු කිරීමට බොහෝ අය උත්සාහ කළහ. එහෙත් ඒ එක ප්‍රයත්නයක් හෝ සාර්ථක වූ බවක් පෙනෙන්නට නැත. අප තව ම පසුවන්නේ අවිධිමත් ලෙස අපේ ආර්ථික ක්‍රියාවල යෙදෙන තැනක ය. ඊට හොඳ ම නිදසුන අපේ කෘෂිකර්මය යැයි කිව හැකි ය.

ජනාධිපතිවරයා සිය කතාවේ දී පැහැදිලි කළේ ලෝකයේ දියුණු රටවල් හා සංවිධාන අනුගමනය කරන විද්‍යාත්මක ක්‍රමවේද භාවිත කරමින් අප ද ආහාර නිෂ්පාදනය හා ඒවා පරිභෝජනය සම්බන්ධයෙන් විධිමත් ප්‍රතිපත්තියක් ඇතිකර ගත යුතු බව ය. මේ සම්බන්ධයෙන් සාකච්ඡා හා සංවාද පවතින්නේ සැලැකිය යුතු කාලයක සිටය. එහෙත් අවම වශයෙන් ජාතික ආහාර ප්‍රතිපත්තියක් හෝ ක්‍රියාත්මක මට්ටමට ගෙන ඒමට අප සමත් වී නැත. එක අතෙකින් මන්දපෝෂණය ව්‍යාප්ත වන අතර තව අතෙකින් දියවැඩියාව, හෘදරෝග, අධි රුධිර පීඩනය වැනි බෝනොවන රෝග ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙයි. අන්තිමට අප දකින්නේ ලෙඩ වූ සමාජයකි.

ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිට හඳුන්වා ඇත්තේ ආහාර අතින් ස්වයංපෝෂිත වාසනාවන්ත රටක් හැටියට ය. අපේ ‍දේශගුණය, පස හා ජලසම්පත් ගැන විදේශිකයන් ලියා ඇති දේවල් මීට හොඳම සාක්ෂ්‍ය ලෙස පවතී. වියළි දණ්ඩක් වීසි කළද එය පැළවී පලදරන පසක් හා පොහොරක් මේ රටේ ඇතැ’යි බොහෝ කියමන්වලින් සනාථ‍ වෙයි. එය බොරුවක් නො ව; සත්‍යයක් බව ඉතිහාසය විමසන විට පැහැදිලි වෙයි. එහෙත් අද අප පසුවන්නේ එවැනි සශ්‍රීක තැනෙක නො‍ෙව්. කන්න හතර - පහ වගා කළ නොහැකි පසුබිමක් ඇති ප්‍රදේශ රට තුළ තිබේ. මේවාට විසැඳුම් අපම සොයා ගත යුතුය.

වගාවට හානි කරන කෘමීන් ඇතොත්; උන් වඳ කළ යුතු ය. වගාව කා දමන වනසතුන් ඇතොත්; උන්ගේ බෝවීම වැළැක්විය යුතු ය. ශ්‍රී ලංකාවේ වල්ඌරන්ගේ ශීඝ්‍ර ව්‍යාප්තියට විසැඳුමක් ලෙස පැවැතියේ උන් දඩයම් කිරීමට අවස්ථාව ලබා දීමය. එහෙත් ඊට තහනමක් පැන වූ හෙයින් වල් ඌරෝ තොග පිටින් වගා බිම්වලට කඩා වැදුණාහ. දඬුලේනුන්, රිලවුන්, වඳුරන් හා මොනරුන් ගැන සලකා බැලුවද ඇත්තේ ඊට ‍ සමාන තත්ත්වයකි. පාපය පිළිබඳ සංකල්පය නිසා සත්ව ඝාතනය අපේ සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඝාතනය කරන්නට අවශ්‍ය නැත. වගා බිම් ආරක්ෂා කරගැනීම පමණක් සිදු වුවහොත් එය ප්‍රමාණවත් ය.

ලෝකයේ දියුණු කෘෂිකර්මය පව් - පින් සලකන්නේ නැත. පව් - පින් සලකන අයට සාර්ථක වගාවක් කළහැකි ද යනු ප්‍රශ්නයකි. හේන් වගාව සඳහා කැලෑ එළිකොට සියල්ලට ගිනි තබනු ලැබේ. එසේ නොකොට හේන් වගාව කළ නොහැකි ය. මේ ගිනිලෑමේ දී සැලැකිය යුතු සත්ත්ව කොට්ඨාසයක් මියයති. එහෙත් මිනිසාගේ පැවැත්ම සඳහා එය කළ යුතුව තිබේ. හේන් ගොවියා එදා කැලෑවට ගිනි තැබීමට පෙර කෑගසා සතුන් එළවා දැමූ බව සඳහන්ය. ඒ හැර ගොවියාට කළ හැකි වෙනත් දෙයක් නැත.

රටක ආර්ථිකයට මෙන් ම විශේෂයෙන් කෘෂිකර්මයට සාම්ප්‍රදායික චින්තනය ඒ හැටි ගැළපෙන්නේ නැත. අමෙරිකාව තිරිඟු වගාව සඳහා භාවිතා කරන්නේ විද්‍යාත්මක ක්‍රමවේද පමණි. වියට්නාමය, තායිලන්තය, ආසියාවේ සාම්ප්‍රදායික චින්තනය සහිත සමාජ කොට්ඨාසවලින් සමන්විත වන්නේ වුව ඔවුන් වී වගාව සඳහා භාවිත කරනුයේ විද්‍යාත්මක ක්‍රමවේද පමණි. එබැවින් ඒ රටවල අස්වැන්න වැඩි ය. මේ රටවල් දෙක ම සහල් අපනයනය කරති. ශ්‍රී ලංකාවටද සහල් අපනයනය කළ හැකි තත්ත්වයක් තිබේ. එය සැලැසුම් සහගත වැඩසටහනක් විය යුතු ය.


නව අදහස දක්වන්න

Or log in with...