ප්‍රේක්ෂකයන් අපේක්ෂා කරන මට්ටමට ක්‍රීඩා කරන්න බැරි දවස් තිබෙනවා | දිනමිණ

ප්‍රේක්ෂකයන් අපේක්ෂා කරන මට්ටමට ක්‍රීඩා කරන්න බැරි දවස් තිබෙනවා

ෆවුස් මොහොමඩ්

හැකි උපරිම අයුරින් ක්‍රීඩා කිරීමට නිරතුරුවම උත්සාහ කළත් එය සාර්ථක වන අවස්ථා මෙන්ම අසාර්ථක වන අවස්ථාව ද තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල කියයි. පරාජය වීම සෑම ක්‍රීඩකයකුටම දුකක් බවත් ඔහු පවසයි.

වර්ෂාව හේතුවෙන් පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පෙරේදා පැවැත්වීමට නියමිතව තිබූ දිවා රාත්‍රී තුන්වැනි එක්දින තරගය අවසානයේ ඕවර 21ක තරගයක් ලෙස පැවැති අතර එංගලන්තයට කඩුලු 7ක පහසු ජයක් අත්විය. පෙරේදා පස්වරු 2.30ට ආරම්භවීමට නියමිතව තිබූ තරගය අවසානයේ ආරම්භ වූයේ රාත්‍රී 8.15ටය. එතෙක් වේලා පැය 6කට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය වෙනුවෙන් බලා සිටි ක්‍රීඩාලෝලීන්ට අවසානයේ ආපසු ගෙදර යාමට සිදුවූයේ හිස් අතිනි.

‘ලකුණු 150ක් ගහලා මැච් එකක් දිනන්න බෑ. විශේෂයෙන් ඕවර 21ක තරගයකදී. ඇරත් රාත්‍රී කාලයේ පන්දුව තෙතයි. වර්ෂාවත් එක්ක රාත්‍රී කාලයේ තරගයක් දිනන්න ඒ ලකුණු ප්‍රමාණය මදියි. අපි අසාර්ථක වෙන්න බලාගෙන පිටිය මැදට යන්නේ නෑ. උපරිමයෙන් ක්‍රීඩා කරන්නේ. බැරිවෙන දවස් තියෙනවා. පුළුවන් වෙන දවස් තියෙනවා. සමහර වෙලාවට ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වන මට්ටමට ක්‍රීඩා කරන්න බැරි දවස් තියෙනවා. පුළුවන් දවස් තියෙනවා.’ පෙරේදා තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදි ඔහු එසේ කීවේය.

‘අපි හොඳ ආරම්භයක් ලබාගත්තා. තිසර දැවී නොගියා නම්, එයා පන්දුවාර 5-6ක් වත් සිටියා නම් අපි අනිවාර්යයෙන්ම ලකුණු 190කට වඩා ලබාගන්නවා. එහෙම වුණානම් මේ තත්ත්වය වෙනස් වෙන්න තිබුණා. මොකද රෑට පන්දු යවන්න අමාරුයි. තෙත ගතියක් තිබුණා. ඒත් අපිට ලකුණු 20-25ක් විතර මදිවුණා. තිසරගේ දැවීයාමත්, ලකුණු අනූගණන් වෙද්දී කඩුලු 4ක්ම බිඳ වැටීමත් නිසා අපි ලොකු පසුබෑමකට ලක්වුණා. හොඳ සම්බන්ධතා ගොඩනගන්න, හොඳ ලකුණු ප්‍රමාණයක් ගන්න ආරම්භක පිතිකරුවන් වගේම මැදපෙළ පිතිකරුවනුත් ලකුණු අතරට ආ යුතුයි. ඒත් මේ තරගයේදී අපි හොඳ ආරම්භයක් ගත්තත්, මැදපෙළ අසාර්ථක වුණා. මම මං ගැන සතුටු වෙන්නේ නැ. බොහෝ අවස්ථාවල ආරම්භක පිතිකරුවෙක් විදිහට ලකුණු 30ක්, 40ක් පමණ රැස් කළත් තරග 4කට 5කට එකකදී තමයි ලකුණු 70ක්, 80ක් පමණ ලබා ගන්නේ. මම ඒ ගැන සෑහීමකට පත්වෙන්නේ නෑ. මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මීට වඩා හොඳින් ක්‍රීඩා කරන්න.’ ඔහු කීවේය.

නිරෝෂන් දික්වැල්ල සහ සධීර සමරවික්‍රම සාර්ථක ආරම්භක් ලබාදී තිබියදීත් අංක 3 පිතිකරුවා ලෙස ලකුණු අතර නොසිටින කුසල් මෙන්ඩිස් පිටියට යැවීම කාගෙත් විමතියට කරුණක් වී තිබිණි. පෙරේදා තරගයත් සමග කුසල් මෙන්ඩිස් පිට පිට තුන්වතාවක්ම ලකුණු නොලබා දැවී ගියේය.

දෙපිල අතර සිවුවැනි එක්දින තරගය දිවා තරගයක් ලෙස 20 දා පල්ලෙකැලේ පිටියේදී පැවැත්වෙයි.

 


නව අදහස දක්වන්න

Or log in with...