අත්‍යාවශ්‍ය- ගුණාත්මක කිසිදු ඖෂධයක් වෙළෙඳ පොළෙන් ඉවත් වී නෑ | දිනමිණ

අත්‍යාවශ්‍ය- ගුණාත්මක කිසිදු ඖෂධයක් වෙළෙඳ පොළෙන් ඉවත් වී නෑ

කිසිදු අත්‍යාවශ්‍ය සහ ගුණාත්මක ඖෂධයක් වෙළෙඳ‍පොළෙන් ඉවත් වී නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

සති අන්ත ඉංග්‍රීසි පුවත්පත්වල සහ දිනපතා පුවත්පත්වල අත්‍යාවශ්‍ය ඖෂධ වෙළෙඳපොළෙන් ඉවත්වන බවට පළවූ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

අත්‍යාවශ්‍ය සහ ගුණාත්මක ඖෂධ වෙළෙඳපොළෙන් ඉවත් වන්නේ නැහැ. වෙළෙඳපොළේ අලෙවියක් නොමැති නිසා තමයි ඇතැම් ඖෂධ ඉවත් වන්නේ. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 73 ක මිල අඩුකිරීම නිසා ඖෂධ පරිහරණය සියයට 600 කින් වැඩි වී තිබෙනවා. ඇතැම් ලේඛිකාවන් බොරු ප්‍රවෘත්ති මවමින් රෝගී ජනතාව බියට පත් කරනවා. අලෙවියක් නොමැති නිසා ඖෂධ වෙළෙඳපොළෙන් ඉවත් වූ ඖෂධ අලෙවි කරන සමාගම්වල වුවමනාවට ලිපි ලියනවා. මෙය අමූලික බොරුවක්. ඖෂධ මිල අඩු කිරීම නිසා ජනතාවට ප්‍රතිලාභයක් ලැබුණා. මිනිසුන් සූරාකන ඖෂධ මාෆියාවේ කොල්ලය තමයි මම නැති කරන්න උත්සාහ කරන්නේ. ඊට මාධ්‍ය උදව් කළ යුතුයි. දුම්කොළ සමාගම්වලට එරෙහිව බදු පනවන විටත් පැණිබීම සමාගම්වලට වර්ණ සංකේත ක්‍රමය හඳුන්වා දෙන විටත් ඇතැම් ඉංග්‍රීසි පුවත්පත් ජනතාව දෙස නොව සමාගම් දෙස බලා පුවත් පළ කළා. මේවා පිටුපස තිබෙන්නේ මුදල්. ආයුධ වෙළෙඳාමට වඩා ඖෂධ වෙළෙඳාම හරිම භයංකාරයි. ප්‍රධාන සමාගම් දෙකකට තමයි මෙම ප්‍රශ්නය තිබෙන්නේ. ‍මම රෝහල් ගාස්තු නියාමනය කරන්න සූදානම් වන විටත් එය කඩාකප්පල් කරන්න එම සමාගම් උත්සාහ කළේ ඔවුන්ට පෞද්ගලික රෝහලක් තිබෙන නිසයි.

නව අදහස දක්වන්න