අගමැති කොළඹ වරාය ගැන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ නැහැ | දිනමිණ

අගමැති කොළඹ වරාය ගැන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ නැහැ

ස්වර්ණා විජේකෝන්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් කිසිඳු රටකට ලබාදිමේ උත්සාහයක් නොමැති බවත් කොළඹ වරාය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම වෙත කිසිදු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොකළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වරාය හා නාවික කටයුතු ඇමති මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු වලට අදාළව දොඹකර මිලදී ගැනීම ඇතුළු කරුණු කිහිපයක් වෙනුවෙන් විෂය භාර ඇමතිවරයා ලෙස තමන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවත් ඇමතිවරයා සඳහන් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් සඳහා ජනාධිපතිවරයා විරුද්ධ වූ බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දීය අගමැතිවරයා සමඟ පවා ප්‍රකාශ කර ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.

ඇමති මහින්ද සමරසිංහ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (18) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති මහින්ද සමරසිංහ මහතා, පසුගියදා පැවැති කැබිනට් සාකච්ඡාවේදී සාකච්ඡා වූයේ කියමින් විවිධ මාධ්‍ය වාර්තා පළවී තිබෙනවා. නමුත් එම කරුණු සම්බන්ධයෙන් විෂය භාර ඇමතිවරයා ලෙස යමක් සඳහන් කළ යුතුයි. විෂය භාර ඇමතිවරයා ලෙස එදින කැබිනට් රැස්වීමේ දි සිදුවූ දේ සම්න්ධයෙන් යමක් ප්‍රකාශ කිරිමේ අයිතිය තිබෙනවා. ඇතැම් පුවත්පත් වාර්තා කර තිබුණා,“අගමැතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇති බවට. “නමුත් එදින කැබිනට් රැස්වීමේදී අගමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ නැහැ. වරාය හා නාවුක කටයුතු ඇමතිවරයා ලෙස කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු වලට අදාළ කරුණු හතරක් වෙනුවෙන් මම කැබිනට් අනුමැතිය ඉල්ලා සිටියා. එමෙන්ම මෙහිදි කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු වරාය අධිකාරිය යටතේම සිදුකිරීමටත් වරාය අධිකාරිය සතු මුදල් වලින් දොඹකර පහක් මිලදී ගැනීම සඳහාත් මම අනුමැතිය ඉල්ලා සිටියා.

කොළඹ වරාය සතුව තිබෙන පර්යන්ත වලින් විශාල නැව් සෑම පර්යන්තයක් වෙතම ළඟාවීමේ හැකියාවක් නැහැ. සිඅයිසීටි පර්යන්තය සඳහා විශාල නැව් එනවා. එය පාලනය වන්නේ චීන සමාගමක් යටතේ. මෙම පර්යන්තය වසර තිස්පහක් සඳහා බදු දි තිබෙන්නේ පසුගිය පාලනය සමයේදීයි. අපගේ වරාය පර්යන්තයන් අතරින් විශාල නැව් පැමිණිය හැකි වන නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරිම අත්‍යවශ්‍යයි. ඒ නිසායි මෙහි සංවර්ධන ක්‍රියාවලිය වෙනුවෙන් අනුමැතිය ඉල්ලා සිටියේ. ඒ වගේම අපගේ කොළඹ වරාය සතු නැගෙනහිර පර්යන්තය කිසිඳු රටකට හෝ විදෙස් සමාගමට ලබාදිමේ කිසිඳු උත්සාහයක් අප සතුව නැහැ.

මෙම කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා සඳහන් කළා කිසිඳු හේතුවකට නැගෙනහිර පර්යන්තය විදෙස් රටකට ලබානොදෙන බවට.ජනාධිපතිවරයා නේපාලයේ පැවැති බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වූ අවස්ථාවේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමඟත් නැගෙනහිර පර්යන්තය ලබා නොදෙන බවට සඳහන් කළා.මෙම පුවතේ සත්‍ය තත්ත්වය මේකයි.

කොළඹ වරායේ යම් කොටසක් ඉන්දියාව ඉල්ලා තිබුණා. නමුත් නැගෙනහිර පර්යන්තය ලබාදිමේ කිසිඳු උත්සාහයක් නැහැ. ඒත් ඉන්දියාවට භටහිර පර්යන්තය ලබාදීමේ හැකියාව නැහැ. අපගේ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කළ යුතුයි. ඒ සඳහා විශාල මුදලක් අවශ්‍යයි. බටහිර පර්යන්තය ලබාදීම සම්බන්ධයෙන් අපගේ කිසිඳු විරෝධයන් නැහැ. කොළඹ වරාය වෙනුවෙන් මලික් සමරවික්‍රම මහතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ඒ ගිවිසුම මම වචනයෙන් වචනය අධ්‍යයනය කළා. එහි එකම තැනකවත් නැගෙනහිර පර්යන්තය ගැන සඳහන් වන්නේ නැහැ. නමුත් අද පුවත්පත්වලත් වාර්තා වෙනවා එක්සත් ජාතික පක්ෂ ජ්‍යේෂ්ඨ ඇමතිවරයෙක් සඳහන් කළ බව සඳහන් කරමින් මෙම සිදුවීම ගැන.

ඒ වගේම ජනාධිපතිවරයා ඝාතනය කිරිමට රෝ ඔත්තු කරුවකු යොදවා ඇති බවට එම කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා සඳහන් කළ බවට දෙස් විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා . එම කරුණු සියල්ලම අසත්‍යයි.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම කැබිනට් රැස්වීමේදි එවැනි කරුණු කිසිවක් සඳහන් කළේ නැහැ. අද පුවත්පත් වලත් මෙවැනි කරුණු වාර්තා කර තිබෙනවා. ජාත්‍යන්තර හා ජාතික පුවත්පත් මෙය වාර්තා කරනවා. නමුත් එවැනි කිසිවක් සිදුවූයේ නැහැ. හින්දු පුවත්පතේ මාධ්‍යෙව්දිනිය කියන්නේ මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇමතිවරු සිව්දෙනෙකු මේ බව ඇයට සඳහන් කළ බවට. මෙම සිදුවීම හා පළවූ මාධ්‍ය වාර්තා අසත්‍ය බවට ජනාධිපති මාධ්‍ය අංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය‍, කැබිනට් ලේකම් කාර්යාලය පවා මාධ්‍ය නිවේදන නිකුත් කර තිබෙනවා. කෙසේ වුවත් මේ තොරතුරු ලබාගත් හෝ ලබාදුන් ඇමතිවරුන්ගේ නම් සඳහන් නොකරන්නේ ඇයි. අපි මාධ්‍ය වේදින්ට මොකුත් කියන්නේ නැහැ. මොකද මාධ්‍ය ආචාර ධර්ම අනුව තොරතුරු ලබාගත් මූලාශ්‍ර පිළිබඳව අනාවරණය කරන්නේ නැහැ. ඒ වගේම තොරතුරු ලබාගත් ආකාරය අපි විමසන්නෙත් නැහැ. නමුත් තොරතුරු ලබාදුන් තැනැත්තන්ට තමන්ගේ නම හෙළි කිරීමට තරම් ආත්ම ශක්තියක් නැත්තේ ඇයි.

ඇත්ත වශයෙන්ම හිතා මතාම රටවල් දෙකක් අතර අර්බුදයක් නිර්මාණය කරන්නට දැරූ උත්සාහයක් ලෙස මෙය සළකන්නට පුළුවන්. මේ වගේ සිදු නොවූ දෙයක් නිර්මාණය කර කියනකොට තමන්ගෙ නම හෙළි කරන්නට තරම් මේ අයට ආත්ම ශක්තියක් නැද්ද?ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අර්බුදයක් නිර්මාණය කරන්නට හිතා මතා දැරූ උත්සාහක් ලෙස කියන්නට පුළුවන්. ඉන්දියාව කියන්නේ අපගේ අසල්වැසි රට. අපගේ දිගුකාලින මිත්‍ර රටක්. මේ ප්‍රශ්නය නිසා ජනාධිපතිවරයාට ඊයේ දවසම මේ වෙනුවෙන් වැයකරන්නට සිදූඋනා. මේ වගේ දේවල් නිර්මාණය කරන්නේ කවුද කියා සොයා ගැනීම ආණ්ඩුවේ වගකීමක්. මේක ඇත්තටම සුළු ප්‍රශ්නයක් නෙවෙයි. බරපතල ප්‍රශ්නයක්. ඒ වගේම පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගියදා රැස්වූණා. එහිදි පක්ෂයේ අනාගතය වෙනුවෙන්, පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරිම ඇතුළු කරුණු රැසක් වෙනුවෙන් අවධානය යොමුකළා. එමෙන්ම පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මාස තුනක් ඇතුළත සිදුකර අවසන් කිරිමටත් මෙහිදි තීරණය කළා.එමෙන්ම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තිබියදීම දේශපාලන මණ්ඩලයක් ස්ථාපිත කිරීමටත් තීරණය උනා. පක්ෂයේ ඉදිරි ගමන් මග වෙනුවෙන් නව වැඩපිළිවෙලවල් කිහිපයක් හදුන්වාදිමටත් මෙහිදී තීරණය උනා. ඉදිරි මාස තුන අවසාන වනවිට පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අවසන් කර සම්මේලනයක් පැවැත්වීමටත් මෙහිදි තීරණය උනා.

 

නව අදහස දක්වන්න