නාමල්කුමාරගේ හෙළිදරව් කිරීම් ගැන නීතිය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතුයි | දිනමිණ

නාමල්කුමාරගේ හෙළිදරව් කිරීම් ගැන නීතිය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතුයි

චන්ද්‍රිකා පෙරේරා

ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන ශ්‍රී ලංකාවේ බල පෙරළියකදී හිංසනය භාවිතා කිරීම ප්‍රතික්ෂේප කළ යුතු බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන තැත සම්බන්ධ තොරතුරු හෙළිකර ගැනීමට මාධ්‍ය තවදුරටත් සැලකිලිමත්ව ක්‍රියා කළ යුතු බවද හෙතෙම අවධාරණය කෙළේය.

කොළඹ නිපෝන් හෝටලයේ ඊයේ (18) පැවැති ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ හෙළිදරව්ව සම්බන්ධ මාධ්‍ය හමුවේදී ශිරාල් ලක්තිලක මහතා එම අදහස් පළ කෙළේ ය.

එහිදී ලක්තිලක මහතා මෙසේ ද කීය. ජනාධිපති ඝාතන තැත සත්‍ය ද අසත්‍ය ද කියා සොයා නොබලා එවැනි කතාවක් හෙළිවන විටම කිසිම ඉඩක් නොතබා එහි හරයක් නෑ, එය බොරුවක් කියා ප්‍රතික්ෂේප කිරීම අප දුටුවා. එය බොරුවක් විය හැකි වුවත් රටේ ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන තැතක් පිළිබඳ කියැවෙන්නෙ. ඒ අනුව එය පළමුව නීතියට යටත් කළ යුතුයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භකර තිබියදී මෙය අවතක්සේරු කිරීමේ ස්වරූපයක් තිබෙනවා. මේ ඝාතන කතාවේ සත්‍ය අසත්‍යතාවය අප නොදන්නා නමුත් නීතියේ ආධිපත්‍ය දරණ රටක් ලෙස යථාර්ථවාදීව පරීක්ෂණයක් අවශ්‍යයි.

ප්‍රථමයෙන් තොරතුරු ලබාදුන් අයගේ ප්‍රකාශයේ හරයයි වැදගත් වන්නේ. ඔහුගේ විශ්වාසය පිළිබඳ පොලිසියත් දෙවනුව අධිකරණයත් තීන්දු කළ යුතුයි. එය අප කිසිවෙකුටත් කළ නොහැකියි. ඝාතන තැත පිළිබඳ හෙළි වූ දින සිට මේ දක්වා දිග හැරුණු පරීක්ෂණ තොරතුරු අනුව එහි යම්කිසි තීරණාත්මක බවක් තිබෙන බව පෙනී යනවා.

නීතිය හා සාමය ඇමතිවරයා අදාළ පොලිස් නිලධාරියා වැඩ තහනමට ලක්කළ යුතු බවට නිර්දේශ කිරීම එයට එක් හේතුවක්. රස පරීක්ෂක වාර්තාවට අනුව හඬ පටයේ ඇති අදාළ පොලිස් නිලධාරියාගේ හා හෙළි කළ පුද්ගලයාගේ කට හඬ සමාන බවට විද්‍යාත්මකව තහවුරුව තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන තැතක් සම්බන්ධ හෙළිදරව්ව ප්‍රලාපයක්, හරසුන් හෝ උප්පරවැට්ටියක් ලෙස හෝ බැහැර කළ නොහැකියි. මූලිකව මෙම සිද්ධිය හෙළි කළ ආකාරයෙන්ම මාධ්‍ය ඒ සම්බන්ධයෙන් අවධියෙන් සිටය යුතුයි. වෝටර්ගේට් සිද්ධියේ සිට ලොව දේශපාලන ඝාතන බොහොමයක් එළියට ආවෙ මාධ්‍ය හරහා. අප මේ සිද්ධිය බරපතළව දකිනවා. මේ සම්බන්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් සම්පූර්ණ විශ්වාසයක් තිබෙනවා. නමුත් මේ සිද්ධිය වක්‍රව හෝ ඍජුව යටපත් කිරීමට උත්සහ කිරීම ගැටලුවක්. මෙම උත්සාහය දේශපාලනික බවක් දැකිය හැකියි. එසේ නොවේ නම් වෙනත් පුද්ගල සම්බන්ධයක් හෝ තිබිය හැකියි.

රාජ්‍ය නායකයාගේ ජීවිතය සම්බන්ධයෙන් එක් පැත්තකින් ගැටලුවක්. අනෙක් අතින් ප්‍රජාතන්ත්‍රවාදී රටක බල දේශපාලනය සමඟ පුද්ගල ඝාතන සිදු නොවිය යුත්තක්. මේ කළ බව කියන උත්සාහය සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු අතර ගැටලු නිරාකරණය කර ගනිමින් අප ඉදිරියට ගමන් කරනවා.

මේ සම්බන්ධයෙන් ඕනෑම අයෙක් නිශ්ශබ්දව සිටියාට ගැටලුවක් නැහැ. නමුත් කෙරෙන පරීක්ෂණවලට අවශ්‍ය ඉඩ ලබා දීමට කටයුතු කිරීම අත්‍යවශ්‍යයි.

ජනාධිපති උපදේශක නීතිඥ සරත් කෝන්ගහගේ මහතා-මේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් එළිදැක්වීම ගැන පළමුව ස්තුතිවන්ත වෙනවා. මේ රටේ මීට පෙරත් මෙවැන් කුමන්ත්‍රණ හා ඝාතන සිදු වුනා. එස්.ඩබ්ලිව්. ආර්.ඩී.බණ්ඩාරනායක අගමැතිතුමා ඝාතනය වුනා.

වර්ෂ 1962 සිරිමාවෝ මැතිණිය අත්අඩංගුවට ගැනීමට හා ඝාතනය කිරීමට සැළසුම් කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වුනා. එහි ඇපෑලෙදි තාක්ෂණික ගැටලු නිසා චූදිතයන් නිදහස් වුනා. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනය වුනා. චන්ද්‍රිකා ජනාධිපතිනිය ඝාතනය කිරීමට උත්සහ කළා. වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිහිප වරක් ඝාතනය කිරීමට උත්සහ කළ බවට හෙළි වුනා. ඒ අනුව මේ හෙළිදරව්ව සුළු කොට තැකිය නොහැකියි.

හඬ පටයට අනුව හිටපු ආරක්ෂ ලේකම් වර්තමාන ජනාධිපති ඝාතනය, වර්තමාන බුද්ධි ප්‍රධානියා ඉවත් කිරීම. විශේෂ කාර්ය බලකායේ ප්‍රධානියා ඉවත් කිරීම ඇතුළු කාරණා රැසක් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාකර තිබුණා. මේ අනුව මාධ්‍ය වරින් වර හරියටම සිය මෙහෙවර ඉටුකර තිබෙනවා. මේ අනුව සත්‍ය ලෙසම ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ සෙවනැලි තිබෙන බව පැහැදිලියි.

මෙම ඝාතන කුමන්ත්‍රණය දේශපාලන හෝ වෙනත් කණ්ඩායමකගේ හෝ කුමන්ත්‍රණයක් විය හැකි අතර එය නිවැරදිව අපට කිව නොහැකියි.

ඡායාරූප - චමින්ද නිරෝෂණ

නව අදහස දක්වන්න