පළාත් සභා ඡන්දය ලබන වසර මුල | දිනමිණ


 

පළාත් සභා ඡන්දය ලබන වසර මුල

දුමින්ද සම්පත්
ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක, වරාය සහ නාවික ඇමැති මහින්ද සමරසිංහ

ශ්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව සභාග ආණ්ඩුවක් හෝ පරිවාස ආණ්ඩුවක් ගොඩනඟන්නේය යන පුවතක් පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්විය. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ 20 වැනි සංශෝධනයේ අනාගත ඉරණම පැහැදිලි නැත. පළාත් සභා මැතිවරණය, සීමානීර්ණය වාර්තාව ආදිය පිළිබඳ ප්‍රශ්න තිබේ. ඒ සියල්ල පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක, වරාය සහ නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මැති හමුවට එක්වේ.

* පරිවාස ආණ්ඩු ගැන අපි කතා කළේ නැහැ
* වරාය මුලට ආවේ සේවක කැපවීමෙන්
* ආණ්ඩුව ඇතුළෙ කිසි බෙදීමක් නැහැ
* ඉදිකිරීම් ‍ක්ෂේත්‍රයේ ශ්‍රමය හිඟයි
* හම්බන්තොට වරාය බදුදීම හොඳයි
* පරණ ක්‍රමයට ඡන්ද තිබ්බොත් නීති අලුතෙන් හදන්න වෙනවා

පරිවාස, භාරකාර ආණ්ඩු ගැන කතා වෙනවා. ජනාධිපතිවරයා මූලික කර ගනිමින් තමයි මේ කතා පැතිරෙන්නෙ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා හැටියට ඔබ මේ ගැන මොකද කියන්නේ?

භාරකාර, පරිවාස ආණ්ඩු ගැන අපි කතා කරල නැහැ. ඕව පත්තරවලින් කියන දේවල්. එක එක්කෙනා කිව්ව පළියට ඕව විශ්වාස කරන්න අවශ්‍ය නැහැ. අද වෙනතුරු ඔහොම දෙයක් අපි කතා කරලත් නැහැ. ජනාධිපතිතුමා එවැනි දෙයක් ගැන අපිව දැනුවත් කරලත් නැහැ. අපි ආණ්ඩුවක් හදල ඒ ආණ්ඩුවේ කොටස්කරුවෝ හැටියට වැඩ කරගෙන යනවා.

ජාතික ආණ්ඩු, භාරකාර ආණ්ඩු, මොනව කතාකළත් හදන ආණ්ඩුවෙ තීරණාත්මක සාධකය මහින්ද රාජපක්ෂ බව මහින්දානන්ද අලුත්ගමගේ මහත්තය කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට මේ ගැන මොකද කියන්නෙ?

පක්ෂයක නායකයො දෙන්නෙක් ඉන්න බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නීත්‍යානුකූල නායකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. අපේ වැඩකටයුතු කෙරෙන්නෙ එතුමාගෙ නායකත්වයෙන්, අපිට වෙන නායකයො නැහැ. එතුමා රටේ නායකයා, කැබිනට් මණ්ඩලයේ නායකයා. මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ජනප්‍රියත්වයෙන් ගොඩයන්න හදන අය කියන කතා ගොතන කතා ගැන අපි කුලප්පු වෙන්න ඕන නැහැ.

මේ කතා මෙහෙම සිද්ධවෙද්දි බැසිල් රාජපක්ෂ මහත්තය හදිසියෙම ජනාධිපතිවරයව හමුවෙනවා නේද?

මහින්ද රාජපක්ෂ මහත්තය ආණ්ඩු කරන කොට විපක්ෂ නායකවරයා හැටියට, රනිල් වික්‍රමසිංහ මහත්තය කීවතාවක් මුණගැහුනද? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයව මුණගැහෙන්න නොයෙක් අය එනවා. ඔය පත්තරවලට එක එක්කෙනා එක එක කතා කිව්වට එහෙම දේවල් වෙලා නැහැ.

ජාතික ආණ්ඩුවක් හෝ සභාග ආණ්ඩුවක් හැදෙනකන් සමහරු බලා ඉන්නවා. මෙහෙම තත්ත්වයකදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය මොකක්ද?

සතියෙන් ආණ්ඩුවක් හදනවා. මහින්ද රාජපක්ෂ මහත්තය අගමැති වෙනවා. සමහරු ආණ්ඩුවෙ තනතුරුත් බෙදා ගත්තා කියල මට ආරංචියි. අපි සම්බන්ධවෙලා එහෙම කිසිම සාකච්ඡාවක් වුණේ නැහැ. ඒ හින්ද අද ඒක ගැන එච්චර කතා වෙන්නෙත් නැහැ.

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සභාග හෝ ජාතික ආණ්ඩුවකට යාහැකි නීතිමය ඉඩක් තිබෙනවද?

අය වැය පැරදුනොත් ආණ්ඩුවට වැඩකරන්න සල්ලි නැති වෙනවා. ඒ වගේම අයවැය පරදිනව කියන්නෙ පාර්ලිමේන්තු බහුතරය ආණ්ඩුවට නැති වෙනවා. ආණ්ඩුවෙ බහුතරය නැතිවෙන කොට අගමැතිවරයට බහුතරය නැති වෙනවා. එහෙම වුණොත් බහුතරය තියෙන කෙනෙක් පත්කර ගන්න පුළුවන්. ඊට අමතරව විශ්වාස භංගයකින් අගමැතිවරය පැරදුනොත් ආණ්ඩුවෙ බහුතරය නැති වෙනවා. එහෙම තත්ත්වයකට තවම මේ පාර්ලිමේන්තුව හැදිල නැහැ. කවුරුවත් එහෙම කරන්න යන්නෙ නැහැ. මම කිව්වේ ආණ්ඩුවක් වෙනස් කරන්න පුළුවන් ක්‍රියාවලිය ගැන විතරයි.

ලබන මාසෙ 5 වෙනිද පාර්ලිමේන්තුවට ගෙන එන අයවැය පැරැද්දවීමේ සූදානමක් තියෙන බවටත් විවිධ කතා පැතිරෙනවා.

අපි එහෙම දෙයක් ගැන හිතලවත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ආණ්ඩුව එක්ක ඉන්න 23 දෙනා අය වැයට පක්ෂව ඡන්දය දෙනව නම් අය වැයේ තියෙන දේවල් අපි දැනගෙන ඉන්න ඕන. අපිට පෙන්නන් නැතුව අය වැය ඉදිරිපත් කළොත්, ඒ තියෙන දේවල් පක්ෂ ප්‍රතිපත්තිවලට අහිතකර නම් අපිට ඡන්ද දෙන එක ප්‍රශ්නයක්. හැබැයි ඒකටත් විසඳුම් ලැබිල තියෙන්නෙ. ජනාධිපතිතුමාගෙ ප්‍රධානත්වයෙන්, අපේ 23 දෙනා අයවැය ගැන දැනුවත් කරන්න මංගල සමරවීර ඇමතිතුමා වෙලාව වෙන්කරල තියෙන්නෙ. එතනදි අපිට නොගැළපෙන දේවල් තියෙනව නම් සංශෝධනය කරන්න පුළුවන්. ආණ්ඩුව තුළ කිසිම බෙදීමක් නැහැ. ඒ අයගෙ පාක්ෂිකයෝ ධෛර්යමත් කරන්න එක එක වෙලාවට එක එක කතා ඒ අය කියනවා.

ලැබෙන පළමු අවස්ථාවෙන්ම මේ ආණ්ඩුව පෙරළන්න ඕන කියල ඒකාබද්ධය කියනවා?

බහුතරයක් තියෙනව නම් කිය කිය ඉන්නෙ නැහැනෙ. ඕක හැම වෙලාවෙම කියන කතාවක්. පාර්ලිමේන්තු ඡන්ද ගන්නකොට ගවුගානත් එහා ඉන්නෙ. ප්‍රථම වතාවට දෙමළ පක්ෂ නියෝජිතයොත් පාර්ලිමේන්තුවෙදි මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නා. ගියවර අයවැයෙදි මොකද වුණේ. අගමැතිතුමාට එරෙහිව ගෙනාපු විශ්වාසභංගෙ අන්ත පරාජයක් ලැබුවනෙ. විශ්වාසභංගෙට අත්සන් කරපු, පාර්ලිමේන්තුවට ගෙනාපු අය නෙවෙයි ඡන්ද එකතු‍ කළේ අපේ පැත්තෙන් ගිහින් ඒ පැත්තෙ ඉන්න 15 දෙනා තමයි ඡන්ද එකතු කළේ. මහින්ද මහත්තය ඒකට ක්‍රියාත්මක වුණේ නැහැ.

රුපියල අවප්‍රමාණයවීම ගැනත් ආණ්ඩුවටයි චෝදනා එල්ලවෙන්නෙ?

රුපියල අවප්‍රමාණය වෙන්නෙ ලෝක බලපෑමත් එක්ක. අමෙරිකාවෙ පොලී අනුපාත වැඩිවෙනකොට මෙහෙ ආයෝජනය කරල තියෙන මුදල් ආයෝජකයෝ එහෙ ගෙනියනවා. මේ හින්ද විදේශ සංචිතයට බලපෑම් එල්ල වෙනවා. මේ ප්‍රශ්නය ලංකාවට විතරක් නොවෙයි අපේ කලාපෙ හැමරටකටම බලපානවා. දියුණු රටවලටත් බලපානවා. මේකට පිළියමක් හැටියට අපනයනය මුල්කරගත්තු වේගවත් ආර්ථික වර්ධනයකට අප යායුතුයි. ඒකට අවශ්‍ය යෝජනා මේ අයවැයෙන් ගෙනෙයි. ආනයනය අඩුකිරීම, දේශීය ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීම, නිදහස් වෙළෙඳ කලාප ඇතිකිරීම වගේ යෝජනා මේ අයවැයෙන් ඉදිරිපත් කරයි.

එයාල රට බාර දෙනකොට ආර්ථිකය ඉහළ තැනක තිබුණා කියල ගෝඨාභය රාජපක්ෂ මහත්තය කියනවා?

ඒ අය ගත්තු ණය ගෙවන්න වුනේ අපිටනෙ. ණයක් ගත්තම සහන කාලයක් දෙනවා. 2015 ආණ්ඩුව බාර ගන්නකොට ණය ගෙවන කාලෙ ඇවිල්ල, ලබන අවුරුද්ද වෙනකොට ඒ අය ගත්තු ණයවලින් තවත් විශාල ප්‍රමාණයක් ගෙවන්න ඕන. එහෙම නොවුණොත් අපිටත් වෙන්නෙ ආජන්ටිනාවට වෙච්ච දේ. ඔය කතා කරන අය ඡන්දෙ පදනම් කරගෙන ණය අරගෙන පාරවල් හදල සංවර්ධනයක් කරනව කියල මිනිස්සුන්ට පෙන්නුව. ඒ ණය ගෙවන්න වුනේ අපිට.

ආණ්ඩුව අත්සන් කරන වෙළෙඳ ගිවිසුම් හරහා රටට විදේශීය ශ්‍රමිකයෝ එනවා. මේ හින්ද දේශීය ශ්‍රමිකයන්ට අසාධාරණයක් වෙන බවයි කියන්නෙ?

ගේට්ටුව ඇරල ඕනම කෙනෙක්ව ඇතුළට ගන්න ක්‍රමයක් ඒවයෙ නැහැ. විදෙස් ආයෝජකයන්ගෙ ව්‍යාපෘතිවලට ශ්‍රම හිඟයක් තියෙනවනම් මෙහෙ ඒකට ශ්‍රමිකයෝ නැත්නම් අමාත්‍යාංශ නිර්දේශයකින් ශ්‍රමිකයෝ ගේන්න පුළුවන්. ලංකාවෙ ඉදිකිරීම් ක්ෂේත්‍රයෙ ලොකු ශ්‍රම හිඟයක් තියෙනවා.

පළාත් සභා හයක නිල කාලය දැන් අවසන්. පළාත් සභා ඡන්දය තියන්නෙ නැහැ කියල චෝදනා එල්ල වෙනවා?

මේ මැතිවරණය ප්‍රමාදයකින් තොරව තියන්න ඕන කියන ස්ථාවරයේ අපි ඉන්නවා. අගමැතිතුමාගෙ ප්‍රධානත්වයෙන් පස්දෙනෙක්ගෙ කමිටුවක් පත් කරල තියෙන්නෙ. දැන් ඒ කමිටුව සීමා නීර්ණ වාර්තාව අධ්‍යයනය කරල ජනාධිපතිතුමාට වාර්තාවක් ඉදිරිපත් කරයි.

මේ කමිටුව තවත් කල් ඉල්ලල තියෙනවා නේද?

කමිටුව මාස දෙකක් මදි කියල තව මාස දෙකක් ඉල්ලල තියෙනවා. ඒ මාස දෙක දුන්නත් ලොකු ප්‍රමාදයක් වෙන්නෙ නැහැ. ලබන අවුරුද්දෙ මුල පළාත් සභා මැතිවරණය තියෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් ක්‍රමයට ඡන්දය තියන්න ඕන කීම හරහා නේද පළාත් සභා කල් යන්නෙ?

පරණ ක්‍රමේට ගියොත් ගොඩක් කල්යයි. අලුත් ක්‍රමය කියන්නෙ, පවතින නීතිය. සීමා නීර්ණ වාර්තාව සංශෝධනය කරල ජනාධිපතිතුමාට දෙන්න විතරයි තියෙන්නෙ. ජනාධිපතිතුමා ඒක ගැසට් කරයි. ඊට පස්සෙ මැතිවරණ කොමසාරිස්තුමාට ඡන්දෙ තියන්න පුළුවන්. පරණ ක්‍රමේට ගියොත් ආයෙත් නීති හදන්න වෙනවා. අපේ බහුතරය හින්ද තමයි 19 වැනි සංශෝධනය දිනුවේ. එතකොට අපි කිව්ව මැතිවරණ ක්‍රමය සංශෝධනයට 20 ගේන්න ඕන කියලා. ඒ ස්ථාවරයේ අපි අදත් ඉන්නවා. මේ ආණ්ඩුව ගේනකොට මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ඕන කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනවල දැම්මා.

ජනතා විමුක්ති පෙරමුණ ගෙනත් තියෙන 20 වැනි සංශෝධනය ගැන මොකද කියන්නේ?

අපි අධ්‍යයනය කරමින් යනවා. මධ්‍යම කාරක සභාවෙන් තීරණයක් ගනීවි. ශ්‍රේෂ්ඨාධිකරණ මතයත් කියලා තියෙනවනේ. එහෙම බැලුවම ඒකත් තව කල්යයි.

මෙහෙයුම් අතින් කොළඹ වරාය ලෝකයේ පළවෙනි තැන ගත්තා. මේ ගැන ඔබ මොකද කියන්නේ?

සේවක සේවිකාවන්ගේ නිලධාරින්ගේ කැපවීම, කාර්යක්ෂමතාව මත ඒ ජයග්‍රහණය අපිට ලැබුණෙ. මම මේ අමාත්‍යාංශය භාරගෙන මාස 16 ක් විතර වෙනවා. එක වැඩ වර්ජනයක් වරායෙ වුණේ නැහැ. මම මාසෙකට සැරයක් වෘත්තීය සමිති මුණගැහෙනවා. කාර්මික සාමය හොඳින්ම වරායෙ තියෙනවා. සේවකයන්ගේ හඬට අපි කන්දෙනවා. ඒ හින්ද ඵලදායිතාවය වැඩිකරගන්න පුළුවන් වුණා. ලෝකයෙ පළවැනිය වෙන එක ලේසි නැහැ. මේ තත්ත්වය තවදුරටත් පවත්වාගන්න ඕන.

බණ්ඩාරනායක තටාක ගුදම හරහා තමයි අර්ධ පූර්ණ බහාලුම් වැඩි හරියක් වෙන්නෙ. මේ අංශය පෞද්ගලික අංශයට දීමේ සූදානමක් තියෙනවද?

සංචාරක නැව් නවත්වන්නෙ ඔතන, එතන කිසිම පහසුකමක් නැහැ. යටිතල පහසුකම් නැති නිසා නැව් එන එක ගොඩක් අඩුවුණා. මේ නැව් ගෙන්වා ගන්න ආයෝජනයක් අවශ්‍යයි. ඒ ගැන අපි පත්තරේ දැන්වීමක් දැම්ම. දැනට එක පාර්ශ්වයක් විතරයි ඉල්ලුම් කරලා තියෙන්නෙ. තවම ඒ ගැන තීන්දුවක් අරගෙන නැහැ. නැවත වාරයක් තවත් අයට අවස්ථාව දීම හොඳයි. තාක්ෂණ කමිටුව හරහා තමයි ඉතිරි ටික වෙන්නෙ.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය පෞද්ගලික අංශයට දීමේ සූදානමක් තියෙන බවත් කියනවා?

වරාය අධිකාරියෙන්ම ඒ පර්යන්තයේ බහාලුම් කරන්න අපි තීන්දුවක් ගත්තා. ඒක අමාත්‍යාංශ තීන්දුව. ජනාධිපතිතුමත් කිව්වෙ නැගෙනහිර පර්යන්තය කාටවත් දෙන්න බැහැ කියලයි.

හම්බන්තොට වරායෙ ප්‍රගතිය කොයි වගේද?

හම්බන්තොට වරායෙ 30% ක කොටස් තියෙන්නෙ වරාය අධිකාරියට. 15% ක කොටස් තියෙන්නේ HIPG සමාගමට. 42% ක කොටස් තියෙන්නේ HIPS සමාගමට. HIPS සමාගමේ සභාපති වෙන්නෙ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති. මේ කොටස්වල 30% ක අයිතිය තියෙන්නෙ අපිට. වරාය බදුදීමෙන් පස්සෙ වරාය ලොකු දියුණුවක් ඇතිවෙලා තියෙනවා. දොඹකරවලට ලබන අවුරුද්දෙ තවත් මුදලක් ආයෝජනය කරන්න ඒ අය බලාපොරොත්තු වෙනවා.

ඡායා - සිරිපාල හල්වල

නව අදහස දක්වන්න