හසරක් නොපෙනෙන අන්ධ විද්‍යාලය | දිනමිණ

හසරක් නොපෙනෙන අන්ධ විද්‍යාලය

උදිත ගුණවර්ධන

මේ අයගේ අරමුණ වෙලා තියෙන්නෙ බිහිරි පාසල සහ අන්ධ විද්‍යාලය ඒකාබද්ධ කරන්න. එ් කාලේ මහ පාරට යාබද ඉඩම් වෙනත් දේ සඳහා යොදා ගන්න උත්සාහ කරනවා.ඒත් බිහිරි දරුවන් සහ අන්ධ දරුවන් එකට දමා ඉගැන්වීම අධ්‍යාපන විද්‍යාවට අනුව නුසුදුසු දෙයක්. එපමණක් නොවෙයි අලුත් ළමයි බඳවා ගන්න එක පාලනය කර තිබෙනවා. මේක ඉතාමත් වැරැදි දෙයක්.

අපේ ජිවිතය යනු දෙඇසයි ඇස් ඒ තරමටම අපේ ජීවිතයට වැදගත් ඉන්ද්‍රියකි. එහෙත් විවිධ දෘෂ්‍යාබාධයනට ලක්වු ලක්ෂ ගණනක පිරිසක් මෙරට වෙසෙති.ඒ ප්‍රමාණය සියයට පහකටත් මදක් වැඩි ප්‍රමාණයක් ලෙස ගණන් බලා තිබේ. මෙයින් පුර්ණඅන්ධභාවයට පත් වුවෝද සිටිති එයින් සැලකිය යුතු ප්‍රමාණයක් ඉගෙනුම ලැබිය යුතු වයසේ දරුවන්ය. මෙම දරුවන්ගේ දෘෂ්‍යාබාධිත තත්ත්වය නිසා ඔවුනට අධ්‍යාපනයේ අයිතිය අහිමි නොකළ යුතුය. මේ නිසා දිවයින පුරා අන්ධ දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම සඳහා පාසල් දහ අටක් පමණ පිහිටුවා ඇති අතර එයින් දිවයිනේ ප්‍රමුඛ පාසල බවට පත්ව තිබෙන්නේ රත්මලාන දෘෂ්‍යාබාධිත දරුවන් සඳහා වු පාසලයි. මෙම පාසල 1912 දී ආරම්භ වු අතර මෙයින් නිතිවේදීන් , වෛද්‍යවරු ,ගුරුවරු ඇතුළු සමාජයේ කීර්තිමත් වෘත්තියවේදීන් පිරිසක් සහ කලා හැකියාවන් පිරි විශාල පිරිසක් මෙම පාසල හරහා බිහිවී තිබේ. ඒ ආකාරයේ කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන පාසලක් වුවද අද වන විට එයට අනතුරුදායක ඉරණමක් උදාවි ඇතැයි මෙම පාසලේ මාපියෝ මෙන්ම විදුහලේ ආදී සිසුන්ද බිය පළ කරති.

1912 දී එවකට සිටි මහා දානපතිනියක වන සොයිසා මහත්මිය විසින් පරිත්‍යාග කළ ඉඩමක ඉදිකළ මෙම විදුහලට ඉඩම පරිත්‍යාග කරද්දි සොයිසා මහත්මියගේ කැමැත්ත වී තිබෙන්නේ දිවයිනේ දසතින් පැමිණෙන දෘෂ්‍යාබාධිත දරුවන්ගේ පිළිසරණ පිණිසම මෙම ඉඩම ප්‍රයෝජනවත් විය යුතු බවය. එහෙත් අද වන විට ඇයගේ කැමැත්ත පවා නොතකමින් පිරිසක් මෙම විදුහල වසා දැමීමේ උත්සාහයක නියැලෙන බව මෙම පාසලට සම්බන්ධ මාපියන් මෙන්ම ආදි සිසුන්ද අදහස් පළ කරති. අද පාසලට සම්බන්ධ ඉහළ පෙළේ පිරිසකගේ උත්සාහය බවට පත්ව ඇත්තේ සොයිසා මැතිනියගේ අන්තිම කැමැත්තට පවා පිටින් යමින් දෘෂ්‍යාබාධිත දරුවන් වෙත ඇති අධ්‍යාපන අයිතිය සීමා කිරීමය. මේ තත්ත්වය තුළ රත්මලාන දෘෂ්‍යාබාධිත දරුවන්ගේ පාසල ට සිදුකරන්නට යන්නේ කුමක්ද යන්න මේ වන විට පැහැදිලි වෙමින් තිබේ. එනම් මෙම පාසල ස්භාවික මරණයක් වෙත තල්ලු කරමින් විදුහලට අයත් වටිනා ඉඩම වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීමේ ප්‍රයත්නයකි. මෙය සත්‍යයක් නම් එය බරපතළ කාරණයකි. මන්ද යත් රත්මලාන අන්ධ විද්‍යාලය යනු ආසියාවේ මෙවැනි පාසල් අතර ඉදිරියෙන්ම ඇති පැරණිම පාසලයි.මේ ගැන අප සමග මුලින්ම අදහස් දැක්වුයේ ශ්‍රි ලංකා දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනයේ සභාපති චමීර පුබුදුකුමාර මහතායි.

“මේ පාසල මේ විදිහට කඩා වැටෙන්න සලස්වල තියෙන්නේ ඉතාමත් පටු අරමුණකින්. මේ පාසලේ ගුරුවරුන්ට ආණ්ඩුවෙන් පඩි ගෙව්වත් පරිපාලනය සිදුකරන්නේ ඉහළ තලයේ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසකගෙන් යුතු කළමනාකරණ මණ්ඩලයක් මගිනුයි. මේ පිරිස් උත්සාහ කරන්නේ පාසල බිඳ වැටෙන තැනට කටයුතු කිරීමයි..

“ ඔබ මේ විදිහෙ චෝදනාවක් කරන්නේ කොහොමද.

අප චමීර මහතාගෙන් විමසුවෙමු.

“2015 දිත් පාසල වසා දමන උත්සාහයක් තිබුණා. අපේ සහ මාපියන්ගේ විරෝධය නිසා ඒක වැළකුණා දැන් යළිත් ඒ පිරිස උත්සාහ කරනවා පාසල බිඳ දමන්න. මේ අයගේ අරමුණ වෙලා තියෙන්නෙ බිහිරි පාසල සහ අන්ධ විද්‍යාලය ඒකාබද්ධ කරන්න. එතකොට මහ පාරට යාබද ඉඩම් වෙනත් දේ සඳහා යොදා ගන්න උත්සාහ කරනවා.ඒත් බිහිරි දරුවන් සහ අන්ධ දරුවන් එකට දමා ඉගැන්වීම අධ්‍යාපන විද්‍යාවට අනුව නුසුදුසු දෙයක් විදිහටයි සලකන්න පුළුවන්කම තිබෙන්නේ. එපමණක් නොවෙයි අලුත් ළමයි බඳවා ගන්න එක පාලනය කර තිබෙනවා. මේක ඉතාමත් වැරැදි දෙයක්.

බ්‍රේල් අකුරු රටා ඉගැන්වීම තමයි දෘෂ්‍යාබාධිත දරුවකුගේ මුලික අවශ්‍යතාවය වන්නේ ඒත් මේ වන විට එම විෂයන් සඳහා ප්‍රවීණත්වයක් ඇති ගුරුවරු නැහැ..

මේ විද්‍යාලයේ ඉස්සරහින්ම තිබුණ අංශය තමයි සංගීත වාදන සහ ගායන අංශය. ඒත් අද වෙද්දි ඒ දේවල් ගොඩක් පිටුපසට ගිහින්..මේ හැම දෙකින්ම විදුහලේ ප්‍රමිතිය තමයි පහළ යන්නේ.. එතකොට අන්තිමට වෙන්නේ මේ පාසලෙන් දරුවන් ඈත් වීම පමණයි මේ වෙද්දි දරුවන් සියයකට වැඩි ප්‍රමාණයකුයි මෙහි අධ්‍යාපනය ලබන්නේ. මේ තත්ත්වය නිසා පාලනාධිකාරියේ අවශ්‍යතා මොනවාද කියල පැහැදිලි වෙනවා.

ගණිතය , විද්‍යාව , සිංහල වගේ අත්‍යාවශ්‍ය විෂයන් පවා උගන්වන්නේ නැති තැනකට අද විදුහල පත් කර අවසන්.මේ හැම දේකම අරමුණ වෙලා තිබෙන්නේ අන්ධ විදුහල කුඩා පාසලක් කර විදුහලට අයිති අක්කර හතරක ප්‍රමාණය වෙනත් දේ සඳහා යොදා ගැනීමයි.

ඇත්තෙන්ම කලකට ඉහත ආසියාවේ හොඳම දෘෂ්‍යාබාධිත පාසල වූ මේ ඉස්කෝලෙට මෙහෙම කරන එක අපරාධයක් විදිහටයි අපිට සලකන්න පුළුවන්කම තියෙන්නේ.

අනෙක දෘෂ්‍යාබාධිත දරුවෙකුට විශේෂ අවශ්‍යතා රැසක් තිබෙනවා ඔවුනට මේ අවශ්‍යතා සපුරා ගන්න බැරිනම් වැඩක් නැහැ..“

දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනයේ සභාපතිවරයා සඳහන් කරන ආකාරයට මෙම පාසලට විශාල ආධාර ප්‍රමාණයක් ලැබෙන අතර මේ තත්ත්වය තුළ පාසල ආයාසයකින් තොරව පවත්වාගෙන යාමට හැකියාව තිබේ. දැනුදු ඉගෙනුම ලබන දරුවන්ට අවශ්‍ය ආහාර පාන ඇතුළු අත්‍යාවශ්‍ය දේ පාසලින් ලැබීම ගැන සතුට පළ කිරීමට ඔහු අමතක නොකරයි.

දෘෂ්‍යාබාධිත පාසල් ශිෂ්‍යකුගේ මවක වන කුමුදුනි පෙරේරා මහත්මිය පාසල පත්ව ඇති තත්ත්වය සහ දරුවන්ගේ අධ්‍යාපනය ගැන දක්වන්නේ මෙවැනි අදහසකි.

“ මේ ඉස්කෝලේ විතරයි ළඟ පාතක අපේ දරුවකුට ඉගෙන ගන්න පුළුවන් තැනක් විදිහට තියෙන්නේ. ඒ තැනත් නැති වන තැනටයි දැන් වැඩකටයුතු වෙන්නේ..අපට අපේ දරුවකුව බලන්න පාසලට යන්න බැහැ.අම්මලා ලොකු දුකකට පත් වෙලා ඉන්නේ. ඇත්තෙන්ම අපේ දරුවන් අනෙක් දරුවො වගේ නොවෙයි විශේෂ අවශ්‍යතා සහිත දරුවන්. ඒ නිසා අපි ඔවුන් පෙනෙන මානයේ ඉන්න ඕනැ. ඒත් මේ වෙද්දි පාසලේ පාලනය අපිව අමානුෂික ලෙස පාසල් බිමෙන් බැහැර කරල විතරක් නොවෙයි අම්මලාට වෙන් කර තිබුණ කාමරයත් වසා දමලා.මේ හැම දෙයක් පස්සෙම තියෙන්නෙ පාසල වසා දැමීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමයි...ආදි ශිෂ්‍යන්ට පාසලට එන්න දෙන්නෙත් නැත්තේ ඒ අය පාලනාධිකාරිය සිදුකරන මේ උත්සාහයට විරුද්ධව වැඩ කිරීමයි.. මේක ඇත්තෙන්ම කනගාටුදායක තත්ත්වයක්.“

එමෙන්ම මාපියන් සඳහන් කරන ආකාරයට අද වන විට විදුහල් පත්වීම් පවා සිදු කරනු ලබන්නේ අවිධිමත් ආකාරයටය. එහිදී සුදුසුකම් සහ පලපුරුද්ද ගැන සලකා බැලීමක් සිදුකරනු ලබන්නේ අල්ප වශයෙනි.

විදුහල තුළ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව කරුණු දක්වා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත මාපියන් සහ ආදි සිසුන් විසින් ලිපියක් යොමු කිරීමෙන් පසු අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් දැනටමත් විධිමත් වාර්තාවක් සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කර ඇතැයි ඔවුහු සඳහන් කරති.

විදුහලේ තත්ත්වය ගැන අදහස් පළ කරන තවත් මවක වන ශ්‍යාමලී පීරිස් මහත්මිය සඳහන් කරන්නේ මෙවැනි අදහසකි.

“අපිට ඕනැ මේ ඉස්කෝලෙ පවත්වා ගෙන යන්න අපිට පාලනාධිකාරිය එක්ක කිසිම ගැටුමක් හෝ අමනාපයක් නැහැ.. අපේ පාසල අපේ දරුවන්ගේ පාසල ආරක්ෂා කර දෙන්න පුළුවන්නම් අපේ බලාපොරොත්තුව ඒකයි. ඒ නිසා අපි ආදරයෙන් ඉල්ලා සිටින්නේ ඉස්කෝලෙ වැටෙන්න නොදී ඉඩම් නොවිකුණා දරුවන්ගේ යහපත වෙනුවෙන් වැඩ කරන්න කියලා. එතැනදි අපි මාපියන් විදිහට ඕනෑම සහයෝගයක් දෙන්න ලෑස්තියි..“

ඒත් පාලනාධිකාරිය අපේ සහයෝගයත් එක්ක ඉස්සරහට යන්න කැමැත්තක් නැති බව තමයි ඒ අය කටයුතු කරන විදිහෙන් පෙනෙන්නෙ. ඒ වගේම මේ වෙද්දි අපිට ලැබෙන්නෙ නම් හොඳ ආරංචි නොවෙයි බිහිරි පාසලයි අන්ධ විද්‍යාලයයි ඒකාබද්ධ කරනවාලු ඇත්තෙන්ම එක් කොහොමවත් හොඳ දෙයක් නොවෙයි..මේ දරුවන්ගේ අවශ්‍යතා දෙවිදිහක් ඉතින් එහෙම තියෙද්දි පටු වානිජ අරමුණකින් මේ වැඩේ කරන්න එපා ..ඇත්තෙන්ම මේක මහ අපාරාධයක්...“

රත්මලාන අන්ධ විද්‍යාලයේ සිසුවකු වන දිල්ෂාන් නිම්සර සිසුවා ගෙන් ඔවුන් පත්ව ඇති තත්ත්වය ගැන විමසු විට ඔහු කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා හැඬුම්බර වූ අතර එම හැඩුම්බර වීම තුළ වචනයෙන් කීමට බැරි බොහෝ දේ ගැබ්ව තිබුණි.

මේ ගැන අප රත්මලාන අන්ධ විද්‍යාලයේ කළමනාකරු ලෙස කටයුතු කරන නිරෝෂ් සිල්වා මහතාගේ 0777722555 දුරකථනයට ඇතිව ඇති තත්ත්වය ගැන විමසීමට ඇමැතුම් ලබා දුන්නද කිසිදු අවස්ථාවක ඒ මහතා දුරකථනයට සම්බන්ධ කර ගැනීමට අවස්ථාව නොලැබුණි.

විශේෂ අවශ්‍යතා ඇති දෘෂ්‍යාබාධිත දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දුන් රත්මලාන අන්ධ විද්‍යාලය වැනි කීර්තිමත් පාසලක් බිඳ නොවැටී ආරක්ෂා කිරීම සැමගේ සියලු බලධාරින්ගේ වගකීමක් වන අතර එමගින් අනාගත පරපුරටද නිසි රැකවරණයක් ඇතිවනු නියතය.

 


නව අදහස දක්වන්න