අලුත් ලෝකයක් ගැන නොවෙනස් බලාපොරොත්තුව | දිනමිණ


 

අලුත් ලෝකයක් ගැන නොවෙනස් බලාපොරොත්තුව

මඟ හැරුණු මිනිසා 100

ලෝකය පුරා වගේම ලංකාවෙත් උද්යෝගිමත් තරුණ පරම්පරාවක්, වඩා යහපත් ලෝකයක් ගොඩ නඟා ගැනීම සඳහා අවංකව පරිත්‍යාග කරමින් ඉන්නවා. එවැනි තරුණ කොටස් ලංකාවේ දකුණේත් උතුරේත් ඇතුළු හැම ප්‍රදේශයකම ඉන්නා බවයි මා කල්පනා කරන්නේ. මේ අය එක අරමුණක් වෙනුවෙන් එකට එකතු කරන්නට තරම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම කණගාටුවට කරුණක්. උදාහරණයක් ගත්තොත් අඩු තරමින් දේශපාලන කණ්ඩායම් තුනක් 1971 අප්‍රේල් නැඟිටීම සමරනවා. දේශපාලන කණ්ඩායම් දෙකක් 1989 නොවැම්බරයේ රෝහණ විජේවීර සහෝදරයා සැමරීමේ උත්සව පවත්වනවා.

ජනතා විමුක්ති පෙරමුණ නම් වූ තම පක්‍ෂය තුළ මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්නට පැවති අවකාශය ක්‍රමයෙන් හීන වී යන්නට හේතු වූ ඇතැම් දේ පිළිබඳව බෝපගේ දක්වන අදහස විටෙක විවාදාසම්පන්න විය හැක.

“පක්‍ෂ අභ්‍යන්තරයේ ඇතැම් වැඩ කටයුතුවලදී පවා රෝහණ සහෝදරයා අනෙක් අයගේ අදහස්වලට ඇහුම්කන් නොදීම, ඇතැම් අවස්ථාවල දී හිතුවක්කාර ලෙස පුද්ගලික තීරණ ගැනීම, පක්‍ෂ සංවිධානය තුළ කල්ලි කණ්ඩායම් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම, පුද්ගලිකව ගන්නා ලද තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා එම කල්ලි කණ්ඩායම් යොදාගැනීම වැනි කටයුතු ඒ අතර තිබුණා. ඒ වගේම එවැනි කල්ලි කණ්ඩායම් පක්‍ෂයේ වැඩ කටයුතුවලට හානි වන ආකාරයෙන් කටයුතු කරන බව සනාථ වුණාම රෝහණ සහෝදරයා එම කල්ලිවලින් ඉවත් වී කටයුතු කළ බවත් සඳහන් කරන්න ඕනේ.”

“70 දශකයේ ශ්‍රී ලාංකීය වාම දේශපාලනය තුළ, රට පුරාම පැතිරී ගිය, දැඩි කැප කිරීමකින් යුක්ත, සමාජ ආර්ථික ප්‍රශ්න ගැන දැණුම් තේරුම් ඇති ප්‍රබල ව්‍යාපාරයක් පළමු වරට ගොඩනැඟුවේ රෝහණ සහෝදරයාගේ නායකත්වයෙන්. 1971 දීත් 87-89 කාලයේ දීත් පක්ෂයේ ක්‍රියාකාරකම්වල ජනනාත්මක වගේම නිශේධනාත්මක බලපෑමුත් තිබුණා. රෝහණ සහෝදරයාත් ජනතා විමුක්ති පෙරමුණත් අපේ රටේ දේශපාලනය තුළ ඓතිහාසික වශයෙන් කළ බලපෑම නොසලකා හරින්න බැහැ. වසර ගණනාවක් රෝහණ සහෝදරයා සමඟ දේශපාලන වශයෙන් ඉතාමත් සමීපව සිටි කෙනෙක් හැටියට ඔහුගේ දේශපාලන සිතුවිලි දෙස විවේචනාත්මකව ආපසු හැරී බලද්දී මම අදත් කරන්නේ ඔහුගේ ජනනාත්මක දේශපාලන බලපෑම නොකඩවා ඉදිරියට ගෙනියන එක කියල මට හිතෙනවා. රෝහණ සහෝදරයාත් මාත් අතර තිබුණ දේශපාලන වෙනස්කම්, නොගැළපීම් සහ මතභේද කොහොම වුණත් මට අදත් රෝහණ සහෝදරයාගේ දේශපාලන කැපවීම පිළිබඳව දැඩි ගරුත්වයක් තිබෙනවා.”

“ඒ නිසාම මට ඒ ඉතිහාසය විකෘති කරන්නට කිසිම අවශ්‍යතාවක් නැහැ. කරන ලද දේශපාලනයේ වැරදි අඩුපාඩු ගැන මම ඔහුට පමණක් පෞද්ගලිකව චෝදනා නඟන්නේ නැහැ. ඒ වගේම මම රෝහණ සහෝදරයාව අන්ධ භක්තියෙන් වර්ණනා කරන්නෙත් නැහැ. මේ සම්මුඛ සාකච්ඡාව රෝහණ සහෝදරයා ගැන හෝ ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව දීර්ඝ විග්‍රහයක් කරන අන්දමේ සාකච්ඡා පෙළක් නෙවෙයි. මේ සාකච්ඡා පෙළ පටන් ගත්තේ මගේ ජීවිතයේ 75 වසරක අත්දැකීම් සටහන් කරන්න. ඒ නිසා පක්ෂයත් රෝහණ සහෝදරයා ගැනත් දේශපාලන වශයෙන් දීර්ඝ විග්‍රහයක යෙදෙන්නට මට මෙහි අවකාශයක් ලැබෙන්නේ නැහැ. එසේ කළොත් මේ සටහන් ඉතා දීර්ඝ වෙනවා.”

“ඒත් අප කාලයක් නායකත්වය දුන් අපට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණේ අද දවස පිළිබඳවත් කෙටියෙන් හෝ සටහනක් කරන්න වෙනවා. මගේ ජීවිතය බොහෝ විට බැඳී තිබුණේ ඒ මත නිසා. අපි දේශපාලනයට පැමිණි 70 දශකයේ අග භාගයත් අද ලෝකයත් වෙනස්. දැන් ලෝකය එක්තරා අන්දමකින් ශක්තිමත් නව ලිබරල් ධනේශ්වර ආර්ථික ක්‍රමයක් සහිතයි. ඒ ලෝකය අර්බුදවලින් ගහන වෙලා. 70 දශකයේ ජනතා විමුක්ති පෙරමුණ සමාජ සාධාරණත්වය ඇති කරන්නට, සමාජවාදය ගොඩ නඟන්නට මාවතක් සොයන්නට උත්සාහ ගනිද්දී ලෝකයේ සමාජවාදී යයි හැඳින්වූ ප්‍රබල දේශපාලන කඳවුරක් පැවතුණා. අද අප දන්නා කරුණුවලට අනුව ඒ කඳවුරේ බොහෝ ජනනාත්මක පැති තිබුණත් බොහෝ නිෂේධනාත්මක පැතිත් එහි පැවතී තිබෙනවා.”

“ඒ කඳවුරේ වැඩ කරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය පැවතුණ බවක් හෝ ක්‍රියාත්මක වුණ බවක් පෙන්වන්නට තරම් සාධක ඇත්තේ නැහැ. පෞද්ගලික ධනේශ්වර ව්‍යාපාර වෙනුවට රාජ්‍ය ධනේශ්වර ව්‍යාපාර ආදේශ කරනු ලැබුවා. ඒ කඳවුරේ තිබුණ රටවල් ඔවුන්ගේම වූ ආර්ථික හා යුද්ධ මාදිලි සහ ආකෘති අනෙක් රටවලට ආරෝපණය කරන්නට උත්සාහ කළා. ඊට එකඟ නොවූ දේශපාලන ව්‍යාපාර ඔවුන්ගේ සතුරන් ලෙස සලකන්නට පටන් ගත්තා. වඩා යහපත් ලෝකයක් ගොඩනැඟීමට කෙටි පාරවල් නැහැ. තනි මාදිලියක් හෝ පූර්ව ආකෘතියක් හෝ නැහැ. වැඩ කරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සැබෑ ලෙසින් ක්‍රියාත්මක වන සමාජයක් ගොඩනැඟීම බලහත්කාරයෙන් ජනතාව මත පැටවිය හැකි, ජනතාව වෙනුවෙන් ආදේශ වෙලා වෙනත් අයකුට කළ හැකි දෙයක් නොවෙයි. ඒ මාර්ගය වැඩ කරන ජනයා විසින්ම ගොඩ නඟාගත යුතු සංකීර්ණ ක්‍රියාවලියක්.”

“අපි දන්නවා අදත් ලෝකය පුරා වගේම ලංකාවෙත් උද්යෝගිමත් තරුණ පරම්පරාවක් වඩා යහපත් ලෝකයක් ගොඩ නඟා ගැනීම සඳහා අවංකව පරිත්‍යාග කරමින් ඉන්නවා. එවැනි තරුණ කොටස් ලංකාවේ දකුණේත් උතුරේත් ඇතුළු හැම ප්‍රදේශයකම ඉන්නා බවයි මා කල්පනා කරන්නේ. මේ අය එක අරමුණක් වෙනුවෙන් එකට එකතු කරන්නට තරම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම කණගාටුවට කරුණක්. උදාහරණයක් ගත්තොත් අඩු තරමින් දේශපාලන කණ්ඩායම් තුනක් 1971 අප්‍රේල් නැඟිටීම සමරනවා. දේශපාලන කණ්ඩායම් දෙකක් 1989 නොවැම්බරයේ රෝහණ විජේවීර සහෝදරයා සැමරීමේ උත්සව පවත්වනවා. මේ අයට එක තැනකට ඇවිල්ලා ස්වයං විවේචනාත්මකව තමන් දරන අදහස් ඉදිරිපත් කරලා මේ සැමරීම් කරන්නට බැරි ඇයි? මා කල්පනා කරන්නේ මේ දේශපාලන න්‍යාය පත්‍රය පිටුපස තිබෙන්නේ වැඩ කරන ජනයාගේ ඕනෑ එපාකම් රැකීමට වඩා තමන්ගේ ගොඩ ලොකුකර ගැනීම හෝ ලොකුකොට පෙන්වීම වැනි අවස්ථාවාදී වුවමනාවක් බවයි. මේ තත්ත්වය ඉක්මනින්ම වෙනස් කළ යුතුයි.”

“තවත් කණ්ඩායමක් තවදුරටත් ලෝකය විග්‍රහ කිරීමට මාක්ස්වාදයට නොහැකි බව කියා සිටිනවා. ඒ අය කියන්නේ මාක්ස්වාදය තවදුරටත් වලංගු නැති අභාවයට ගිය දර්ශනයක් කියලා. මම හිතන්නේ එය ඉතාමත් වැරදි, ඉතාමත් පසුගාමී අදහසක්. සැබෑව වන්නේ අද පවතින ලෝකයේ යථාර්ථය පිළිබඳව විද්‍යාත්මක විශ්ලේෂණ විධි ක්‍රමයක් ලෙස තවමත් යොදා ගත හැකි එකම දේශපාලන හා ආර්ථික දර්ශනය මාක්ස්වාදය පමණක් බවයි. අදට ඒ දර්ශනය වෙනදාටත් වැඩියෙන් වලංගු බව මා හිතනවා. ලෝකය වටහා ගන්නත් එය වෙනස් කරන්නත් සමාජය ඇති සැටියෙන් විග්‍රහ කර ගැනීම අත්‍යාවශ්‍ය යි. මාක්ස්වාදය අපකීර්තියට පත් කරන්නට අවශ්‍ය අය වුණත් මේ තත්ත්වය ඇතැම් විට පිළිගන්නවා. අප ඒ දර්ශනය වටහා ගත් ආකාරය, එය ක්‍රියාවට නංවන්නට උත්සාහ කළ ආකාරය වැරදි සහගත බව මා කල්පනා කරනවා. ඒක ලෝක පරිමාණයෙන් සිදු වුණු වැරැද්දක්. මම හිතන්නේ සමාජය වෙනස් කිරීමේ නියමුවා විය හැකි පක්ෂයක් විසින් කළ යුතු එක් වගකිව යුතු කාර්යයක් වෙන්නේ විප්ලවකාරී භාවිතාවේ සෛද්ධාන්තික පදනම, මාක්ස්වාදී විශ්ලේෂණ විධික්‍රමය තම සාමාජිකයන් අතර නිසි ලෙස තහවුරු කිරීම.”

“සමාජවාදී ආකාරයකට ආරම්භ වුණු සමාජ පෙරළිවලින් පසුව සමාජ සාධාරණත්වය ගොඩනඟන්නට කරන ලද ව්‍යායාමයන් අසාර්ථක වුණ බව අපි දන්නවා. ඒ සමාජ වැඩපිළිවෙළවල් අසාර්ථක වුණේ ධනේශ්වර රටවල ඔත්තු සේවාවන් කළ ආර්ථික හා සමාජයීය කඩාකප්පල් ක්‍රියා හේතුවෙන් ම පමණක් නොවෙයි. ඊට වැඩියෙන්ම බලපෑවේ ඒ සමාජයන් තුළම පැවති අභ්‍යන්තර හේතූන්. නිෂ්පාදන මාර්ගවල පැවති ඌණතාවයන් මෙන්ම නිෂ්පාදන සම්බන්ධතාවල පැවති වැරදි, අඩුපාඩු සහ දුර්වලකම්. නිෂ්පාදන මාර්ග කළමනාකරණය කළේ කම්කරුවන්ගේ සාමූහිකත්වයන් විසින් නොවෙයි, ආණ්ඩු කළ පක්ෂවලින් පත් කළ නිලධාරීන් විසින්. ඔවුන්ට කළ යුතු දේවල් ගැන කිසිදු අවබෝධයක් නොතිබුණු බව පැහැදිලි යි. මේ නිසා ඒ රටවල පුරවැසියන්ගේ පෞද්ගලික ජීවිතයේ අවශ්‍යතා සපුරන ආකාරයේ නිෂ්පාදන, භාණ්ඩ සහ සේවාවන් සමාජගත වුණේ නැහැ. ඒ රටවල් අවට පැවති ධනේශ්වර රටවල දිළිඳු අයට ඒවා ලබා ගත නොහැකි වුණත් එවැනි අවශ්‍යතා සපුරන ආකාරයේ නිෂ්පාදන භාණ්ඩ සහ සේවාවන් සුලභව පැවතුණා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය වුණු තරුණ පරම්පරාවට තම රටවල පවතින සමාජ ක්‍රමය ආරක්ෂා කොට පවත්වා ගන්නට තරම් අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.”

“සමාජවාදය යටතේ ජනතා වුවමනා එපාකම් සපුරාලන්නට නම් කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ මහා පරිමාණ කාර්මීකරණයක් අවශ්‍ය වෙනවා. ඩිජිටල් තාක්ෂණය ඇතුළු ලෝකයේ දියුණුතම තාක්ෂණවේදයන් සමාජ යහපත සඳහා යොදා ගත යුතු වෙනවා. ඉහළ සමාජ කාර්යක්ෂමතාවයන් සහ ඵලදායකත්වයන් නොමැති සමාජවල පාරිභෝගික අවශ්‍යතා සම්පුර්ණ කරන්නට නම් ධනේශ්වර නිෂ්පාදන බලවේගවල වර්ධනයට ඉඩ සැලසෙන පරිද්දෙන් නිෂ්පාදන සම්බන්ධතා වෙනස් කොට වැඩි දියුණු කළ යුතු වෙනවා. ඒ හා සමඟම වැඩ කරන ජනයාගේ සාමූහිකත්වය සහ සක්‍රීය සහභාගිත්වය පදනම් කොට ගෙන අකාර්යක්ෂමතාව, අල්ලස, දූෂණය වගේම පාලක කණ්ඩායම්වල අත්තනෝමතික ක්‍රියාවන් කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයන් සකස් කොට ක්‍රියාත්මක කළ යුතු වෙනවා.”

“මේ කිසිවකින් හෝ අපේ කේන්ද්‍රීය ප්‍රශ්නය වන ජාතික ප්‍රශ්නය විසඳිය හැකි යැයි කල්පනා කරනවා නම් මම හිතන්නේ අප තවමත් ජීවත් වන්නේ 60 දශකයේ අග බවයි. දැන් ලෝකය එදාට වඩා බොහෝ වෙනස්. අද තරුණ පරපුර හිතන්නේ එදා අප හිතුවාට වඩා වෙනස් අන්දමට. අපට නොතිබුණු සහ නොලැබුණු දියුණු තාක්ෂණවේදයක් අද තරුණ පරපුර සතුව තිබෙනවා. ඒ නිසා ලෝකය ගැන හදාරන්නට, දැන ගන්නට එදාට වඩා අද පහසුයි. ඒ නිසා වඩා යහපත් ලෝකයක් ගොඩනැඟීම අරමුණු කරගෙන කටයුතු කරන ව්‍යාපාර එවැනි තරුණ පරම්පරාවලට අනුකූල වන අන්දමේ ප්‍රචාරක, සංවිධානාත්මක සහ අධ්‍යාපනික කටයුතුවල නිරත විය යුතු වෙනවා.”

“ජනතා විමුක්ති පෙරමුණ විසින් දශක කිහිපයක් තිස්සේ ඔසවා ගෙන සිටි ජාතිකවාදී සහ ජාතිවාදී විය ගහෙන් මිදෙන්නට සමාජය වෙනස් කිරීමේ කාර්යයට අතහිත දෙන්න අලුත් පරම්පරාව උත්සාහ ගත යුතුව පවතිනවා. ඉතාමත් සුළුවෙන් වුණත් මෑත කාලීනව පක්ෂයේ සමහර කරුණු ගැන සතුටු වෙන්නට පුළුවන්. උදාහරණයක් හැටියට දෙමළ ජාතික සන්ධානයේ සුමන්දිරන් මන්ත්‍රීවරයා පසුගිය මැයි පළමු වෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ යාපනය මැයි පෙළපාලියේ ගමන් කිරීම මා දකින්නේ යහපත් ප්‍රවණතාවයක් විදියට. බොහෝ දෙනෙක් මෙය ප්‍රයෝජ්‍යතාවාදී ලෙස අවස්ථාවාදී ලෙස අර්ථ දක්වන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් ජාතික ප්‍රශ්නය හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වුණ ප්‍රධාන ලේකම්වරයා විදියට මා ඒ පියවර දකින්නේ සුබවාදී අන්දමට.”

“මගේ පුද්ගලික ජීවිතය ගැන යමක් කියනවා නම් මම දැන් කල් ගෙවන්නේ විශ්‍රාමිකයෙක් ලෙස. නමුත් පූර්ණකාලීන රැකියාවේ යෙදිල හිටපු කාලෙට වඩා මට දැන් වැඩ වැඩියි. ඒ මම ප්‍රජා හා සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස විවිධ කටයුතුවල නිරත වීම නිසා. උදාහරණ හැටියට මම ‘ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගිතාව’, ‘මානව අයිතීන් සහ සමානත්වය සඳහා වූ ව්‍යාපාරය’, ‘ඔස්ට්‍රේලියා-ආසියා කම්කරු බැඳීම්’ ඇතුළු සරණාගතයන්, සංක්‍රමණිකයන් වැනි අයට සහ සංහිඳියා වැනි කටයුතුවලට සහාය වෙන වෙනත් සංවිධානවල වැඩ කරනවා. ඒ අතරේ ලිපි ලිවීමත්, පවුලේ වැඩ කටයුතුත් කරනවා. ඒ අතරතුර නොයෙක් අයගේ ප්‍රශ්න විසඳා ගැනීමටත් මට හැකි අයුරින් මැදිහත් වෙනවා. මේ නිසා දැන් මගේ ජීවිතයේ විවේක කාලයක් නැති තරම්.”

“නිරන්තරයෙන් අලුත් දේ ඉගෙනීමේ ආශාව මගේ ජීවිතයේ නිසඟ ලක්ෂණයක්. කුඩා කාලයේ සිටම මම දේශපාලනය ගැන උනන්දු වුණා වගේම ඉංජිනේරු ශිල්පය ද ඉගෙන ගන්නට මට අවශ්‍ය වුණා. 80 ගණන්වල සර්වෝදයේ ආදායම් උපදවන ව්‍යාපෘතිවල සේවය කරද්දී මම ව්‍යාපාර කළමනාකරණ ශාස්ත්‍රපති උපාධියට ඉගෙන ගත්තා. අනූ ගණන්වල ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් ආණ්ඩුවේ සේවය කරද්දීම රාජ්‍ය කළමනාකරණ ශාස්ත්‍රපති උපාධියට ඉගෙන ගත්තා. ඒ දිනවල මමත් චිත්‍රාත් දෙදෙනාම රැකියාවල නිරත වුණත්, ආර්ථික ප්‍රශ්න නිසා මා ඒ කාලයේ තවත් අමතර රැකියාවකුත් කළා. කැන්බරා විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ජාත්‍යන්තර අලෙවිකරණය (International Marketing) විෂය ඉගැන්වුවා. අප නැවතී සිටි කුලී නිවාසයේ වාණිජ සමාගම අපට වෙනස්කම් කිරීම හේතුවෙන් අපට අපේම නිවෙසක් තනාගෙන පදිංචි වෙන්නට අවශ්‍ය වුණා. මමත් චිත්‍රාත් සති අන්තයේ ඉඩම් කැබලි බලන්නට ගියත් ඒ සඳහා තැබීමට ඇප මුදලක් අප ළඟ නොතිබුණු නිසා පසුවදා වන විට අප කැමති ඉඩම් කැබැල්ල විකිණෙනවා. මේ පිළිබඳව දැන ගත් කැන්බරා නුවර ආචාර්ය විලී සේනානායක සහ ආචාර්ය භද්‍රා සේනානායක පවුල ඇප මුදල් ලෙස තබන්නට අපට ඩොලර් 1000ක් දුන්නා. අපි අපේ ජීවිත ගොඩනඟා ගත්තේ එවැනි අයගේ උදව් උපකාර සහ සහයෝගය නිසා.”

“මේ කාලයේදීම විශ්වවිද්‍යාලයෙන් මා ආචාර්ය උපාධිය සදහා කටයුතු කළ යුතු බව යෝජනා කළා. දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතුත් මගේ ප්‍රජා කටයුතුත්, පවුලේ වැඩ කටයුතුත් නිසා ආචාර්ය උපාධිය සඳහා කටයුතු කිරීම කල් දැම්මා. මෙල්බන් නුවර පදිංචියට ඇවිත් ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් ආණ්ඩුවේ මෝටර් රථ තරගකාරිත්ව හා ආයෝජන යෝජනා ක්‍රමයේ සේවය කරද්දී ආචාර්ය උපාධිය සඳහා කටයුතු කරන්නට අවස්ථාව ලැබුණා. අර්ධකාලීනව වසර පහකින් නිම කළ යුතුව තිබුණු අධ්‍යයන සහ පර්යේෂණ කටයුතු වසර දෙකහමාරකින් නිම කරන්නට මට පුළුවන් වුණා. මගේ නිබන්ධනය වුණේ ‘වාණිජ ලිබරල්කරණය සහ ඔස්ට්‍රේලියානු මෝටර් රථ කර්මාන්තයේ ව්‍යුහාත්මක වෙනස්වීම්’ යන්න.”

‘මඟ හැරුණ මිනිසා’ පොත්පත් සහ විශේෂාංග ලිපි වැනි බොහෝ මූලාශ්‍ර ඇසුරෙන් අපි කොටස් සියයක් පුරා කියා ගෙන ආවෙමු. ඒ අතරතුර ලයනල් බෝපගේ 75වන වියට එළැඹිණි. එහෙත් ඔහු තවමත් ද්විත්ව පුරවැසියකු, දේශපාලන ක්‍රියාකාරිකයකු සහ මානව හිමිකම් වෙනුවෙන් හඬ නඟන්නකු වශයෙන් අප්‍රතිහත අවධානය විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සමාජ සාධාරණත්වයට සහ ප්‍රගතියට තුඩු දෙන සුසංමය දේශපාලන සහ ආර්ථික ක්‍රමයක් නිර්මාණය කිරීම උදෙසා යොමු කොට ඇත. ලැබෙන සෑම මොහොතකම වර්ගවාදයට ජාති භේදවාදයට එරෙහිව ඔහු බිම් මට්ටමේ සටන් කරයි. ජන ප්‍රජාවකට එරෙහිව ඕනෑම ආකාරයක වෙනස්කම් කිරීමකට එරෙහිව ක්‍රියාත්මක වෙයි. ලයනල් බෝපගේ පමණක් නොව 21වැනි සියවසේ ලොව පුරා දේශපාලන ක්‍රියාකාරිකයන්ගේ ජීවිතය එබඳු ය. ලයනල් බෝපගේගේ ජීවිතයෙන් ලැබෙන අත්දැකීම් අනුව දැකිය හැක්කේ මෙම අරගලය පුද්ගලයකුගේ පංතිය, වාර්ගිකත්වය, නිවහන, පෙදෙස සහ භෞතික අවස්ථාවන් සියල්ල ඉක්මවා යන බව යි. ඔහුගේ කථාව අරගලයේ විශ්ව ව්‍යාපී බව අපට යළි යළිත් කියා දෙයි. ඒ නිසාම එය නොනැවතී ඉදිරියට ම ඇදෙයි. නොනැවතී ඇදෙන අරගලකාරී ඔහු වෙනස් ලෝකයක් පිළිබඳව තවමත් සිය විශ්වාසය තබයි.

“අපට තවදුරටත් ලෝකය වෙනස් කරන්න බැහැ කියන නියාලු අදහස සමහරු දරනවා. එක වැරදි අදහසක්. ලෝකය අපට වෙනස් කරන්න පුළුවන්. අපි පවතින ලෝකය වඩා යහපත් ලෝකයක් බවට වෙනස් කළ යුතුයි. ලෝකය කියන්නේ ඉබේ ගලා යන ජල පහරක් නෙමෙයි. එහි හැඩය, ගමන් විලාශය, අත් කර ගෙන ඇති මිනිස් ජයග්‍රහණ ස්වයං සිද්ධ දේ නෙමෙයි. ඒ සියල්ල ධෛර්යවත් මිනිසුන්ගේ කැප කිරීම් සහ පරිත්‍යාගයන් මතින් සිදු වූ දේවල්. අපි දන්නවා සමහර යුගවලදී ඒ සමාජ වෙනස්කම් කළේ ආයුධ මතින්. අපිත් එහෙම උත්සාහ කළා. ඒත් තවදුරටත් සම්ප්‍රදායික අවිවලට ලෝකය වෙනස් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මේ යුගයේ පීඩිතයාගේ, නිර්ධනයාගේ අවිය තමයි දැනුම, බුද්ධිය සහ අත්දැකීම. ඒවා නිසි ලෙස මුවහත් කරලා නිශ්චිත මොහොතේ දී අවි ලෙස භාවිත කළොත් අපට අපේ සමාජ ක්‍රමය යහපත් එකක් බවට පත් කරන්න පුළුවන්. එතැන දී වැඩ කරන ජනතාව අධ්‍යාපනයෙන්, දැනුමෙන්, අත්දැකීමෙන් සන්නද්ධ කිරීම නිවැරදි පන්ති ව්‍යාපාරයක වගකීම. සමාජ ක්‍රමය වෙනස් කිරීම සඳහා තියුණු ම අවිය එයයි. අපි මතක තබා ගත යුතු විශේෂ කරුණ තමයි අප ලබන, අප ලබාදෙන දැනුම උපකරණයක් මිස ආභරණයක් කර නොගත යුතුයි කියන කාරණය.”

“සමාජය වඩා යහපත් එකක් බවට හරවන්නට කළ අරගලය ලංකාව තුළ කිහිප වරක් පරාජයට පත් වුණා. ලෝක පරිමාණයෙනුත් එහෙමයි. අපි ඉතාමත් අවංකව නිහතමානී ව පක්ෂග්‍රාහී නොවී ඒ පරාජයන්ට හේතු සොයා ගත යුතුයි. ඒ උත්සාහය ලෙහෙසි දෙයක් නෙමෙයි. අපේ රටේ උතුරේත් දකුණේත් නිර්ධන පන්තියට හෝ පහළ මධ්‍යම පන්තියට අයත් ඉතාමත් පරිත්‍යාගශීලි පරම්පරාව කිහිපයක් ඝාතනයට ලක් වුණා. එය වේදනාබර මතකයක්. ඔවුන්ට සාධාරණය ඉෂ්ට කිරීම, ඔවුන් කරන ලද පරිත්‍යාගයට ඉතිහාසයේ හිමි තැන ලබා දීම කළ හැක්කේ දිරාපත් වී ඇති මේ සමාජය වඩා යහපත් එකක් බවට පත් කිරීමෙන්. මම කල්පනා කරනවා ඒ කාර්යභාරය අපේ පරපුරේ වගකීම බවට පත් වී තිබෙන බව.”

“මගේ ජීවිතයේ මම ගෙවන්නේ 75වන අවුරුද්ද. මම තවමත් පෞද්ගලිකව මට හැකි අන්දමින් ලෝකය පුරා යමින් මගේ අත්දැකීම් ලෝකයේ අත්දැකීම් සමඟ බෙදා හදා ගන්නවා. විවිධ පුද්ගලයන් මුණ ගැහෙනවා. යුක්තිය හා සාධාරණය සඳහා කරන අරගලය අත්හරින්න මට අයිතියක් නැහැ කියලා මම තවමත් විශ්වාස කරනවා. ඒ නිසාම මම ඒ අරගලය ඉදිරියට ගෙන යන්නට අවශ්‍ය කරන අලුත් දැනුම හොයා යනවා. අප අතරේ වැරදි නොකළ අඩුපාඩුකම් නොමැති අය නැහැ. නිවැරැදි දේ වන්නේ ඒ වැරදි අඩුපාඩුකම් වලින් අත්දැකීම් ලබාගෙන වැරදෙන සහ වැරදුණ තැන් ගැන ආපසු හැරී බලා හැකි පමණින් නිවැරැදි ලෙස කටයුතු කිරීම යි. මම හිතනවා මට වගේම එක්තරා කලක දී අරගල කරන ලද අනෙක් අයටත් ඒ වගකීමෙන් ඉවත්වෙන්නට සදාචාරාත්මක අයිතියක් නැහැ කියලා”.

අවසානයි!

සිසිර යාපා

සඳුදා සිට තවත් නැවුම් කතාවක් ඇමරිකන් හස්ල් සිංහලෙන්

නව අදහස දක්වන්න