ගෝඨා තියරිය | දිනමිණ

ගෝඨා තියරිය

ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රීලනිපය - ඒකාබද්ධයෙන්ම එල්ල වන විවේචනවලට ප්‍රබල දේශපාලන හා සමාජයීය වටිනාකමක් ලැබෙන්නේ කුමක් නිසාද යන්න අප මීළඟට හඳුනා ගත යුතුයි. එහිදී ශ්‍රීලනිප ප්‍රබලයන් අතර ඇති ප්‍රධාන භීතිය හා කණස්සල්ල වන්නේ යම් කිසි ආකාරයකින් ගෝඨාගමනයක් සිදුවුවහොත් ඒ සමඟ සාම්ප්‍රදායික ශ්‍රීලනිප දේශපාලන නායකත්වය හා වාමාංශික නායකත්වය ආණ්ඩුවේ නොවැදගත් තත්ත්වයට පත්වීමට ඇති නිසැක අවකාශය පිළිබඳ භීතියයි. ඒ සමඟ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය තුළත් තමන් නොවැදගත් පිරිසක් බවට පත්වීම නිසැක බව ඔවුන් වටහා ගෙන තිබීමයි.

“කිඹුලා කනවා ඉවසන්න පුළුවන්, ඒත් කොහිල කටු ඇනෙනවා ඉවසන්න බැහැ” කියලා කියන කතාව නිර්මාණය කළ ගැමියාගේ කටේ මසුරන් දාන්න හිතෙන වැඩ රටේ ලෝකේ නිතර නිතර සිද්ධ වෙනවා. ගමේ ගොඬේ මිනිස්සු උපේක්ෂාවෙන් මේ කොහිල කටු ඇනීම ඉවසනවා. ඒ “බල්ලෙක් මිනිහෙක්ගේ කකුල කෑවට ඒ මිනිහා බල්ලගේ කකුල හපා කන්නේ නැහැ, අඩු කලේ හෙළවෙනවා” වාගේ කතා කියමිනුයි.

මේ කොහිල කටු කතාව ගැන අපූරු ඌනපූරණයක් ඒකාබද්ධ කල්ලිය නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරුන් සිවුදෙනෙක් වන දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ සහ මහින්දානන්ද අලුත්ගමගේ සහ කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය 16 වැනිදා එක් කළා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් වගේම ප්‍රබලයෙක් වන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට එල්ල කළ දැවැන්ත ප්‍රහාරය සමඟයි. බැලූ බැල්මට ප්‍රබල දේශපාලන විවේචනයක් සේ පෙනී ගියත් එම ප්‍රහාරය හුදු දේශපාලන විවේචනයකින් ඔබ්බට ගිය තර්ජනාත්මක අනතුරු ඇඟවීමක් වශයෙන් සැලකිය හැකි බවයි මේ පිළිබඳ අවධානය යොමු කරන ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් විශාල පිරිසකගේ අදහස වන්නේ.

“වෙල්ගම වාගේ උපන් ගෙයි ශ්‍රී ලංකාකාරයෙකුට මේ වාගේ සැලසුම් සහගතව අපහාස කිරීමයි තර්ජනය කිරීමයි බරපතළ තත්ත්වයක්. වෙල්ගමලා මැතිනියගේ කාලේ ඉදන් පක්ෂයත් එක්ක හිටියා. ඕනෑම අභියෝගයක් භාර ගත්තා. පවාදීම් කළේ නැහැ. 94 ඉදන් ඇමැතිකම් කළත් බරපතළ චෝදනා නැහැ. ඒත් අද වෙල්ගමට චෝදනා කරන මිනිස්සු ගැන අපිටත් බරපතළ විවේචන තියෙනවා. ඔවුන් කර තියාගෙන යන්න හිතන් ඉන්න මිනිස්සු ගැන අපිටත් බරපතළ ප්‍රශ්න තියෙනවා. දැන් අපිට සිද්ධ වෙලා තියෙන්නේ මේ ආතක් පාතක් නැතිව අපි ළඟට ආපු වවුලන්ට පක්ෂය දීලා දේශපාලනයෙන් විශ්‍රාම ගන්න. මොකද අද කුමාර වෙල්ගම, හෙට මම වෙන්න පුළුවන්. මේක ඉතාම පැහැදිලිවම දේශපාලන ත්‍රස්තවාදයක්. මේ වැඩෙන් අපි වාගේ ජ්‍යෙෂ්ඨයෝ බාල්දු වෙනවා වගේම කොන් වෙනවා. මේ අලුත ආව කොල්ලෝ මේ කාගේ වුවමනාව ද ඉටු කරන්නේ කියලා අපි දන්නවා. ඒත් ....” ඔහු නිහඬවම කතාව නතර කළා. කතාවේ අවසානය ගැන සිතා ගන්න සිද්ධ වෙන්නේ මේ රටේ ජනතාවට බව පැහැදිලියි.

දේශපාලන ත්‍රස්තවාදය

“ත්‍රස්තවාදය” යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද යන්න පැහැදිලි කිරීමේදී දෙන එක් සරල නිර්වචනයක් වන්නේ “එකෙක් මරා සියයක් බිය කිරීම” යන්නයි. ලංකාවේ පමණක් නොව ලෝකයේ කොතැනක වුවත් ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන ආකාරය අනුව අපට මේ නිර්වචනයේ ඇති අදාළත්වය වටහා ගත හැකියි.

එහෙත් “දේශපාලන ත්‍රස්තවාදය” යන වචනය අපට ආගන්තුකයි. ඒ ගැන කතා කිරීම අපට ආගන්තුකයි. ඒ ලංකාවේ ඒ ගැන අවධානයක් යොමු නොකිරීම නිසා මිස දේශපාලන ත්‍රස්තවාදය ලංකාවට ආගන්තුක නිසා නොවෙයි. දේශපාලන ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීමේදී ද අනුගමනය කරන්නේ ත්‍රස්තවාදීන් භාවිත කරන ප්‍රවේශයම බවයි සඳහන් වන්නේ. ඒ දේශපාලනිකව එක් පුද්ගලයෙක් ඝාතනය කළ විට ඔහු අනුව සිතන පතන හෝ ක්‍රියාත්මක වන සෙසු සියලු දෙනාම භීතියට පත් වන බවක් විශ්වාස කරනවා. මෙහිදී “දේශපාලනිකව ඝාතනය කිරීම” යන්නෙන් අදහස් වන්නේ ඔහුගේ හෝ ඇයගේ දේශපාලන චරිතය ඝාතනය කිරීම බවයි සඳහන් වෙන්නේ. පසුගිය යුද සමයේ එජාප නායකයාට එරෙහිව ක්‍රියාත්මක වූ “අලි - කොටි හවුල” සේ අද “රනිල්ගේ කොන්ත්‍රාත් ඉටුකරනවා” ආදි වශයෙන් කුමාර වෙල්ගමට එරෙහිව සිදුවන චරිත ඝාතන මේ දේශපාලන ත්‍රස්තවාදයේ ක්‍රමෝපායන් වශයෙන් සැලකිය හැකියි.

මේ පැහැදිලි කිරීම මගින් අද කුමාර වෙල්ගමට එරෙහිව ගෝඨා කල්ලිය විසින් ක්‍රියාත්මක කර ඇති මෙහෙයුම ද ඉතාම පැහැදිලිව දේශපාලන ත්‍රස්තවාදයක් වශයෙන් හඳුනා ගත හැකියි. ඒ ඉතාම නිර්ලජ්ජිත ලෙසත් තියුණු ලෙසත් අනුකම්පා විරහිතව කුමාර වෙල්ගමගේ දේශපාලන චරිතය ඝාතනය කිරීමක් සිදුවන නිසයි. මීට ඉහතින් සඳහන් කළ සිදුවීම එහි කූඨ ප්‍රාප්තිය වශයෙන් නොව ඇතැම් විට ආරම්භය වශයෙන් සැලකිය යුතුයි. ඒ පසුගිය 17 වැනිදා යළි කුමාර වෙල්ගම ද යළි ගෝඨා කල්ලියට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ නිසයි. කෙහෙළිය රඹුක්වැල්ල හා ලොහාන් රත්වත්තේ ඉලක්ක කරමින් එල්ල කළ මේ ප්‍රාහාරය මගින් ඔවුන් තුළ කම්පනයක් ඇති වූ බවට සැකයක් නැහැ. විශේෂයෙන් 2015 ජනාධිපතිවරණයෙන් පසු කෙහෙළිය රඹුක්වැල්ල යළි රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ බැගෑපත් වූ ආකාරයත් ලොහාන් රත්වත්තේගේ අතීත කෙරුවාවත් (උඩතලවින්න සමූල ඝාතනය) ජනතාව හමුවේ කියාපෑවේ අද ගෝඨාභය රාජපක්ෂ වටා රොද බඳින්නේ කුමනාකාරයේ පුද්ගලයන් ද යන්න ගැන සිතා බලන ලෙස ජනතාවට බල කරමිනුයි.

ගෝඨා බයක් ඇයි ?

ඉහතින් සඳහන් කළ ආකාරයට ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව සාම්ප්‍රදායික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගෙන් පමණක් නොව පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් පාලන ක්‍රමයක් ගැන විශ්වාසය තබා සිටින ජනතාවගේ ද විරෝධයක් හෝ භීතියක් ඇතිවීම හුදු අහම්බයක් වශයෙන් සැලකිය නොහැකියි. එය ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් සිටි සමයේ සිට ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවති තත්ත්වයක් වශයෙන් සැලකිය හැකියි. එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා අනුගමනය කළ මර්දනකාරී ප්‍රවේශය මෙන්ම අත්තනෝමතිකත්වය ද දැඩි ප්‍රශ්න කිරීමට ලක් වූ බව අප අමතක නොකළ යුතුයි. උදාහරණයක් වශයෙන් ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ගන්නේ නම් පෝද්දල ජයන්ත - සනත් බාලසූරිය, පෙඩ්රිකා ජෑන්ස් සිදුවීම පමණක් නොව ලසන්ත වික්‍රමතුංග ඝාතනය හා සම්බන්ධ සිදුවීම් ජාලය ද ගෝඨා බියක් ගැන එදා පැහැදිලි නිදසුන් ලෙස දැක්විය හැකියි.

අනෙක් අතින් ගෝඨාභය රාජපක්ෂ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය නොඉවසන හෝ ඊට අනුගත වී නැති පුද්ගලයෙක් වශයෙන් ද අපට පහසුවෙන් හඳුනාගත හැකියි. තම බලය අසීමිත ලෙස අපයෝජනය කළ පුද්ගලයෙක් වන ගෝඨාභය රාජපක්ෂ මහතා වටා එදා සිටි දුමින්ද සිල්වා (ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී) පමණක් වුව මේ තත්ත්වයට උදාහරණයක් වශයෙන් සැලකිය හැකියි. අසීමිත රාජ්‍ය බලය මර්දනීය උපකරණයක් ලෙස භාවිත කරමින් කොළඹ මුඩුක්කු හා පැල්පත්වාසීන් මහමඟට තල්ලු කළ මෙහෙයුම පවා අපට සැලකිය හැකි වන්නේ එදා ගෝඨා බියක් සමාජයේ නිර්මාණය කළ ප්‍රබල අවස්ථා වශයෙනුයි. අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩුව විවේචනය කිරීම සඳහා වත්මන් ආණ්ඩුව විසින් නිර්මාණය කර දී තිබෙන නිදහස් පරිසරය දැඩිව අපයෝජනය කරමින් අද ගෝඨා කල්ලිය කටයුතු කළත් ගෝඨාබිය යටතේ එවැනි පරිසරයක් නොතිබූ බව ද අප අමතක නොකළ යුතුයි.

මේ සියලු කාරණා හමුවේ එදා නිර්මාණය වූ ගෝඨාබිය අද දේශපාලන ත්‍රස්තවාදයක් දක්වා පරිවර්තනය වීම තුළ සිදුවිය හැකි සමාජ හා දේශපාලන කම්පනයේ තරම අපට පහසුවෙන් වටහා ගත හැකියි. තම දේශපාලන මතවාදයට හා සැලසුම්වලට එරෙහි සියලු පුද්ගලයන් හා සංවිධාන වෙත හිට්ලර් - පොල්පොට් පන්නයේ මර්දනයක් කැඳවීමේ සූදානමින් පසුවන මිලිටරි හා අන්තවාදී භික්ෂූ බලවේග සමග කඳවුරු බැඳ සිටින ගෝඨාභය රාජපක්ෂ සමඟ ඒ සමාන දේශපාලන අවස්ථාවාදීන් ද එකතුවීම ප්‍රජාතන්ත්‍රවාදයට පමණක් නොව සමස්ත දේශපාලන පැවැත්මට ද විනාශය කැඳවන ප්‍රවේශයක් බව ශ්‍රීලනිපයේ හා වාමාංශික ජ්‍යෙෂ්ඨයන් විසින් වටහා ගෙන තිබීම මේ අවස්ථාවේ ගැලවුම්කාර භූමිකාවක් බව අපට වටහා ගත හැකියි. මන්ද ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් විපක්ෂ බලවේග වෙතින් එල්ල වන විවේචනවලට වඩා රාජපක්ෂ කල්ලියේ අභ්‍යන්තරයෙන්ම එල්ල වන විවේචනවලට වැඩි වටිනාකමක් තිබෙන නිසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රීලනිපය - ඒකාබද්ධයෙන්ම එල්ල වන විවේචනවලට ප්‍රබල දේශපාලන හා සමාජයීය වටිනාකමක් ලැබෙන්නේ කුමක් නිසාද යන්න අප මීළඟට හඳුනා ගත යුතුයි.

එහිදී ශ්‍රීලනිප ප්‍රබලයන් අතර ඇති ප්‍රධාන භීතිය හා කණස්සල්ල වන්නේ යම් කිසි ආකාරයකින් ගෝඨාගමනයක් සිදුවුවහොත් ඒ සමඟ සාම්ප්‍රදායික ශ්‍රීලනිප දේශපාලන නායකත්වය හා වාමාංශික නායකත්වය ආණ්ඩුවේ නොවැදගත් තත්ත්වයට පත්වීමට ඇති නිසැක අවකාශය පිළිබඳ භීතියයි. ඒ සමඟ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය තුළත් තමන් නොවැදගත් පිරිසක් බවට පත්වීම නිසැක බව ඔවුන් වටහා ගෙන තිබීමයි.

පසුගිය රාජපක්ෂ යුගයේ ආණ්ඩු ප්‍රවණතා පිළිබඳ සියුම් අවධානයක් යොමු කළ විට ආරක්ෂක ලේකම්වරයාව සිටියදී පමණක් ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාත්මක වූ අතිඋද්දච්ච හා අත්තනෝමතික ආකාරය ඔවුන් තුළ කම්පනයක් සේම භීතියක් නිර්මාණය කර ඇති බව අපට වටහා ගත හැකියි. තම මිලිටරි සගයන් රාජ්‍ය යාන්ත්‍රණයේ හැකිතාක් ගොනුකරමින් ද තම දේශපාලන අතේවාසිකයන් බවට පත් කර ගත හැකි දේශපාලනඥයන් වෙත නොමසුරුව අනුග්‍රහය දක්වමින් ද එදා ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාත්මක වූ බව මේ කිසිවෙකුටත් රහසක් නොවෙයි. මේ සඳහා කදිම උදාහරණයක් වන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දැක් වූ අසීමිත හා අනීතික අනුග්‍රහයයි. “ගෝඨා තියරිය” වශයෙන් සැලකිය හැකි මේ තත්ත්වය සාම්ප්‍රදායික දේශපාලනඥයන් විසින් නොඉවසීම පුදුමයට කරුණක් නොවෙයි. ඒ ගෝඨාගමනයක් සිදුවුවහොත් සමස්තය මිලිටරි හා අන්තවාදී භික්ෂු කල්ලි වෙත හිමිවීම නිසැක බව ඔවුන් වටහා ගෙන ඇති නිසයි. ප්‍රජාතන්ත්‍රවාදීන් සමඟ ගමන් යාමට ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානම් නැති බව ඔවුන් දන්නා නිසයි.

මහින්ද තියරිය හා ගෝඨා තියරිය

අද ගෝඨා තියරිය ගැන බියපත්ව සිටින ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය සමයේ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් විඳි පීඩනය ගැන ද සිහි තබා ගෙන සිටිනවා විය හැකියි. එදා තමන්ගේ බලයට හා න්‍යාය පත්‍රයන්ට අභියෝග කළ ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් වශයෙන් සැලකිය හැකි රත්නසිරි වික්‍රමනායක, සරත් අමුණුගම, පියසේන ගමගේ ආදීන් ද ශ්‍රීලනිපය සමඟ දීර්ඝ කාලීන හවුල් ඇති වාමාංශික පක්ෂ නායකයන් වන තිස්ස විතාරණ හා ඩිව් ගුණසේකර ද “ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්” බවට නාමකරණය කරමින් සිදු කළ දේශපාලන පළිගැනීමට අලුත් වටයකින් තමන්ට ද මුහුණ දීමට සිදුවන බව මේ පිරිස වටහා ගෙන තිබෙන බවක් ද අපට වටහා ගත හැකියි.

මෙහිදී ශ්‍රීලනිප හා වාමාංශික ජ්‍යෙෂ්ඨයන් තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා වටා ගොනුවී සිටින කල්ලිය ගැන ද ප්‍රබල කණස්සල්ලක් සේම පිළිකුළක් තිබෙන බවක් දැකිය හැකියි. පසුගිය 17 වැනිදා කුමාර වෙල්ගම කෙහෙළිය රඹුක්වැල්ල සහ ලොහාන් රත්වත්තේ ඉලක්ක කර ගනිමින් මුදා හැරියේ එම පීඩනය බවට සැකයක් නැහැ.

2005දී මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති ධූරය දිනා දීමට වැඩිම වෙහෙසක් ගත්ත මංගල සමරවීර, ශ්‍රීපති සූරියආරච්චි දේශපාලනිකව කොන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කල්ලියයි. මංගල සමරවීරට ආණ්ඩුව එපා කළේ මේ පිරිස. ඒ වගේම මහින්ද මහත්තයා බලයට පත් වුණාම ළං කර ගත්තේ ශ්‍රී ලංකා කාරයෝ නොවෙයි. යූඑන්පී කාරයෝ. විමල් වීරවංශ වාගේ පුද්ගලයෝ. මේ තත්ත්වය නිසා අපිට වගේම අපේ පාක්ෂිකයන්ටත් දැඩි පීඩනයක් ඇති වුණා. ඒ වන්දිය තමයි අපි 2015දී ගෙව්වේ. මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවෙන් ගියේ මේ කල්ලිවල බලපෑම නිසා. අපි නැවත මේ වාගේ තත්ත්වයක් අපේක්ෂා කරන්නේ නැහැ. ඒකයි අපි ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි වෙන්නේ. විමල් වීරවංශ, ගම්මන්පිල, සරත් විජේසේකර වගේ අවස්ථාවාදීන් හා අන්තවාදීන් එක්ක අපි ගමන් යන්නේ කොහොමද ?” මේ අද ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් අතර තිබෙන පොදු කණස්සල්ලයි. ඒත් ඔවුන් වෙල්ගම මෙන් තම මතය ප්‍රසිද්ධියේ කීමට බයයි. ඒ ගෝඨාගේ දේශපාලන ත්‍රස්තවාදය සේම මාධ්‍ය ත්‍රස්තවාදයකුත් මේ සමඟ එකට ක්‍රියාත්මක වන නිසයි. දේශපාලන ත්‍රස්තවාදයකට වගේම මාධ්‍ය ත්‍රස්තවාදයකටත් මුහණ දීමට ඇති බිය හෝ නොහැකියාව නිසා අද බොහෝ පිරිසක් නිහඬව සිටින බව අප වටහා ගත යුතුයි.

එජාපය හා ගෝඨාභය

ගෝඨාගේ මාධ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන්නේ දේශපාලන ත්‍රස්තවාදයටත් වඩා බිහිසුණු ආකාරයෙන් බව කුමාර වෙල්ගම පමණක් නොව පසුගිය කාලයේ දයාන් ජයතිලක සම්බන්ධයෙන් ද දැකිය හැකි වුණා. එහි විපක්ෂ ක්‍රමෝපාය වන්නේ ගෝඨාභය රාජපක්ෂ වීරත්වයට පත් කිරීමයි. ඔහු වටා විස්මිත දේශපාලන රැස්වළල්ලක් නිර්මාණය කිරීමයි.

“එජාපය ගෝඨාභයට බයද ?” මේ ප්‍රශ්නය මේ මාධ්‍ය ත්‍රස්තවාදය විසින් නිර්මාණය කළ ඉතාම ජනප්‍රිය අදහසක්. ඒකාබද්ධ කල්ලියේ ගෝඨා කල්ලිය සහ රෙජිම මාධ්‍ය පසුගිය කාලය පුරා අඛණ්ඩව නඩත්තු කළ නිර්මාණශීලී අදහසක් වශයෙන් ද මෙය සැලකිය හැකියි. එහෙත් මේ මතය ද රෙජිම මාධ්‍ය විසින් පසුගිය කාලයේ ගෙන ගිය ගොබෙල්ස්වාදී ප්‍රචාරයේ තවත් පියවරක් වශයෙන් සැලකිය හැකියි. එය එසේ වන්නේ ඇයි ? ඒ ගෝඨාභය රාජපක්ෂට බියවීමට තරම් සහේතුක කාරණා කිසිවක් එජාපයට නැති නිසයි. මේ සඳහා මේ මොහොත වන විට එජාපය තුළ හා වටා ගොනුව සිටින දේශපාලන චරිත සේම බලවේග ද හඳුනා ගත හැකියි.

2005දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට පත්වීමට පෙර අවුරුදු 15ක් පමණ ලංකාවේ පස්වත් නොපෑගූ ගෝඨාභය රාජපක්ෂ මහතාව මහා භූමි පුත්‍රයෙක් කිරීමත්, ජාතියේ ගැලවුම්කාරයා බවට පත් කිරීමත් සැමදා යුද බිමේ සිටි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට කරන බලවත්ම නිගරුව වනවා පමණක් නොව එය චම්පික රණවක වැනි සිංහල බෞද්ධ ජාතිකවාදී නායකයන්ට කරන බලවත් අපහාසයක් වනවාට ද සැකයක් නැහැ. මේ රටේ සමස්ත සුළු ජනයාගේ සහ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ විශ්වාසය දිනා ගෙන සිටි රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ගෝඨාභය රාජපක්ෂ මහතාට දිය හැකි තරගය කුමක් ද යන්න මේ රෙජිම මාධ්‍ය විසින්ම වටහා දිය යුතු ප්‍රහේලිකාවක් මිස වෙන යමක් නොවෙයි. එමෙන්ම “කොළඹ ලස්සන කළා - විනයක් ඇති කළා” යන ඊනියා කොළඹ සංවර්ධනයෙන් ඔබ්බට ගිය පොදුජන සංවර්ධනයක් සඳහා සජිත් ප්‍රේමදාස මහතා සමඟ ගෝඨාභය රාජපක්ෂ මහතාට තරගයක් ලබා දිය හැකිදැයි අප ඔහුගෙන්ම විමසා සිටිය යුතුයි. ගෝඨාභය රාජපක්ෂ භූමිකාව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ නායකත්ව භූමිකාව ඉක්මවා යන්නේ කෙසේ දැයි මේ මාධ්‍ය ත්‍රස්තවාදීන් ජනතාවට පැහැදිලි කළ යුතුයි. එහෙත් වත්මන් රාජපක්ෂ භාවිතය තුළ පැහැදිලිවම මෙවැනි පැහැදිලි කිරීමක් සිදු නොවනු ඇති අතර ඒ වෙනුවට දේශපාලන හා මාධ්‍ය ත්‍රස්තවාදයේ පහසු ගොදුරක් බවට පත්වීමට සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී සමාජයටම සිදුවනු ඇති බව පැහැදිලියි. එය “ගෝඨා තියරිය” වශයෙන් පමණක් දැනට හඳුනා ගත යුතුයි. එතෙක් සමස්ත සමාජයම කොහිල කටු ඇනෙන වේදනාව ඉවසා සිටීමට පුරුදු විය යුතුයි.

භාතිය බරුකන්ද


නව අදහස දක්වන්න