රාජ්‍ය සේවාව ශක්තිමත් කර තව තවත් පුළුල් කරනවා | දිනමිණ

රාජ්‍ය සේවාව ශක්තිමත් කර තව තවත් පුළුල් කරනවා

උදුලා පීරිස්

අද අපේ රජය විශාලම වැය බරක් දරන්නේ රාජ්‍ය සේවාව පවත්වාගැනීම සඳහායි. එය සංඛ්‍යාත්මකව ගත්තොත් රටේ සමස්ත වාර්ෂික ආදායම රුපියල් බිලියන 2200ක් වෙද්දි රාජ්‍ය සේවක හා විශ්‍රාමික වැටුප් සඳහා පමණක් අපි බිලියන 800ක් වියදම් කරනවා යැයි රාජ්‍ය පරිපාලන , කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාපැවසීය.

කළමනාකරණ සහකාර සේවයට බඳවා ගන්නා ලද නවක නිලධාරීන්ට පත්වීම් ලිපි ප්‍රධානයට එක්වෙමිනි ඒ මහතා මෙසේ කීය

මෙම උත්සවය පෙරේදා (18) අරලියගහ මන්දිරයේ දී කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. 2017 වසරේ පැවති විවෘත තරග විභාගයේ ප්‍රතිඵල මත මෙම නවක නිලධාරීන් 926 දෙනා තෝරාගෙන තිබේ.

ජනතා බදු මුදලින් මෙතරම් මුදලක් වියදම් කර නඩත්තු කරන රාජ්‍ය සේවයේ නිලධාරීන් වන ඔබට ඔබව නඩත්තු කරන රටේ ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට තියෙන වගකීම විශාලයි. මේ වගකීම අවබෝධ කරගෙන රටේ අහිංසක ජනතාවගේ ප්‍රාර්ථනාවන් ඉටු කිරීමට අද පටන් වෙහෙසෙන්න යැයි ද නවක පත්වීම්ලාභීන්නේ ඒමහතා ඉල්ලීමක් කළේය.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා අපි පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වෙන වෙලාවේ අපේ විරුද්ධවාදීන් අපිට චෝදනා කළේ අපි රාජ්‍ය සේවය හකුලනවා කියායි. නමුත් පසුගිය වසර තුනට කළමනාකරණ සහකාර සේවයට විතරක් 15000ක් බඳවා ගෙන තියෙනවා. මේ වසරේ විතරක් 5000ක් ඉක්ම වූ පිරිසක් අපි බඳවා ගත්තා. පසුගිය දිනක ඉංජිනේරු සේවයට තවත් විශාල පිරිසක් බඳවා ගත්තා. අපි මේ විදියට රාජ්‍ය සේවයට බඳවා ගන්නේ මේ රට ගොඩනැගීමට රාජ්‍ය සේවය අත්‍යාවශ්‍යයි කියන හැඟීම අපිට තියෙන නිසා. පහුගිය කාලයේ රාජ්‍ය සේවයට බඳවා ගැනීම වගේම උසස්වීම් ක්‍රමවේදයත් දේශපාලනීකරණයට ලක්වෙලා තිබුණා. මේ යුගයේ රජයේ නිලධාරීන්ට අකමැත්තෙන් වුවත් දේශපලනඥයන්ගේ වැරදි වැඩවලට අවනත වෙන්න වෙලා තිබුණා. නමුත් අපි බලයට පත්වෙලා මාස 3ක් ස්වාධීන කොම්ෂන් සභා ස්ථාපිත කර රාජ්‍ය සේවයට, රාජ්‍ය සේවකයාට නිදහස ලබා දුන්නා. ඒ විතරක් නොවෙයි රාජ්‍ය සේවකයාගේ ස්වාධීනත්වය වගේම ආර්ථික ශක්තියත් වර්ධනය කර දුන්නා. අද සමස්ත රාජ්‍ය සේවය ලක්ෂ 15ක් පමණ වෙලා තියෙනවා. මේ සඳහා පෙරදාට වඩා වැඩියෙන් බිලියන 200ක් අපේ රජය වියදම් කරනවා. මෙයට හේතුව ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිකිරීම අපේ රජය කළ නිසායි. ඒ විතරක් නොවෙයි කාලයක් මුළුල්ලේ විශ්‍රාමිකයන් මුහුණ දුන් වැටුප් විෂමතාව නැති කරන්නත් අපි කටයුතු කළා. වසර 9ක් 10ක් තිස්සේ හිටපු පාලකයන්ට කිව්වත් ඵලක් නොවුණ මේ වැටුප් විෂමතාව අපි ඇවිත් කෙටි කලකින් විසඳන්න හැකි වුණා. මොන ප්‍රශ්නය තිබුණත් අද අපි අපේ රාජ්‍ය සේවය හොඳින් කළමනාකරණය කරගෙන පවත්වාගෙන යනවා. උපාධිදාරී රැකියා ප්‍රශ්නයත් මේ වගේමයි. පහුගිය කාලේ විවිධ පදනම් යටතේ බඳවා ගත්ත උපාධිධාරීන් සම්බන්ධයෙනුත් විශාල ප්‍රශ්නයක් අපේ රජයට ඉතිරි වෙලා තිබුණා. මෙයටත් අපි අද විසඳුම් දෙමින් ඉන්නවා. උපාධිදාරියා රටට බරක් නොකර ඵලදායී මානව සම්පතක් බවට පත් කිරීමේ කාර්යභාරයට අද අපි අත ගසා සිටිනවා.

රජය විදියට අපි අනාගත සැලසුම් සකස්කරමින් ඉන්නවා. ඒ නිසා එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරෙන්නේ ඔබටයි. අද රාජ්‍ය සේවයේ තියෙන තවත් වෙනසක් දකින්න පුළුවන්. ඒ තමයි අද රාජ්‍ය සේවයේ තියෙන කාන්තා දායකත්වය. පරිපාලන සේවය වේවා, ගුරු සේවය වේවා අද පත්වීම් ලබන කළමනාකරණ සහකාර සේවය වේවා මේ හැම සේවාවාකම කාන්තා ප්‍රතිශතය ඉහළ ගිහින් තියෙනවා. මෙය ඇතැම් තැන්වල යම් යම් ප්‍රශ්නකාරී තැන් මතු කළත් මම විශ්වාස කරනවා මේ අයගෙන් රටට විශාල වැඩක් ගත හැකියි කියා.

කතා නායක කරූ ජයසූරිය මහතා- වෙනදාට වඩා දක්ෂයන්ට ඉදිරියට යා හැකි රාජ්‍ය සේවාවන් අද රටේ ස්ථාපිත වෙලා තියෙනවා. අපට ඉතා ආදර්ශවත් රාජ්‍ය සේවයක් තියෙනවා. එය කොතෙක් ආදර්ශවත් ද කියනවා නම් සිංගප්පූරුව, ඉන්දුනීසියාව වගේ රටවලට පවා අපි උපදෙස් දී තියෙනවා. රාජ්‍ය සේවකයන් පසු කාලීනව යම් පරිහානියකට පත්වන්නේ අනවශ්‍ය දේශපාලන බලපෑම් නිසායි. ලංකාවේ රාජ්‍ය සේවයේ බොහෝ දක්ෂයන් ඉන්නවා. ඒ අයගේ සහාය අපි ලබාගත යුතුයි. ලංකාවේ රාජ්‍ය සේවය කියන්නේ ලෝකයේම රාජ්‍ය සේවයෙන් විශාලම රාජ්‍ය සේවයයි. ලෝකයේ රාජ්‍ය සේවය 250ට 01යි. නමුත් අපේ රටේ රාජ්‍ය සේවය 15ට 01යි. ඔබගෙන් සේවය බලාපොරොත්තුව පැමිණෙන ජනතාවට කාරුණිකව සලකන්න.

අද බොහෝ රාජ්‍ය සේවකයෝ නියමිත පැය 8 සේවය කිරීමක් කරන්නේ නැහැ. ඒ අනුව බොහො රාජ්‍ය සේවකයෝ වසරකට වැඩ කර තියෙන්නේ දින 171ක් වගේ සුළු ප්‍රමාණයක්. මේ නිසා අද පත්වීම් ලබන ඔබෙන් මා ඉල්ලා සිටින්නේ තමාගේ රාජකාරිය ආදර්ශවත්ව ඉටු කරන්න කියායි. වරප්‍රසාදවලට වඩා වගකීම් ඉටු කරන්න වගබලා ගන්න. අපිට තියෙන විශාල අභියෝග ජයගන්න නම් රාජ්‍ය සේවකයන් වන ඔබ ඔබගේ වගකීම් හරි හැටි ඉටු කරන්න ඕනේ. එසේම රාජ්‍ය සේවකයන් වෙත මා වසර ගණනකට පෙර යෝජනාවක් කළා. තමාගේ භාෂාවට අමතරව වෙනත් භාෂාවක් ප්‍රගුණ කර ගන්න කියා. සිංහල අය දෙමළ භාෂාවත් දෙමළ අය සිංහල භාෂාවත් ප්‍රගුණ කිරීම හා ඊට අමතරව ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීමෙන් මේ රටේ ජනතාවට හොද සේවයක් කරන්න හැකියාව උදා වෙනවා.

එදා මා ඒ අදහස නීතිගත කරන්න හැදුවත් නොයෙකුත් හේතූන් මත එය මඟ හැරීමක් වුණා. රාජ්‍ය සේවකයන් අතර භාෂා දැනුම ප්‍රගුණ වී තිබුණා නම් මෙරට ජනතාවගේ අදහස් තේරුම්ගෙන රාජකාරී නිසි පරිදි ඉටු කරන්න තිබුණා. නමුත් සෑම දෙයකටම භාෂා ප්‍රශ්නය බලපෑම් කර තිබෙනවා.

භාෂා ඉගෙනීම නීති පොතේ නැතිවුණත් තම මවුබසට අමතරව වෙනත් භාෂාවක් ඉගෙන ගන්නේ නම් රටට සුවිශාල සේවයක් කළ හැකියි. මේ නිසා අද පත්වීම් ලබන්නන්ගෙන් මා ඉල්ලා සිටින්නේ විවාහයකට පෙර භාෂා ඉගෙනීම ප්‍රගුණකරන අතර ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීමෙන් රටටත් තමන්ටත් වඩා යහපත් අනාගතයක් උදාකර ගන්න හැකියාව ලැබෙනු ඇති බවයි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න , ස්වදේශ කටයුතු ලේකම් එස්.ටී.කොඩිකාර යන මහත්වරුන් හා අමාත්‍යංශ ජෞෂ්ඨ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න