ආර්ථික සුළි කුණා­ටු­වට ‍ලෝක සූදා­නම | දිනමිණ

ආර්ථික සුළි කුණා­ටු­වට ‍ලෝක සූදා­නම

ධම්මික සෙනෙවිරත්න

ඉරා­නය ඇතුළු රට­වල් කිහි­ප­ය­කට පනවා ඇති සම්බා­ධක මඟින් එම රට­ලට පම­ණක් නොව සෙසු ලෝක­යට ද දැනෙ­මින් ඇති බල­පෑම් ගැන ද විශාල වශ­යෙන් අව­ධා­නය යොමු වී ඇත. මීට දින කිහි­ප­ය­කට පෙර ඉන්දි­යාව ප්‍රකාශ කළේ ඉරා­න­යට පනවා ඇති අමෙ­රිකා සම්බා­ධක සිය තෙල් සැප­යු­මට බල­පෑ­මක් නොවනු ඇති බවය.

‘ආර්ථික සුර­ක්ෂි­ත­තාව යනු ජාතික ආර­ක්ෂා­වය’ (Economic Security is National Security) යන්න අමෙ­රිකා ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් අනු­ග­ම­නය කර­මින් ඇති ආර­ක්ෂ­ණ­වාදී ආර්ථික ප්‍රති­ප­ත්තියේ හරය ලෙස පෙනෙ­න්නට තිබේ. ‘වොෂි­න්ටන් ටයිම්ස්’ විව­ර­ණ­යක දැක්වුණු පරිදි අමෙ­රි­කාවේ මෑත ඉති­හා­සයේ බල­යට පත් ජනා­ධි­ප­ති­වරු අත­රින් වෙළෙ­ඳාම සහ ආර්ථි­කය අර­බයා විශිෂ්ට කාර්ය­සා­ධ­න­යක් පෙන්නුම් කිරී­මට ට්‍රම්ප් ජනා­ධි­ප­ති­ව­ර­යාට හැකි වී ඇත. එසේ වුවද ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රති­පත්ති පිළි­බඳ මාධ්‍යයේ වාර්තා වී ඇත්තේ අවම වශ­යෙන් බව ද එහි සඳ­හන් විය.

ඉරා­නය, රුසි­යාව, චීනය, වෙනි­සි­යු­ලාව වැනි රට­වල් ගණ­නා­ව­කට සම්බා­ධක පණ­වන අත­රම අනෙක් අතින් දකුණු කොරි­යාව, ජපා­නය වැනි රට­වල් සමඟ නව වෙළෙඳ ගනු­දෙනු හා ගිවි­සු­ම්ව­ලට එකඟ වීමට අමෙ­රි­කාව කට­යුතු කර තිබේ. වෙළෙ­ඳ­පොළ ආර්ථි­ක­යෙන් බැහැර රට­වල් ඉලක්ක කර­මින් අමෙ­රි­කාව, යුරෝපා සංග­මය හා ජපා­නය පසු­ගිය සතියේ නිකුත් කළ ඒකා­බද්ධ ප්‍රකා­ශය ගැන ද ආර්ථික විශ්ලේ­ෂ­ක­යන්ගේ අව­ධා­නය යොමුව ඇත.

ට්‍රම්ප්ගේ ආර්ථිකය

සිය මැති­ව­රණ ව්‍යාපා­ර­යේදී ද පොරොන්දු වූ පරිදි ‘උතුරු අත්ල­න්තික් නිද­හස් වෙළෙඳ සම්මු­ති­යෙන්’ (NAFTA) ඉව­ත්වී­මට ක්‍රියා­ක­රන අත­රම ‘අමෙ­රිකා, මෙක්සිකෝ, කැනඩා සම්මු­තිය’ (USMCA) නම් නව සම්මු­ති­ය­කට එළැ­ඹී­මට අමෙ­රි­කාව කට­යුතු කර­මින් සිටී. එහි ආර්ථි­ක­මය ගණන් බැලීම ඇ. ඩො. ට්‍රිලි­යන 1.2 ක් පමණ වෙතැයි සඳ­හන්ය. මෙය අමෙ­රිකා ඉති­හා­සයේ විශා­ල­තම වෙළෙඳ ගනු­දෙ­නුව වනු ඇත. අමෙ­රිකා ආර්ථි­කය ශක්ති­මත් වෙමින් ඇති අතර විරැ­කි­යාව ද වාර්තා­ගත අන්ද­මින් පහත වැටී තිබේ. ඇතැම් විශ්ලේ­ෂ­ක­යන් අද­හස් කරන පරිදි ට්‍රම්ප් මැවූ වර්ධ­නයේ සුළං ප්‍රවා­හය හම­න්නට පට­න්ගෙන ඇත. අලුත්ම කාර්තු­වේදී 4% ක වර්ධ­න­යක් අපේක්ෂා කළ මට්ට­මින්ම අත්කර ගැනී­මට හැකි වූ බව ප්‍රකාශ කළ ජනා­ධි­පති ට්‍රම්ප්, මේ වෙන­ස්කම් සිදු­වන්නේ ‘ආර්ථික සුරක්ෂා යනු ජාතික ආර­ක්ෂා­වය’ යන තේමාව යටතේ බව අව­ධා­ර­ණය කර තිබිණි. වාණි­ජ­මය වශ­යෙන් බදු කපා­හැ­රී­මට ද ට්‍රම්ප් පාල­නය පිය­ව­ර­ගෙන ඇත.

ගතවූ කාල­යේදී ලෝක ශල්ක තෙල් හා ගෑස් (Shale Oil Gas) නිෂ්පා­ද­න­යට ද අමෙ­රි­කාව පිය­වර ගත්තේය. මේ වන විට ලොව විශා­ල­තම තෙල් නිෂ්පා­ද­කයා අමෙ­රි­කා­වය. එමෙන්ම ප්‍රමුඛ පෙළේ ඛනිජ තෙල් අප­න­ය­න­ක­රු­වකු බවට ද පත්ව සිටී. නිද­හස් ආර්ථි­ක­යට ඇති බාධා මුළු­ම­නින් ඉවත් කළ යුතු බවට සෙසු රට­ව­ලට බල­ක­රන අතර තමන්ගේ රට­වල් ආර්ථි­කයේ ශක්ති­ම­ත්භා­වය පිළි­බඳ අමෙ­රි­කාව මෙන්ම බට­හිර රට­වල් ද සැල­කි­ලි­මත්ය. ට්‍රම්ප්ගේ ආර්ථික වැඩ­පි­ළි­වෙළ සර­ලව විග්‍රහ කරන්නේ නම් එය ‘අමෙ­රිකා නිෂ්පා­දන මිලදී ගන්න, අමෙ­රිකා නිෂ්පා­දන කුලි­යට ගන්න’ (Buy American, Hire American) යන‍ු­වෙන් දැක්විය හැකිය.

ඇතැම් ආර්ථික විශ්ලේ­ෂ­ක­යන්ගේ අද­හස ට්‍රම්ප් හඳුන්වා දුන් ආර්ථික වැඩ­පි­ළි­වෙළේ ප්‍රති­ඵල කෙළින් වීදියේ සිට වෝල් වීදිය දක්වාම ප්‍රති­ඵල දක්ව­මින් ඇති බවය. එහෙත්, මුල් පෙළේ අමෙ­රිකා මාධ්‍ය පවා එම ප්‍රති­ඵල මතු­කි­රී­මෙන් වැළැකී සිටින බවට ඔවුහු චෝදනා කරති. ජනා­ධි­පති ට්‍රම්ප් සිය ආර්ථික පිළි­වෙත අර­ඹයා ආණ්ඩුවේ මුල්පෙළේ ප්‍රධා­නීන් කිහි­ප­දෙ­නකු සම­ඟම මත­වා­දී­මය වශ­යෙන් ගැටුම් ඇති­ක­ර­ගත් බව ඉකුත් වක­වා­නු­වේදී පැහැ­දිලි විය. ඔවුහු සිය තන­තු­රු­ව­ලින් ඉවත් වූහ. එහෙත් සිය ප්‍රති­පත්ති වෙන­ස්කර ගැනී­මට සූදා­නම් බවක් ට්‍රම්ප්ගෙන් පළ නොවිණි.

අමෙ­රිකා ආර්ථි­කයේ පුබු­දු­වක් ඇති වී ඇත්තේ ලෝක ආර්ථික අර්බු­ද­යට මුහුණ දී එහි අමි­හිරි බල­පෑ­ම්ව­ලට අමෙ­රි­කාව මෙන්ම ලෝකයේ සෙසු රට­වල් ද අඩු - වැඩි වශ­යෙන් මුහුණ දී වසර කිහි­ප­ය­කට පසු­වය. එම අාස­න්නතම ලෝක ආර්ථික අර්බු­දය වෝල් වීදි­යෙන් පට­න්ගෙන ලොව පුරා හමා ගිය අතර මේ වන විට ට්‍රම්ප්ගේ ආර්ථික සුළඟ වෝල් වීදි­යෙන් පට­න්ගෙන ලොව පුරා හම­න්නට පට­න්ගෙන ඇත.

සම්බාධක ප්‍රශ්නය

මේ දැවැන්ත සුළං ප්‍රවා­හ­යට මුහු­ණ­දී­මට ගත යුතු ක්‍රියා­මාර්ග මොන­වාද යන්න සෙසු රට­වල අව­ධා­න­යට ලක්ව තිබේ. කෙසේ වුවද මෙය හදි­සියේ ඇතිවූ තත්ත්ව­යක් නොවේ. අමෙ­රිකා ආර්ථි­කය සම්බ­න්ධ­යෙන් ට්‍රම්ප් ජනා­ධි­ප­ති­ව­රයා අනු­ග­ම­නය කළ ආර­ක්ෂ­ණ­වාදී පිළි­වෙත මෙවැනි මට්ට­ම­කට එරට ආර්ථි­කය ඔසොවා තබනු ඇති බවට පැහැ­දිලි වූයේ මුල පට­න්මය. ඊට ගැළ­පෙන අන්ද­මින් තමන්ගේ රට­වල ආර්ථි­කය ශක්ති­මත්ව තබා­ගැ­නී­මට ගත යුතු පිය­වර ගැන සෙසු රට­වල් සැල­කි­ලි­මත් විය.

මේ අත­රට ඉරා­නය ඇතුළු රට­වල් කිහි­ප­ය­කට පනවා ඇති සම්බා­ධක මඟින් එම රටව­ලට පම­ණක් නොව සෙසු ලෝක­යට ද දැනෙ­මින් ඇති බල­පෑම් ගැන ද විශාල වශ­යෙන් අව­ධා­නය යොමු වී ඇත. මීට දින කිහි­ප­ය­කට පෙර ඉන්දි­යාව ප්‍රකාශ කළේ ඉරා­න­යට පනවා ඇති අමෙ­රිකා සම්බා­ධක සිය තෙල් සැප­යු­මට බල­පෑ­මක් නොවනු ඇති බවය.

මේ සම්බා­ධක තව­මත් ඛනිජ තෙල් ‍ක්ෂේත්‍රයට අදා­ළව ක්‍රියා­ත්මක වී නැත. එය ක්‍රියා­වට නැංවෙනු ඇත්තේ නොවැ­ම්බර් මුල සතියේ පටන්ය. ඉරා­නය සමඟ ගනු­දෙනු කිරී­මෙන් වැළැ­කිය යුතු බවට අමෙ­රි­කාව දැඩිව අන­තුරු අඟවා ඇතත් ඉරාන තෙල් ආන­ය­න­යෙන් වළ­කින බවක් ඉන්දි­යා­වෙන් ප්‍රකාශ වී නැත. ඉන්දියා ඛනිජ තෙල් අමාත්‍ය ධර්මේනු ප්‍රධාන් මීට දින කිහි­ප­ය­කට පෙර ප්‍රකාශ කළේ සිය පිරි­ප­හදු මධ්‍ය­ස්ථාන 2 සතුව මෙවැනි අව­ස්ථා­ව­කට මුහු­ණ­දී­මට තරම් අම­තර සංචිත ඇති බවය. එය යම් කාල­සී­මා­ව­කට ප්‍රමා­ණ­වත් වනු ඇත. දැනට අර්බු­ද­යක් නැතත් ඉදි­රි­යේදී මේ හේතු­වෙන් ඇති­වී­මට ඉඩ ඇති භූ දේශ­පා­ල­නික අවි­නි­ශ්චි­ත­තා­වන් තම රටට ද දැනෙනු ඇති බවත් ඔහුගේ ප්‍රකා­ශ­යෙන් පැහැ­දිලි විය. මෙවැනි පසු­බි­මක තෙල් මිල සම්බ­න්ධ­යෙන් ඇති­විය හැකි බල­පෑම ඔහු විග්‍රහ කළේ සාමා­න්‍ය­යෙන් තෙල් වෙළෙ­ඳ­පොළ භෞතික වශ­යෙන් සම­තු­ලිත තත්ත්ව­යක් පව­තින බවත් අවි­නි­ශ්චි­තතා හා භූ දේශ­පා­ල­නික ගැටලු හේතු­වෙන් එය හැඟී­ම්බර වශ­යෙන් අස­ම­තු­ලිත වන බවත් යනු­වෙනි.

ඔපෙක් තෙල් නිෂ්පාදනය

ඇමතිවරයා පෙන්වා‍ ­දෙන පරිදි ඔපෙක් සංවි­ධා­නය තෙල් නිප­ද­වන රට­ව­ලට මෙන්ම පරි­භෝ­ජන රට­ව­ලට ද හිත­කර වන මට්ට­ම­කින් වෙළෙ­ඳ­පොළ ස්ථායි­තාව පව­ත්වා­ගනු ඇත. ඉකුත් ජූනි මාසයේ සිට තෙල් නිෂ්පා­ද­නය දෛනි­කව බැරල් මිලි­ය­න­ය­කින් ඉහළ නැංවී­මට ඔපෙක් සංවි­ධා­නය පිය­වර ගත්තේය. සෞදි අරා­බිය හා රුසි­යාව ද සිය නිෂ්පා­ද­නය ඉහළ නංවා තිබේ.

ඉන්දි­යාව යනු ලොව තුන්වැනි විශා­ල­තම තෙල් ගැණු­ම්ක­රු­වාය. එර­ටට අවශ්‍ය ඛනිජ තෙල් සැප­යු­මෙන් 80% ක්ම ආන­ය­නය කෙරේ. ඉරා­නය යනු ඉන්දි­යාවේ තුන්වැනි විශා­ල­තම තෙල් සැප­යු­ම්ක­රු­වාය. පළමු තැන ඉරා­ක­යට හිමි­වන අතර දෙවැනි තැන සිටින්නේ සෞදි අරා­බිය ය.

අමෙ­රි­කාව චීන­යට සම්බා­ධක පැන­වූයේ රුසි­යා­වෙන් යුද අවි මිලට නොගත යුතු බව පව­ස­මිනි. එකී සම්බා­ධක වහා ඉව­ත්කර ගත යුතු බවට ද එසේ නොවු­ණ­හොත් එය නොතකා ක්‍රියා­ක­රන බව ද චීනය අමෙ­රි­කා­වට දැන්වීය. රුසි­යාව ද චීන­යට එරෙහි අමෙ­රිකා සම්බා­ධක විවේ­ච­නය කළේය. වැඩි­දුර සිතා බැලී­ම­කින් තොරව ගෝලීය ස්ථාව­ර­ත්වය බිඳ දැමී­මට අමෙ­රි­කාව කට­යුතු කර­මින් ඇතැයි කී රුසි­යාව, ගින්ද­රත් සමඟ සෙල්ලම් කිරී­මෙන් වැළැ­කිය යුතු බවට අව­වා­ද­යක් ද කර තිබිණි.

රුසි­යානු ජනා­ධි­පති ව්ලැදි­මීර් පුටින් සඳ­හන් කළ පරිදි 2018 වර්ෂ­යේදී රුසියා - චීන වෙළෙඳ ගනු­දෙ­නු­වල වටි­නා­කම ඇ. ඩො. බිලි­යන 100 කි. තම රටට ගෙන්වන චීන භාණ්ඩ මත 40% ක් තරම් ඉහළ බදු පැන­වී­මට ද ජනා­ධි­පති ට්‍රම්ප් මෑතදී පිය­වර ගත්තේය. චීනය ඊට ප්‍රති­චාර දැක්වූයේ අමෙ­රි­කානු ආන­යන මත බදු ඉහළ නංව­මිනි. අමෙ­රි­කාව මත බල­ප­ව­ත්වන චීන වෙළෙඳ ආධි­ප­ත්‍යය බිඳ දැමිය හැක්කේ තමාට බව මෑතදී ජනා­ධි­පති ට්‍රම්ප් පවසා තිබිණි.

වෙනි­සි­යු­ලා-ඉරා­න චෝදනා

වෙනි­සි­යු­ලාව මෙන්ම ඉරා­නය ද තම රට­ව­ලට එරෙහි අමෙ­රි­කාව’ආර්ථික යුද්ධ­යක් ප්‍රකා­ශ­යට පත්කර ඇති බව’ පව­සයි. ඉරා­නය එය මාන­සික යුද්ධ­යක් ලෙස ද හැඳි­න්වීය. එමෙන්ම මේ දෙර­ටම පාලන තන්ත්‍රයේ වෙන­සක් (Regime Change) සිදු­කි­රී­මට අමෙ­රි­කාව වෑයම් කරන බවට චෝදනා කර ඇත. වෙනි­සි­යු­ලාව සම්බ­න්ධ­යෙන් ජනා­ධි­පති ට්‍රම්ප් කළ ප්‍රකා­ශ­ව­ලින් මදු­රෝගේ පාල­නය වෙනස් කිරී­මට අමෙ­රි­කා­වට අවශ්‍ය වී ඇති බව ගම්‍ය වේ. ඉරා­නය මත සම්බා­ධක පැන­වී­මෙන් මෙන්ම එරට රජය නීත්‍යා­නු­කූල නොවන බවට අමෙ­රි­කාව කළ ප්‍රකා­ශ­යේද තේරුම එය­මය.

රුසි­යාව මත ද අමෙ­රිකා සම්බා­ධක ප්‍රකා­ශ­යට පත්වී ඇතත් ජනා­ධි­පති පුටින් ඊට මුහු­ණ­දී­මට අවශ්‍ය ක්‍රියා­මාර්ග ගනි­මින් සිටී. කෙසේ වුවද තාක්ෂ­ණික ‍ක්ෂේත්‍රය ඇතුළු ඇතැම් ක්ෂේත්‍ර­ව­ලට එකී සම්බා­ධක අන­ර්ථ­කාරී බල­පෑම් ඇති­කර ඇති බව වාර්තා විය.

මේ අතර අමෙ­රි­කාව තවත් අන්ත­ර්ජා­තික එක­මු­තු­ව­කින් ඉව­ත්වී­මට පිය­ව­ර­ගෙන ඇත. ඒ, විශ්ව තැපැල් සංග­ම­යෙන් (UPU) වසර 140 ක් තිස්සේ අමෙ­රි­කාව එහි සාමා­ජි­ක­ත්වය දැරීය. මේ ඉව­ත්වීම ද ට්‍රම්ප්ගේ ආර්ථික වැඩ­පි­ළි­වෙ­ළට සම්බ­න්ධය. මීට පෙර අන්තර් පැසි­ෆික් සහ­යෝ­ගී­තා­ව­යෙන් ද, පැරිස් දේශ­ගුණ සම්මු­ති­යෙන් ද, ඉරාන න්‍යෂ්ටික සම්මු­ති­යෙන් හා එ. ජා. මානව හිමි­කම් කවු­න්සි­ල­යෙන් ද ඉව­ත්වී­මට අමෙ­රි­කාව පිය­වර ගත්තේය. විශ්ව තැපැල් සංග­ම­යෙන් ඉව­ත්වීම, ට්‍රම්ප් පාල­නය සාධා­ර­ණී­ක­ර­ණය කරන්නේ එහි ප්‍රති­පත්ති මඟින් විදේශ සමා­ග­ම්ව­ලට දේශීය සමා­ග­ම්ව­ලට වඩා අඩු මිල­කට එර­ටට තැපැල් භාණ්ඩ ගෙන්වී­මට හැකි­යාව තිබූ බව පෙන්වා දෙමිනි. එම­ඟින් අමෙ­රිකා ආර්ථි­ක­යට ඇතිවූ බල­පෑම වාර්ෂි­කව ඇ. ඩො. මිලි­යන 300 ක් වූ බව ද පැවසේ. විශ්ව තැපැල් සංග­මය යනු ලොව පුරා තැපැල් ක්ෂේත්‍රයේ ප්‍රති­පත්ති මෙන්ම ගාස්තු තීර­ණය කිරීම සම්බ­න්ධ­යෙන් ද මැදි­හ­ත්වන එක්සත් ජාතීන්ගේ සංවි­ධා­න­යට අනු­බද්ධ එක­තු­වකි.

නව අදහස දක්වන්න