හෝමාගම මාහේන්වත්ත තාක්ෂණ නගර ව්‍යාපෘතිය | දිනමිණ

හෝමාගම මාහේන්වත්ත තාක්ෂණ නගර ව්‍යාපෘතිය

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන තාක්ෂණ නගර ව්‍යාපෘතිය පිළිබඳ මහජනතාව තුළ විවිධ කණ්ඩායම් හා පුද්ගලයන් අනවශ්‍ය හා සාවද්‍ය කරුණු රාශියක් ප්‍රචාරණය කරමින් සිටියි. මේ ලිපියේ ප්‍රධාන අරමුණ වනුයේ පදනම් විරහිත අසත්‍යවලට පිළිතුරු දීමටත් වඩා රටේ මහජනතාව ලෙස මේ ව්‍යාපෘතිය පිළිබඳ වඩාත් ගැඹුරින් දැනුවත් කිරීමයි.

තාක්ෂණ නගර ව්‍යාපෘතිය යනුවෙන් ශ්‍රී ලංකාවේ හඳුන්වන්නේ හෝමාගම මාහේන්වත්ත ප්‍රදේශයේ ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපනික හා පර්යේෂණ කේන්ද්‍රකොටගත් දැවැන්ත ව්‍යාපෘතියකි. මේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ ඉල්ලීම මත කොරියානු උපදේශකත්වය ලබාගෙන ඇත. මේ උපදේශකත්වය කොරියානු රජයේ අදාළ ආයතන විසින් ලබා දී ඇත්තේ එම රජය විසින් සාර්ථක මෙවන් ව්‍යාපෘති සිය ගණනක් කොට එම රට සංවර්ධනය කිරීමට ගෙන ඇති සාර්ථක අත්දැකීම් හා විශේෂඥතාවන් රැසක් හිමිව තිබීම නිසාය.

ශ්‍රී ලංකාවේ පමණක් නොව කොරියානු රජය මෙවන් ව්‍යාපෘති සඳහා තම විශේෂඥතාව වෙනත් රටවලට ද සාර්ථකව දක්වා ඇති අතර, එම ව්‍යාපෘතීන් මඟින් ආර්ථිකයට ඉමහත් දායකත්වයක් ලබාදීමට මේ විශේෂඥතාවන් දැනට සමත්ව සිටියි. ආසියාවේ වියට්නාමය තුළ සාර්ථකව මෙවන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අතර, ඔවුන් කොරියාවේ ඉතා සුප්‍රසිද්ධ තාක්ෂණ ආයතනයක් වන Korean Institute of Science Technology (KIST) ආයතනය වියට්නාමයේ දියුණුව උදෙසා ත්‍යාගයක් ලෙස ඉතා දියුණු තාක්ෂණ පර්යේෂණ ආයතනයක් ඩොලර් මිලියන 50ක් රුපියල් මිලියන 6,020ට වඩා වටිනා ආයතනයක් එරටට ලබා දී ඇත.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ඉල්ලීම මත මෙරටට ලබාදුන් උපදේශකත්වයට අමතවර මේ තාක්ෂණික ආයතනයක් ශ්‍රී ලංකාවේ හෝමාගම මාහේන්වත්ත ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට අවශ්‍ය වන මූලික සාකච්ඡා හා ප්‍රවේශයන් තාක්ෂණ නගර සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ලබාගෙන ඇත. ඒ අනුව පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ කොරියනු සංචාරයේ දී මේ අවශ්‍යතාව පිළිබඳ අදහස් ගණනාවක් හුවමාරු ‍කොටගෙන ඇත.

එමෙන්ම කොරියානු රජය විසින් අවශ්‍ය කරනු ලබන වෙනත් අවශ්‍යතාවන් ජලය, මාර්ග, විදුලිය හා තාක්ෂණ ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් දියුණු කිරීමට අවශ්‍ය වන ආධාර හා ණය ලබාදීමටත් කැමැත්ත ප්‍රකාශ කොට ඇත. මේ ප්‍රදේශයට අවශ්‍ය වන ජලනළ පද්ධති අඹතලේ සිට මේ ප්‍රදේශයට තව දුරටත් පුළුල්ව ලබාදීමටත් ඉන් විශාල ප්‍රමාණයක් ප්‍රදේශයේ දැනටමත් ජීවත් වන නළ ජලය ලබාගෙන නොමැති අවශ්‍ය ඕනෑම පදිංචිකරුවකුට ලබා ගැනීමටත් ඉදිරියේ දී අවස්ථාව සැලසෙනු ඇත. එමෙන්ම විදුලිබල සැපයුම ප්‍රමාණවත් නොවන හෙයින් ලංකා විදුලි බල මණ්ඩලය මඟින් අවශ්‍ය වන විදුලි උත්පාදන අවශ්‍යතාව සපයනු ඇත.

මේ ක්‍රියාදාමය සාවද්‍ය ආකාරයට විවිධ අවස්ථාවාදී බලවේගයන් විකෘති කොට මහජනතාව තුළ දැඩි භීතියක් ඇති කරමින් මේ ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටියි. ඒ අනුව පළාතේ ජනතාව ඉඩම් කොරියානු සමාගම්වලට විකිණීමට හා පරිසරය විනාශ කරමින් කොරියාවට ඉඩම් විකුණන බවටත් ඒ සඳහා අවශ්‍ය වන ඉඩම් රජය ලබාගන්නා බව දන්වමින් ජනතාව නොමඟ යවයි.

මෙවන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී පළාතේ ඉඩම් ලබා ගැනීම සිදු කළ යුතුව තිබේ. ඒ අනුව තාක්ෂණ නගර ව්‍යාපෘතිය විසින් පළාතේ ජනතාව පදිංචි නොවන විශාල ඉඩම් මේ ව්‍යාපෘතියට ලබා ගැනීමට කටයුතු කොට ඇත.

අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය මේ ඉඩම්වල සීමා හා මායිම් රජය මිනින්දෝරුවරයා විසින් මැනුම් කටයුතු සම්පූර්ණ කළ පසුව අදාළ රේඛීය අමාත්‍යාංශය මඟින් (ඉඩම් අමාත්‍යාංශය) අවශ්‍ය නියෝග නිකුත් කළ පසුව, අදාළ පළාතේ ප්‍රාදේශීය ලේකම් මඟින් අවශ්‍ය වන වන්දි පරීක්ෂණ අවසන් වූ පසු පවතින වෙ‍ළෙඳ පොළ වටිනාකම මත එහි හිමිකරුවන්ට සිදු කරයි. එමෙන්ම එම වන්දි ගෙවීම් ප්‍රමාද වුවහොත් ප්‍රමාද ගාස්තු ලෙස 7% පොලියක් ද අදාළ වටිනාකමට ගෙවනු ලැබේ.

මේ ක්‍රියාවලිය ඕනෑම නීත්‍යානුකූල රජයක් අනුගමනය කරන ක්‍රමයක් වන අතර, මෙරට පවතින නීති රීති පද්ධතිය තුළ ක්‍රියාත්මක කරනු ලබන ක්‍රියාවලියයි.

තාක්ෂණ නගර ව්‍යාපෘතිය තුළ දැනට මාහේන්වත්ත ප්‍රදේශය අක්කර 200ක පමණ ප්‍රදේශයක මේ වන විට

කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය

මොරටුව විද්‍යාලයේ පර්යේෂණ හා නවෝත්පාදන පීඨය

NSBM ආයතනය

නැනෝ තාක්ෂණ ආයතනය

රජයේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තු‍ව

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ දත්ත ගබඩාව

වැනි ප්‍රධාන ආයතන ගණනාවකින් සමන්විත වන අතර, මේ ආයතනයන් විද්‍යා තාක්ෂණ දැනුම හා අවශ්‍ය වන විවිධ සේවාවන් සපයන ආයතනයන් ලෙස ක්‍රියා කරමින් සිටියි. මෙහි පිහිටුවා ඇති සියලුම ආයතන අවශ්‍ය වන පරිසර වාර්තා ලබාගෙන ඇති අතර, නැනෝ තාක්ෂණ ආයතන ලෝකයේ සුවිශේෂී හරිත පර්යේෂණාගාරයක් ලෙස සම්මානයට භාජනය වී ඇත. ජනතාව කුපිත කරවීමට කිසිඳු අහිත කර බලපෑමක් මෙවන් ආයතන තුළින් සිදු නොවන අතර, රටේ අධ්‍යාපනික, ආර්ථික ප්‍රවර්ධන‍යේ කේන්ද්‍රස්ථානයක් ලෙස මේ ආයතනය ක්‍රියාත්මක වේ.

තව දුරටත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාලයන්හි තාක්ෂණ පීඨ මෙහි ස්ථාපිත වන අතර, මේවා මඟින් මෙරටට අවශ්‍ය වන දැනුම මත පදනම්ව ආර්ථිකයට අවශ්‍ය වන මානව සම්පත ප්‍රවර්ධන කිරීමට කටයුතු කරමින් සිටියි. ඉදිරි දශකවල දී ශ්‍රී ලංකාවේ දැනුම මත පදනම් ආර්ථිකය මඟින් උපයා ගැනීමට අපේක්ෂිත ආදායම ඩොලර් මිලියන සියගණනකි. ඒ අවශ්‍යතාව උදාකරලීම තාක්ෂණ නගර ව්‍යාපෘතිය මඟින් ක්‍රියාත්මක වෙයි.

 

නිර්මල පෙරේරා
තාක්ෂණ නගර සංවර්ධන
ව්‍යාපෘතියේ
ඉඩම් අත්පත් කර ගැනීමේ නිලධාරී 

නව අදහස දක්වන්න