අධිකරණ ස්වාධීනත්වය ජනතාවට | දිනමිණ

අධිකරණ ස්වාධීනත්වය ජනතාවට

නෙල්කා මැදගෙදර

නව අගවිනිසුරු නලින් පෙරේරා කියයි

ජනතා විශ්වාසය ඇතිව තිබෙන යුගයක දේශපාලන බලපෑමක් හෝ වෙනත් පෞද්ගලික උපක්‍රමයකින් තොරව අගවිනිසුරු තනතුරට පත්වූ තමන් පෞද්ගලික අභිමතාර්ථයන් ඉටුකිරීමට නොව අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමට හා ජනතාවට සාධාරණත්වය ඉටුකිරීමට කැපවන බව නව අගවිනිසුරු නලින් පෙරේරා මහතා ඊයේ පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ සම්මන්ත්‍රණශාලාවේදී පැවැති නව අගවිනිසුරුවරයා පිළිගැනීමේ උත්සවයේදී ප්‍රධාන දේශනය පවත්වමින් නව අගවිනිසුරු නලින් පෙරේරා මහතා මේ බව කීය.

ජාතියේ සතුරෙක් වන අල්ලස හා දූෂණය මුලිනුපුටා දැමීමටත්, දුප්පත් සහ සාමාන්‍ය ජනතාවට යුක්තිය ඉටු කිරීමට තමා කැපවන බව ද ඒ මහතා කීය.

විනිසුරුවරුන්ට ඇති පහසුකම් අඩුවීම සහ දුෂ්කරතා පිළිබඳ පැමිණිලි කිරීම තවදුරටත් අනවශ්‍ය බව කී නව අගවිනිසුරුවරයා වත්මන් රජය ඒ සියලු පහසුකම් සපුරාලීමට කටයුතු කර තිබෙන බවද කීය. සිය දේශනය තවදුරටත් පවත්වමින් අගවිනිසුරුවරයා මෙසේ ද කීය.

දේශපාලන හෝ වෙනත් උපක්‍රමයකින් තොරව තනතුරට පත්වූ මා රටේ දුර්වල හා දුක්ඛිත ජනතාවට සේවය ලබාදීමට ඇප කැපවී සිටිනවා.

යුක්තිය හා සාධාරණත්වය ගිලිහෙමින් මානුෂීය වටිනාකම් ගිලිහෙමින් පසුගිය සමය පැවතුණා. ඒ නිසා අසරණවූ ජනතාවගෙන් අධිකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසයද ගිලිහෙමින් තිබුණා. බලය ඇත්තන් විසින් බලය අවභාවිතා කළ යුගයක් තිබුණා. එවැනි සමාජයක එකිනෙකා කෙරෙහි අවිශ්වාසයෙන් බැලීමට පුරුදුවී සිටිනවා. මේ නිසා අධිකරණ පද්ධතීන් පිළිබඳ සාමාන්‍ය ජනතාවට විශ්වාසයක් තබා ගැනීම අසීරු කරුණක්ව තිබුණා. නව අගවිනිසුරු ලෙස පත්වූ මා අධිකරණ පද්ධතිය පිරිසුදුව පවත්වාගෙන යෑමටත් ඒ වෙනුවෙන් කැපවීමටත් අපේක්ෂා කරමි. පහළ අධිකරණ විනිසුරුවරුන් කටයුතු කිරීමේදී විනය හා ස්වයංපාලනය අත්‍යාවශ්‍ය කරුණක්.

විනිසුරුවරුන්ගේ පහසුකම් අඩුවීම පිළිබඳව තවදුරටත් පැමිණිලි කළයුතු නැති බවත්, විනිසුරුවරුන්ගේ යහපැවැත්ම ජනතා විශ්වාසය තහවුරු කර ගැනීමට හේතුවන බවත් අගවිනිසුරුවරයා පැවසීය.

ස්වාධීන හා නිර්භීත නීතිඥ මණ්ඩලයක් ස්වාධීන අධිකරණ පද්ධතියකට අත්‍යාවශ්‍ය සාධකයක් බවද ඕනෑම විනිසුරුවරයකුට එරෙහිව ඕනෑම පැමිණිල්ලක් ඇත්නම් ඒ පිළිබඳ තමන්ට පැමිණිලි කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට සහ ජනතාවට යුක්තිය ඉටුකිරීමට සියලු දෙනාගේම සහාය අපේක්ෂා කරන බවද නව අගවිනිසුරු නලින් පෙරේරා මහතා පැවසීය.

මේ අවස්ථාවට ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ, මහාධිකරණ, දිසා අධිකරණ විනිසුරුවරු ද, මහේස්ත්‍රාත්වරු සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

නව අදහස දක්වන්න