යුද හමුදා සංඥා බළකායේ හැත්තෑ පස්වැනි සංවත්සරය | දිනමිණ

යුද හමුදා සංඥා බළකායේ හැත්තෑ පස්වැනි සංවත්සරය

මංජුල හිරිපිටිය හෝමාගම සංචාරක

ශ්‍රී ලංකා යුද හමුදාවේ පැරණිතම රෙජිමේන්තුවක් වන යුද හමුදා සංඥා බළකායේ හැත්තෑ පස්වැනි සංවත්සරය හෝමාගම පනාගොඩ යුද හමුදා ජනපදයේ පිහිටි සංඥා බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විය.

1943 ඔක්තෝම්බර් දහ නව වන දින ලංකා සංඥා බළකාය ලෙස ප්‍රථම සංඥා බළකාය ස්ථාපිත කර කොළඹ, ත්‍රිකුණාමලය, මහනුවර සහ දියතලාව යන එවක ලංකා හමුදා ප්‍රධාන කදවුරු ලෙස හදුන්වන හමුදා කදවුරු තුළ සන්නිවේදන කටයුතු ආරම්භ කර ඇත. 1948 වසරේ දී රටට නිදහස් ලැබීමත් සමග 1949 වසරේ දී ශ්‍රී ලංකා යුද හමුදාවේ ආරම්භයත් සමග ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බළකාය බවට පරිවර්තනය වී ඇත. මේ සමග ගොඩනැගුණු යුද හමුදා සංඥා බළකායේ ප්‍රථම අණදෙන නිලධාරියා ලෙස ලුතිනන් කර්නල් ඩී.වී. බ්‍රෝහියර් මහතා කටයුතු කර ඇති අතර, කාලයත් සමග රටේ ඇති වු විවිධ නොසන්සුතාවයන්ට සාර්ථකව මුහුණදීම සදහා සන්නිවේදන සේවාවන් වඩාත් ශත්තිමත් කිරීමට 1988, 1991, 2006 සහ 2008 යන වසරවල දී සංඥා බළකායේ නව රෙජිමේන්තු හතරක් පිහිටුවාලිමට පියවර ගෙන තිබේ.

වසර තිහක් පුරා මෙරට පැවති ත්‍රස්තවාදය නැති කළ අවසන් වසරේ දී සන්නිවේදන හා පණිවිඩ ලබා දීම සිදු කරමින් අතිශය කාර්යබහුල සේවාවක් ඉටු කළ සංඥා බලකාය, පාබල රාජකාරි කටයුතු සිදු කර ඇත. යුද හමුදාවේ සන්නිවේදන තොරතුරු තාක්ෂණය සහ පණිවිඩ අවශ්‍යතා වඩාත් සංකීර්ණවීමත් සමග සංඥා බළකායට අයත් රෙජිමේන්තු රටම ආවරණය වන අයුරින් හෝමාගම පනාගොඩ, යාපනය, මුලතිව්, වැලිකන්ද, අනුරාධපුරය, කිලිනොච්චිය, දියතලාව සහ පාදුක්ක යන ප්‍රදේශවල ස්ථාපිත කර තිබේ. එම සියලු සංඥා රෙජිමේන්තු පනාගොඩ පිහිටි සංඥා බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානය මගින් පාලනය වේ. මිට අමතරව ප්‍රධාන සංඥා නිළධාරි මධ්‍යස්ථානය යටතේ පනාගොඩ, මහනුවර (බූවැලිකඩ),

අනුරාධපුරය, රත්නපුර (කුරුවිට), කොකාවිල් සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති අතර, එමගින් යුද හමුදා සාමාජිකයින්ට, රණවිරු පවුල දරු දැරියන්ට සහ සාමාන්‍ය පවුල්වල දරු දැරියන්ට පරිඝණක තාක්ෂණ පුහුණු පාඨමාලා සිදු කෙරේ. මහනුවර බුවැලිකඩ ප්‍රධාන සංඥා පුහුණු පාසැල ස්ථාපිත කර ඇති අතර නව තාක්ෂණයේ ඇතිවන අභියෝගය වලක්වා ගැනිම සදහා සයිබර් ආරක්ෂාව පිළිබදව නව එක් රෙජිමේන්තුවක් ආරම්භ කර ඇත.

සංඥා බළකායේ ප්‍රථම බළකාධිපති (විශ්‍රාමික) මේජර් ජෙනරාල් චන්ද්‍ර අබේරත්න මහතා වන අතර, මේජර් ජෙනරාල් වරුන් වන (විශ්‍රාමික) චුලා සෙනෙවිරත්න, සුනිල් ද සිල්වා, පියල් අබේසේකර, ටී.එf. මීඩින්, ප්‍රසාද් සමරසිංහ, ආර්.ඒ. කඩුවෙල සහ කේ.ජී. රොවෙල් යන මහත්වරුන් සංඥා බළකායට විශාල සේවාවක් සිදු කළ නිළධාරීන් අතරින් කීපදෙනෙකු වේ.

වත්මන් සංඥා බළකාධිපති ලෙස මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ මහතා කටයුත කරන අතර, ප්‍රධාන සංඥා නිළධාරි ලෙස මේජර් ජෙනරාල් නිලන්ත හෙට්ටිආරච්චි, සංඥා බළකා මධ්‍යස්ථාන සේනා විධායක ලෙස බ්‍රිගේඩියර් පාලිත පෙරේරා, සංඥා බළකා බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් තිලක් වෛද්‍යරත්න සහ සංඥා පුහුණු පාසැලේ සේනාවිධායක් ලෙස කර්නල් ඉමල් අස්ලආරච්චි යන මහත්වරුන් කටයුතු කරති.

නව අදහස දක්වන්න