සමු­ගත් ලේඛක සහෘ­දයා මිල්ටන් මද්දු­මාගේ | දිනමිණ

සමු­ගත් ලේඛක සහෘ­දයා මිල්ටන් මද්දු­මාගේ

සහෘද ලේඛක මිල්ටන් මද්දුමාගේ හදිසියේම අපෙන් සමුගත් පුවත ඇසූ සැණින් මගේ මතකය දිව ගියේ කළුතරට. මොකද නොයෙක් සාහිත්‍ය කටයුතු සඳහා අපට නිතරම කළුතර දිස්ත්‍රික් ලේඛක සංවිධානයෙන් ඇරියුම් ලැබෙනවා. එම ලේඛක සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන මද්දුමාගේ මිතුරාත් මේ හැම අවස්ථාවකම මුණගැසීම අනිවාර්ය කාරණයක්. මද්දුමාගේ ලේඛකයාගේ දකින්න තිබුණ සුවිශේෂම ලක්ෂණය ලෙස මගේ හිතේ තදින්ම සටහන් වී තිබෙන්නේ ඔහුගේ මුහුණ පුරා නිරන්තරයෙන්ම ඇඳෙන අහිංසක සිනහවයි. අහිංසකකමට අමතරව අව්‍යාජත්වයකුත් එහි නිබඳවම තැවරී තිබෙන බවයි මට හැඟෙන්නේ. කඩියකු මෙන් සිය කුඩා සිරුර හසුරුවමින් උත්සව සභාව පුරා දුව පැන ඇවිදිමින් දයාරත්න දළවැල්ල ඇතුළු සගයන් සමඟ සාහිත්‍ය කටයුතු මෙහෙයවන මේ කඩිසර ලේඛක සොයුරාගේ රුව අපේ සිත්වලින් ලෙහෙසියෙන් මැකී නොයන බව සහතිකයි.

මිල්ටන් මද්දුමාගේ යනු බොහෝ ඇසූ පිරූ තැන් ඇති පඬිරුවනක් බවත් අපි අමතක නොකළ යුතුයි. ඔහු වන් වියතුන් අද ඉතා විරලයි. මිල්ටන් මද්දුමාගේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පාලි භාෂාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් දිනා ගන්නේ නවසිය හැට ගණන්වලයි. ඉන් නොනවතින ඔහු ඊට පසුව පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් එම භාෂාව පිළිබඳවම දර්ශනපති උපාධියක්ද හිමි කර ගන්නවා. මද්දුමාගේ මිතුරා උපත ලබන්නේ කළුතර දිස්ත්‍රික්කයේ සුන්දර ගම්මානයක. ඒ 1943 අවුරුද්දෙ. ඇළ දොල කෙත්වතුවලින් ගහන බණ්ඩාරගම කිම්මන්තුඩාව නමැති ගම්මානයේ. ප්‍රාථමික අධ්‍යාපනය ගමේ පාසලෙන් ලබන ඔහුට පසුව වෑවිට මධ්‍ය මහා විදුහලට පිවිසෙන්නට වරම් ලැබෙනවා. නිර්මාණ කටයුතුවලට ඔහු යොමු වන්නෙත් පාසල් වියේදීමයි. එකල ඉතා ජනප්‍රියව පැවැති කවි කලාවටයි ඔහුත් මුලින්ම අත ගසන්නේ. කිවිවර පී. බී. අල්විස් පෙරේරා විසින් සංස්කරණය කෙරුණු “මීවදය” හා සිරිසේන මාඉටිපේ කිවිඳුන්ගේ සංස්කාරකත්වයෙන් පළ වුණු “අඹ වනය” නම් සඟරාවලට කවි රචනා කරමින් මද්දුමාගේ අංකුර කවියා නිර්මාණ සාහිත්‍ය වේදිකාවට ප්‍රවේශ වුණා.

1964දී ගුරු වෘත්තියට පිවිසුණත් මද්දුමාගේ සිය ලේඛන කලාව අමතක කරන්නේ නැහැ. දිගටම සාහිත්‍ය කලාවන් හදාරමින් ශාස්ත්‍රීය දැනුම වර්ධනය කරගැනීමට ඔහු තම විවේක කාලය කැප කරනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් “ලංකාවේ කලාශිල්ප හා දාර්ශනික දෘෂ්ටිය” නම් පර්යේෂණාත්මක නිබන්ධය එළි දක්වන්නට ඔහු 1977 වන විට සමත් වෙනවා. ශාස්ත්‍රීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් බවට මද්දුමාගේ නමක් දිනා ගන්නේ මේ කෘතියත් සමඟයි. ගමේ පාසලේ ගුරුවරයකු ලෙස වෘත්තීය ජීවිතය අරඹන මද්දුමාගේට වැඩි කල් නොගොස් ප්‍රදේශයේ කැපී පෙනෙන ගුරුභවතකු වීමට හැකියාව ලැබෙන්නේ ඔහු සතු කුසලතා මෙන්ම ඔහුගේ මානවහිතවාදි ගුණයත් හේතුවෙනුයි. එසේම විදුහල්පතිවරයකු සේම අධ්‍යාපන නිලධාරියකු වශයෙන්ද මතු පරපුරට මද්දුමාගේ ගුරුවරයා වෙතින් ඉටු වන්නේ මහඟු මෙහෙවරක්.

ශාස්ත්‍රීය නිබන්ධන ඔස්සේ ලේඛන ක්ෂේත්‍රයට පිවිසියත් නිර්මාණ සාහිත්‍ය වෙත යොමු වීමට මිල්ටන් මද්දුමාගේ වැඩි කාලයක් ගන්නෙ නැහැ. නවකතාව හා කෙටිකතාව යන සාහිත්‍යාංග වෙත යොමු වෙමින් ඔහු සිය ලේඛන හැකියාව විදහාපාන්නට පටන් ගන්නේ පාඨක විචාරක දෙපාර්ශවයේම අවධාරණය දිනාගනිමින්.

මිල්ටන් මද්දුමාගේ ලියූ නවකතා අතර “ගිරිහිසෙන් එහා”, “රෑ පහන් විය”, “විරති සංඥා” ආදි කෘති කැපී පෙනෙනවා. අප දන්නා තරමට මද්දුමාගේ ලේඛකයාගේ ප්‍රකාශිත කෙටිකතා කෘති වශයෙන් පළ වී තිබෙන්නේ එක සංග්‍රහයක් පමණයි. “සුද්දිගේ මළගම” ලෙස නම් කර තිබෙන එය ප්‍රකාශයට පත් වී තිබෙන්නේ 2017 වසරෙදි. ළමා සාහිත්‍ය කෙරෙහිත් ඔහු අවධානය යොමු තර තිබෙන බව පෙනෙනවා. “නෙළුම් කුමාරි” හා “කඩුපුල්” යන ළමා පොත් මීට නිදසුන්. මද්දුමාගේ කලාකරුවා ප්‍රගුණ කරගත් තවත් කලා මාධ්‍යයක් ලෙස චිත්‍ර ශිල්පයත් හඳුන්වන්න පුළුවන්. උසස් පෙළට චිත්‍ර කලාව හදාරණ දරු දැරියන් වෙනුවෙන් අත් පොත් 14ක් පමණ ඔහු සම්පාදනය කර තිබෙන බව අපට අසන්න ලැබුණා. මේව අමතරව “බෞද්ධ ධර්මය හා ශිෂ්ටාචාරය ”, “හෙළ වහරේ රසකතා” වගේම ලාංකික බිතු සිතුවම් කලාව අරබයාත් කෘති කිහිපයක්ම ඔහු විසින් සම්පාදනය කරනු ලැබ තිබෙනවා. දශක ගණනාවක් පුරා ඉටු කළ අප්‍රමාණ සාහිත මෙහෙවර වෙනුවෙන් ප්‍රාදේශීය හා ජාතික මට්ටමේ ගෞරව සම්මාන රැසකින් මද්දුමාගේ ලේඛකයාණන් පිදුම් ලැබ තිබෙනවා. ලේඛක ශිරෝමණී, කලා භූෂණ, ස්වර්ණ පන්හිඳ හා විශ්ව ප‍්‍රසාදිනී ඒවා අතර ප්‍රධානයි.

මේ සියලුම කාර්යයන් ඉක්මවා යන ඉතාම බරපතළ සාහිත්‍ය මෙහෙවරකට මද්දුමාගේ සාහිත්‍යධරයා අත තැබුවේ සිය ජීවිතයේ අග භාගයෙයි. ත්‍රිපිටක ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කිරීමේ භාරදූර කාර්යයට උර දීමේ අභියෝගය ඔහු බාරගත්තා. ගොඩගේ ප්‍රකාශකයන් හා එක් වී කාණ්ඩ 15කින් සමන්විත ත්‍රිපිටක මහා පුස්තකය සරල සිංහලින් සම්පාදනය කිරීමට ඉදිරිපත් වීමම වුණත් මේ වියත් ලේඛකයාගේ යුග කාර්යභාරය ඇගයීමට ප්‍රමාණවත්. මිල්ටන් මද්දුමාගේ යනු විරල ගණයේ පඬිවරයෙකැයි මා මුලින්ම සඳහන් කළේ මෙවන් මහඟු මෙහෙවරක් ඉටු කිරීම කිසිසේත්ම ලෙහෙසි පහසු කාර්යයක් නොවන නිසයි. මෙවන්ම ගැඹුරු සාහිත්‍ය කාර්යයක් ලෙස හැඳින්විය හැකි කලා විශ්වකෝෂ දෙකක්ද ඇතුළුව සාහිත්‍ය ලෝකයෙන් සමුගන්නා මොහොත වන විට මිල්ටන් මද්දුමාගේ අතින් ලිය වී ඇති පොත් සංඛ්‍යාව 56ක් පමණ වන බවයි තොරතුරු ගවේශනය කිරීමේදී හෙළිදරව් වුණේ. සිය හැත්තෑ පස් වන ජන්ම දිනය නිමිත්තෙන් තවත් කෘති දෙකක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරමින් සිටියදී ඔහුට සාහිත්‍ය ලොවෙන් සමුගැනීමට සිදු විම මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට ලෙහෙසියෙන් පියවිය නොහැකි හිදැසක් බව බව සඳහන් කරමින් අප කලණ මිතුරු මිල්ටන් මද්දුමාගේ සාහිත්‍යධරයාට සුබ ගමන් ප්‍රාර්ථනා කරනවා.

කමල් පෙරේරා

නව අදහස දක්වන්න