ගැහැ­නු­කම පිරි­මි­කම | දිනමිණ

ගැහැ­නු­කම පිරි­මි­කම

"ගෑනු වගේනේ" යන්න බාල්දුකාරි පණිවිඩයක් ලෙස ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවලට පමණක් පොදු ඇබ්බැහිවීමක් නොවේ. බටහිර රටවල පවා ඇතැම් දේ "ගෑනුන් වගේ" කරනවා කියා හැඳිවෙන්නේ එම ක්‍රියාවේ බාල්දුකාරී දුර්වල ගතියක් ඇති එකක් බවට කියාපෑමටයි. කුඩා කාලයේ සිටම දරුවන්ට ගෑනුන් ලෙස වාඩිවෙන්නට, පිරිමින් ලෙස දුවන්නට, ගෑනුන් ලෙස යටපත් වීමට, පිරිමින් ලෙස සටන් කිරීමට උගැන්වීම අදටත් ලෝකය පුරාම සිදු වේ. ගැහැනියගේ පවුලට හිමි දේපොළ වස්තුව හිමිකර ගැනීමෙන් ඒ පාලනයට මං සෙවූ බටහිර පිරිමින් විසින් ගෙන ආ ඇතැම් කූටෝපායන්වල ප්‍රතිඵල ලෙස අතීතයේදී ගැහැනිය, ගැහැනියක් වාගේ වීම දුර්වලකමක් ලෙස එම සමාජවල පැතිරී යන්නට ඇත. නමුත් සියලු අභරණවලින් සැරසී තනිවම රට පුරා ගමන් යන්නට ගැහැනියට පුළුවන් කමක් තිබූ අතීතයකට හිමිකම් කී, අතේ රුපියලක් නොමැතිව පිටරට ගොස් රටටම කන්න දෙන්නට ගැහැනියට පුළුවන්කමක් ඇති වර්තමානයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව වැනි රටවල "ගෑනු වගේ නේ" "කෙල්ලෙක් වගේ නේ" යන්න අපහාසයක් ලෙස යෙදීම අපේ මනුස්සකමේ, බුද්ධියේ, දියුණුවේ බංකොලොත්බවට මෙන්ම ප්‍රචණ්ඩත්වයේ, මුග්ධබවේ, අමනුෂ්‍යකමේ උත්කර්ෂයට පැමිණිමේ හොඳම උදාරණයකි.

ගැහැනිය සහ පිරිමියා ජීව විද්‍යාත්මකව වෙනස්කම් ඇති දෙදෙනෙකි. එසේම ගැහැනිය සහ පිරිමියාගේ වෙනස් කම් පිළිබඳව විද්‍යාත්මකව ඉදිරිපත් කළ හැකි ශරීරය පිළිබඳ අනෙක් කාරණා ප්‍රතික්ෂේප කිරීම විහිළුවකි. නමුත් වර්තමාන ලෝකයේ පිරිමියකුගේ සහ ගැහැනියකගේ සිතුම් පැතුම් ජීවන රටා ඒ තරම් විශාල වෙනස්කම්වලින් තොර වඩා පුළුල් දැකීමකට අනුව සිදුවේ.

බත සැපයීම බිල් ගෙවීම තනිකරම පිරිමින්ගේ කටයුත්තක් නොවන දරුවන් බැලීම ගෙදර දොර වැඩ තනිකරම ගැහැනුන්ගේ වැඩක් නොවන තැනට ලෝකය වෙනස් වීගෙන එන නමුත් ඒ වැඩ ගැහැනියක ගැහැනියක වගේත් පිරිමියෙකු පිරිමියෙකු වගේත් කිරීමේ වරද කුමක් ද? පිරිමියකු ගුරුවරයකුගේ රැකියාව කරද්දි නීති රීතී වෘත්තියේ සදාචාරවලට අනුව පිරිමියකු වාගේ ඒ කටයුත්ත කරන්නේ නම් එහි වරද කුමක් ද? ගැහැනියක් ආයතන කළමනාකරණය වැනි රැකියාවක් කරද්දී ඈ නීති රීති නොකඩා වෘත්තිය සදාචාරවලට අනුකූලව ගැහැනියක වාගේ ඇගේ කටයුතු කරන්නේ නම් එහි ඇති වරද කුමක්ද?

ගැහැනු පිහිනුම් තරගයක තරගකාරියන් ගැහැනුන් වගේ පිහිනයි නම් ගැහැනු බොක්සින් තරගයක ඔවුන් ගැහැනුන් සේ සටන් වදී නම් එහි දුර්වල ගතිය කුමක්ද? "ගැනියෙක් වගේ නේ" කියා ගැරහීමකට ලක් වෙන්නේ තනිකරම ගැහැනුන්ගේ තත්ත්වය නොවේ. ඇතැම් අවස්ථාවල පිරිමින්ට අපහාස කිරීමට ගැහැනු වගේ යැයි කියා ඕනෑ තරම් කියැවෙන අවස්ථා ඇත.

"පිරිමියකු වගේ" යන්න පවා බාල්දුකාරී අසුන්දර පණිවිඩයක් ලබා දීමට පාවිච්චි වෙන අවස්ථා ඕනෑ තරම් ඇත. ශක්තිමත් නිර්භීත ගැහැනියකට පරිභව කිරීමට ඈ තුළ "සමාජය බලාපොරොත්තු වෙන ගැහැනුකම" නැති බව උළුප්පා දැක්වීමට "පිරිමියකු වාගේ" යන්න භාවිත වෙන තැන් ඕනෑ තරම් ඇත. අකාරුණික ගැහැනුන්ට සමාජයේ මිම්මට අනුව රූ සිරි අඩු යැයි සැලකෙන ගැහැනියට අපහාසයක් ලෙස "පිරිමියකු වගේ" යැයි යෙදීම බොහෝ විට සිදු වේ. නමුත් ලෝකයේ කොයිතරම් කාරුණික පිරිමින් ඇතිද? කෙතරම් රූ බර පිරිමින් සිටීද?

ලිංග බේදයට අනුව අප වෙත නියම කර ඇති කාර්ය සංකේත තුළ අප රැඳී සිටියේ අප බැඳ දමා තිබූ යම් යම් රැහැන බිඳ සිතන්නට උත්සාහ නොගත් කාලයක වුවත් අදටත් ඒ අච්චු තුළට මිනිසුන් දැමීමට උත්සාහ කරන පිරිස අච්චුවලට නොදැමිය හැකි විශේෂ පුද්ගලයන්ට "ගෑනු වගේ" "පිරිමි වගේ" යන්නෙන් රිදවීමක් කරන්නට හැකි යැයි බලාපොරොත්තු වේ.

නමුත් ගැහැනියක වීම, පිරිමියෙක් වීම , "ඒ වගේ" වීම හෝ නොවීම අවනම්බුවක් ලෙස ගනන් ගෙන වරද කරන්නේ අප වේ. ඔව් මම් ගැහැනියක් මා ගැහැනියක වගේ යැයි කියන්නට ගැහැනියකට පුළුවන් විය යුතුය. තමන්ගේ දුර්වලකමක් ගැහැනුකමක් ලෙස පෙන්වද්දි එය හෙළා දැකීමටත් තමන්ගේ ශක්තිය පිරිමිකමක් ලෙස පෙන්වද්දි එයට එකඟ නොවීමටත් අප ඉගෙන ගත යුතුය. අපි මනුෂ්‍යයෝ වෙමු. අපේ දුර්වලකම් දුර්වලකම් මිස ගැහැනුකම් නොවේ. අපගේ හිත හොඳකම හිත හොඳකම මිස ගැහැනුකම නොවේ. ශක්තිවන්තකම් ශක්තිවන්තකම් මිස පිරිමිකම් නොවේ. අපගේ අකරුණාවන්ත අසුන්දරකම අකරුණාවන්ත අසුන්දරකම මිස පිරිමිකම නොවේ.

ගැහැනු පිරිමි මල් පලතුරු මෙකී නොකී බොහෝ දේ ලෝකයේ ඇත. ඒවා ඒවාට කැමැති දේ ලෝකයට දී කැමැති දේ ලබා ගනී. නමුත් ඒවා ඒවා වීම අපහාසයකට භාජනයවීමට කාරණා නොවේ. ඔබගේ ගමන ( දැක නැති ) සුරඟනකගේ බඳු යැයි කියැවුණ විට සතුටින් ඉපිළෙන්නට වත් "ඔබ දුවන්නේ ගෑනියෙක් වගේ" යැයි කියැවුණ විට කුපිත වන්නට වත් හේතුවක් නැත. ඔබ ඔබ වෙන්න. ඔබ වගේ දුවන්න. ඔබ වගේ පන්දුවට පහර දෙන්න.

හිමාලි එන්. ලියනගේ

නව අදහස දක්වන්න