ලව් ඉන් මාතර | දිනමිණ

ලව් ඉන් මාතර

‘උන්නැහේ දන්නවද ලව් ඉන් මාතර ගැන.? කියා ටොම්සන් මහත්තයා ඇසුවේ ටවුමට ගොස් ඇවිත් ටික

වේලාවකට පසුවය.

‘මොකක්ද කිව්වේ.? ‘ කියා අසමින් ඇම්බන් මහත්තයා ද එතැනට ආවේය.

‘ලව් ඉන් මාතර. ඇම්බන් මහත්තයා දන්නවද මොනවා හරි ඒ ගැන.‘ කියා ටොම්සන් මහත්තයා යළිත් ඇසුවේය.

‘ ඒ කියන්නේ ඔය අලුත් චිත්තරපටියක් ගැන වෙන්න ඇති. මං නං තාම පත්තරේකවත් දැක්කේ නෑ... කවද්ද මුහුරත් උළෙල තියෙන්නේ...‘ කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.

‘ ඒක නං මං දන්නේ නෑ... හැබැයි දැන් පෙන්නනවා ලව් ඉන් මාතර‘ කියා ටොම්සන් මහත්තයා කොචොක් පාරක් දාමින් කීවේය.

‘ මං ඒ කාලේ නම් බලලා තියෙනවා ලව් ඉන් ටෝකියෝ කියලා අපූරු හින්දි චිත්තරපටියක්. හරිම

ලස්සන සින්දු ටිකක් හෙම තිබුණා. මේකත් ඒ වගේ එකක්ද?‘ කියා උන්නැහේ ඇසුවේය.

‘දන්නේ නෑ.. සින්දු විතරක් නෙවෙයි දෙබස් හෙමත් තියෙනවා නේ. අනික් ලස්සන රඟපෑම්...‘ කියා ටොම්සන් මහත්තයා රස කර කර කීවේය.

‘ඉතින් අපිත් යමුකෝ ටොම්සන් මහත්තයා... මෙහේ මොන සිනමා ශාලාවේද තියෙන්නේ..‘ කියා උන්නැහේ බොහොම කැමැත්තෙන් ඇසුවේය.

‘ඔය එහේ මෙහේ තියෙනවද උන්නැහේ ලව් ඉන් මාතර තියෙන්නේ මාතර. ඒවා බලන්න ඕනැ නම් මාතරම යන්න ඕනෑ... කියා ටොම්සන් මහත්තයා කීවේ තරමක කනස්සලු ගතියකිනි.

‘මට නම් පේන්නේ ටොම්සන් මහත්තයා මේ වෙන මොකක්දෝ කියනවා වාගෙයි... ඇත්තට මොකක්ද

ටොම්සන් මහත්තයා ඔය කතාව. හරියට පැහැදිලි කරලා කියන්නකෝ.‘ කියා ඇම්බන් මහත්තයා කීවේය.

‘ මොනවා පැහැදිලි කරනවාද ඇම්බන් මහත්තයා.. අර මාතර මුහුදු වෙරළ පැත්තේ තියෙන්නේ බාලිකා විද්‍යාල දෙකකුයි, පිරිමි විද්‍යාලයකුයි. ඒ ඉස්සරහා තියෙන වෙරළ දිගේ තමයි ලව් ඉන් මාතර තියෙන්නේ... වෙරළ දිගට උදේ ඉඳන් හැන්දෑ වෙනකම් ලව් ඉන් මාතර. මේ ඉස්කෝලවල විදුහල්පතිතුමියෝ දෙන්නම මාතර පොලිසියට කීප සැරයක්ම කියලා තියෙනවාලු මේක මේ පාසල් ඉස්සරහට නොගැළපෙන දෙයක්... පාසල්වල විනයටත් බල පානවා.. පිරිමි ඉස්කෝලේ විදුහල්පතිත් කියලා තියෙනවාලු. ඒ වුණාට මේ ජෝඩු තර්ජනය කරනවාලු මේක අපේ මානව හිමිකමක්.. අපට නිදහසේ මෙතන ලව් කරන්න අයිතියක් තියෙනවා කියලා. ඉතින් පොලිසිය අකුලාගෙන යනවාලු... මේකේ ලස්සනම කතාව තමයි ඇම්බන් මහත්තයා මේ රටේ නොයෙක් අරගල කරන, සාධාරණය, යුක්තිය වෙනුවෙන් කෑ මොර ගහන විශ්වවිද්‍යාල ජෝඩු තමයි මේ ලව් ඉන් මාතර රඟපාන්නේ. මේවා තමයි අලුත් මානව හිමිකම්... කාටද ඉතින් කියන්නේ.‘ කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

‘ඇයි ටොම්සන් මහත්තයා එහෙම කියන්නේ... අපි ඕක අර ළමයින්ගේ අධිකාරියට කියමුකෝ. ඒ ගොල්ලෝනේ ළමයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටින්නේ...“ කියා උන්නැහේ කීවේය.

‘කිව්වා. කිව්වා.. ඒ ගොල්ලෝ කියනවා ඒ වගේ දේකට ඒ අයට අත දාන්න බැරිලු... එහෙම ලව් කරන්නත්

අයිතියක් තියෙනවාලු. ඒකෙන් ළමයින්ට හානියක් නැතිලු...‘ අනේ කාලේ වනේ වාසේ කිව්වාලු.

‘ ඒකත් ඇත්ත වෙන්න ඇති. දැන් ඔය පළවෙනි ඉනිම දෙවෙනි ඉනිම කියලා ඉස්කෝල යුනිපෝම් දාලා ලව් සීන් පෙන්නන ටෙලි නාට්‍යයත් යන්නේ ඒ විදිහට නේ. ඒවත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නේ...මේකේ තියෙන කාරණේ උන්නැහේ මේ බාලිකා පාසල්වල, පිරිමි පාසල්වල දූ දරුවෝ පාසල වෙලාවෙත්, පාසල ඇරෙන වෙලාවෙත් මේ ලව් ඉන් මාතර නරඹන එකයි. ඒකට ඉතින් ඒ පාසල්වල දෙමාපියන්ගේවත්, ඒ ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේවත් අකැමැත්තකුත් නැතිවා වාගෙයි. ඒකනේ ඒ ගොල්ලෝ කිසි සද්දයක් නැත්තේ.‘

‘එතකොට ඔය දකුණේ තියෙනවා නේද අධ්‍යාපන දෙපාර්තමේන්තුවකුත්, ඒ ගොල්ලේ මොකද කියන්නේ.?‘ කියා උන්නැහේ ඇසුවේය.

‘දන්නේ නෑ... ඔය මොනවා හරි කියනවා ඇති. මේවා සදාචාරය පි‍ළිබඳ ප්‍රශ්න නේ... එතකොට ඔය කෂ්ටියක් ඉන්නවා නේ.. මේවා ඔය දූපත් මානසිකත්වය කියලා. එහෙම කොට ඕවා අපේ සංවර්ධනය වගේ පේනවාත් ඇති. වැරදිලා වත් මේ ජෝඩුවලට ඔය තැන්වල ලව් කරන්න එපා කියලා කිව්වොත් නඩු යන්නත් බැරි නෑ.. අර කාන්තාවන්ට මත්පැන් බොන්න තියෙන අයිතිය වෙනුවෙන් නඩු කියන කාණ්ඩෙකුත් ඉන්න එකේ. ඕවාට නඩු කියන්ඩත් කෂ්ටිය ඉන්නවා නේ..‘

‘හරි ඉතින් ටොම්සන් මහත්තයා කියන්නේ අපි දැන් ඔය ලව් ඉන් මාතර බලන්න මාතර යනවාද? නැතිනම්

මොකක්ද අපි කරන්නේ... ?‘ කියා උන්නැහේ ඇසුවේය.

‘ ඒවා ඒ පැත්තේ අයම බලා ගනීවි උන්නැහේ... අපි ඉතින් අපේ පාඩුවේ අපේ වැඩක් බලා ගෙන ඉම්මු.

මොකද අපි ගිහින් ලව් ඉන් මාතර නවත්තන්නද?‘ කියා ටොම්සන් මහත්තයා කීවේය.

බන්දුල පී දයාරත්න


නව අදහස දක්වන්න

Or log in with...