ඉන්දි­කාගේ විජ්ජා­කාරි | දිනමිණ

ඉන්දි­කාගේ විජ්ජා­කාරි

හිරු වෙනදා මෙන්ම ප්‍රභාමත්ය. එහෙත් සියුම් අන්ධකාරයක් හාත්පස පැතිර පවත්නා බවක් හැඟී යයි. දඟකාර කටකාර කොල්ලෝ පවා මුසුප්පු වූ මහල්ලන් මෙන් තැන තැන වැටී සිටිති.

“ආච්චි අම්මට ඉක්මනට සනීප වෙයි නේද අම්මා?“ බඩපිස්සා අසන්නේ ශෝකාකූල හඬිනි.

“ඇයි අම්මෙ ආච්චි අම්මට සනීප වෙන්නෙ නැත්තෙ...? දැං කොච්චර දවස් ඉස්පිරිතාලෙ ඉන්නවද?“ සිව්වැන්නාගේ කලකිරුණු හා පරාජිත පෙනුම ඉවසිය නුහුණුව වුව මම මඳ සිනාවක් පෑවෙමි.

“ආච්චි අම්මට දැං හුඟක් වයසයි. ඉතිං සනීප වෙන්නෙ හෙමින්...“

කොල්ලෝ මා දෙස බලාගත්වනම සිටින්නේ තවත් පැහැදිලි කිරීමක් උවමනා බව හඟවන බැල්මෙනි.

“මේකයි... ජීවිතේ ස්වභාවය. ඕගොල්ලො තේරුම්ගන්න ඕන, අපි මේ ලෝකෙට එන්නෙ යන්න බලාගෙන. කොයි වෙලේ කොහොම යන්න ‍සිද්ද වෙයිද දන්නෙ නෑ. ඉතිං ඉන්න ටික කාලෙදි යහපත්ව ඉන්න වගබලා ගන්න ඕන. තමුන්ගෙ ජීවිතේට හුඟාක් ළංවුණු කෙනෙක්ගෙන් ඈත්වෙන එක සදහටම ඈත්වෙන එක ඉවසන්න අමාරුයි තමා. හැබැයි හැමදේම විඳදරා ගන්න පුරුදු වෙන්න ඕන. ජීවිතේ කියන්නෙ හමුවීම් වෙන්වීම්වලින් පිරුණු දෙයක්නෙ...“

ඔවුන් බිය ද දුක ද පිරුණු ඇස් අයා බලා සිටින කල මම මඳක් සැලී ගියෙමි.

“ආච්චි අම්මට සනීප වෙනව... ආච්චි අම්මට මුකුත් වෙන්නෙ නෑ...“ මද්දු තිරසාර හඬින් කීවේය. එ‍හෙත් ඔහු මෙන්ම ඔහුගේ සොහොයුරන් ද මිත්තණියගේ සුවය ප්‍රාර්ථනා කළ ද ඒ සෙනෙහෙබර ප්‍රාර්ථනය බිඳ වැටිණ. ඔවුන්ගේ මිත්තණිය මගේ නැන්දණිය යළි සුවය නොලබා මිය ගියාය.

ඇගේ දරු මුනුපුරන් මහත් සේ ශෝක වූ බව වෙසෙසින් කිව යුතු නැත. ජීවිතයේ ස්වභාවය හොඳින් දැන හඳුනන මා පවා සසලව ගියේ ඇය මට නැන්දණියක නොව මවක වූ බැවිනි. අතිශයින් කාරුණික හා සන්සුන් මවක මිත්තණියක ලෙස ඇය කොයි කාගේත් ගෞරවාදරය දිනා සිටියාය. හද දවන ශෝකය මා බෙදා හදා ගත්තේ ඉන්දිකා හා සන්ධ්‍යා යෙහෙළියන් සමඟය. එහෙත් ඔවුන් මළගෙදර පැමිණෙනු ඇතැයි මම කොහෙත්ම අපේක්ෂා නොකළෙමි.

කෑගල්ලේ සිට කැකිරාවට දුෂ්කර හා වෙහෙසකර ගමනකින් ඉක්බිතිව වුව ඉන්දිකා ද සන්ධ්‍යා ද සුපුරුදු ප්‍රබෝධමත් විලාසයෙන් මිත්‍රත්වය විදහා පෑ කල මම වික්ෂිප්ත වීමි. එහෙත් මේ ශෝකී අවස්ථාවේ ඔවුන්ගේ පැමිණීම මට මහත් ශක්තියක්ම විය. ඔවුන්ට මගේ කොල්ලන් ද ඥාතීන් හා හිතමිතුරන් ද හඳුන්වා දීමට හැකි වීම භාග්‍යයකැයි මට සිතිණ.

“අ‍නේ මෙච්චර ළමයි ගොඩක් එක්ක නෑයෝ හිතවත්තු අසල්වැසියො එක්ක ඔයා පොත් ලියන එක ගැන මට පුදුමයි...“ යි ඉන්දිකා නොවලහා සිය මවිතය පළ කළාය.

“අනිත් එක දහයකට දොළහකට උයන පිහන අතරෙ...?“ යි සන්ධ්‍යා ද විමතියෙන් දෑස් අයා ගත්තාය.

“ගෙදර වැඩ ගැන ඒ හැටි වදවෙන්න ඕන නෑ අනේ. උයන රෙදි හෝදන අතු පතු ගාන එක විඳින්න බැරිද...? මම නම් ඒ වැඩවලින් සතුටු වෙන අතරෙම කතාවකුත් ගොතනවා...“ විස්මිත සිව් නෙත් නොනවත්වා ප්‍රශ්න කරයි.

“සමහර දවස්වල මං ඇළට බහින්නෙ රෑ වෙලා. දන්නවද තරු එළියෙ එහෙමත් නැත්තං හඳ එළියෙ රෙදි හෝදන එක සීතල වතුරෙ ගිලිලා නාන එක මොන තරම් චමත්කාරජනකද කියලා.... ඇළ ඉවුරෙ මැයි මාර ගස් කළු රෙදි පොරවගත්තු දැවන්තයො වගේ... හුළඟට හෙල්ලෙන අතු ඉති මන්තර මුමුණනවා වගේ... අන්ධකාර අහසෙ තරු කැට මොන තරම් දීප්තිමත් ද... හඳ පායපු රැයක නම් ඇළේ නාන එක පුදුමාකාර රසවත් අත්දැකීමක්. පුර හඳ මා ඉස්සරහ... මම සීතල වතුරෙ ගිලිලා... හඳ එළිය වැටිලා වතුර දිලිසෙනවා... ඒ සොබ‍ා සෞන්දර්යයෙන් උමතු වීම තමා මගේ ජීවිතේ මං ලබන ලොකුම භාග්‍යය.“

සැබැවින්ම මා විටින් විට අත්විඳින ඒ භාග්‍යය නිසියාකාරව විස්තර කරන්නට මා සමත් වීදැයි මම නොදත්තෙමි.

“හැම තිස්සෙම හැමදේම හොඳින් සිද්ධ වෙන්නෙ නෑනේ. දරුවන්ගෙ දඩබ්බරකම්... දරුවන්ගෙ තාත්තගෙ ඇණුම් බැණුම් එහෙමත් ඔය අතරෙ හිත රිද්දන්නෙ නැද්ද?“

“මොකද නැත්තෙ...? සමහර දවස්වල ගෘහමූලිකයා මට බණිනකොට මං මොකද දන්නවද කරන්නෙ... එයාට මාව දැක්කම කේන්ති යන නිසා මම ඇඳ යට හැ‍ං‍ඟෙනවා. ඉතිං හුඟක් වෙලාවට එයා මාව හොයාගන්නවා...“ ඉන්දිකා අපමණ විස්මයෙන් කෑගෑවාය.

“දෙයියනේ... ඔයා ඇඳ යට හැං‍ඟෙනවා?“

“මං ආස නෑ අනේ රණ්ඩු වෙන්න. ටික වෙලාවකට මාව නොදැක හිටියොත් එයාගෙ කේන්තිය නිවෙයි කියලා මට හිතෙනවා. ඉතිං තිස්සෙම කට්ටිය යන එන ළමයි ඇ‍ඟේ හැප්පෙන ගෙදරක මම වෙන කොහේ හැ‍ං‍ඟෙන්නද....?“

මිතුරු නෙත් අරක්ගත් දයානුකම්පාව මා මුව'ඟ සිනා පහළ කරවයි.

“හැම තිස්සෙම එහෙම වෙන්නෙ නෑ අනේ. අනිත් එක ඒකත් පස්සෙ හිනාවෙන්න රස විඳින්න පුළුවන් අත්දැකීමක්නෙ...“

“ඔයාට මහ පුදුම ඉවසීමක්නෙ තියෙන්නෙ.... රෑට රෙදි හෝදනවා... මහ රෑත් උයනවා.... දවල්ට ඇඳන් යට හැං‍ඟෙනවා.... අර ඉවරයක් නැතිව කතා කරන බාප්පව ඉවසනවා...“ ඉන්දිකා නොඉවසිල්ලෙන් හඬ ගෑවාය.

“ගෙදරක වැඩත් අනිත් අයගෙ පුංචි පුංචි දුර්වලකමුත් ඉවසන එක සුන්දර ව්‍යායාමයක් නෙමේද...? අපි ව්‍යායාම කරලා ඇඟපත හැඩකර ගන්නවා වගේම හිතටත් ඕන නැද්ද වෙහෙසකර ව්‍යායාම? ගැටුම් මඟහැර ගැනීමෙන් අත්පත් කරගන්න පුළුවන් සාමයත් සැහැල්ලුවත්, සැනසීමත් මොන තරම් විශාලද බලගතු ද...“ මගේ යෙහෙළියන් නිහඬව හිස් සැලුවෝය.

මගේ සැමියා හා ඔහුගේ සහෝදර සහෝදරියන් වෙත කනගාටුව ප්‍රකාශ කිරීමෙන් පසු ඉන්දිකා ද සන්ධ්‍යා ද ආපසු ගමන් ඇරඹුවෝය. නැවත ඔවුන් සමඟ කතා කරන්නට මට ඉඩ ලැබුණේ අවමංගල්‍ලයෙන් පමණක් නොව සත්දින පිංකමෙන් ද අනතුරුවය.

“අපි කිසිම කරදරයක් නැතිව ආපසු ගියා අනේ...“

ඉන්දිකාගේ මියුරු හඬෙහි ගැබ් වූ ප්‍රබෝධවත් බව මා වෙත ද සොම්නස කැන්දයි.

“මම මගෙ දිනපොතේ ලොකු අකුරින් ලිව්වා ඔයා විජ්ජාකාරියක් කියලා....“ යි ඇය කී කල මම පුදුමයට පත්වීමි.

“මම දුර්වල අදක්ෂ ගෑනු මනුස්සයෙක් මිසක මොන විජ්ජාකාරියක් ද අනේ....?“

“නෑ... ඔයා විජ්ජාකාරියක්... ළමයි ගොඩක්... කේන්ති ගන්න ගෘහමූලිකයෙක්... එතකොට අසල්වැසියො, නෑයෝ, හිතවත්තු ඒ සේරම ඉවසගෙන හිනාවෙවී ඉන්න ඒ දහසකුත් වැඩ අස්සෙ පොතුත් ලියන ඔයා විජ්ජාකාරියෙක් නොවෙන්නෙ කොහොමද? මම මැල්කම්ටත් පෙන්නුවා ඒක...“

“හානේ... ඉතිං එයා මොකද කීවේ...?“

මම තරමක විළියෙන්ද අපමණ උද්‍යෝගයෙන්ද ඇසුවෙමි.

“එයා ඔළුව හොලවලා ඒක නං ඇත්ත තමා කිව්වා...“ යි කී ඉන්දිකා හඬ නඟා හිනැහුණාය. මම ද ඇය සමඟ එක්ව හිනැහුණෙමි.

ජීවිතය ත්‍යාගයක් සහ අභියෝගයක් නොවන්නේද...? විශේෂයෙන් කුටුම්භය වූ කලී මහා ගංගාවකි. සැඩ දියෙහි නොගිලී තරණය කිරීම පහසු නැත. දයාව, කරුණාව සහ අවබෝධය ඒ සඳහා අපට උපකාර වන බව මම විශ්වාස කරමි. වෙනස් පෞරුෂ දෙකක් එක වහලක් යට එක්ව ජීවත්වීම ද දරුවන් සමඟ කටයුතු කිරීම ද කිසිසේත් සුමට හා සුලලිත අත්දැකීමක් නොවේ. එහෙත් උදාවන හැම දවසක්ම අභියෝගයක් බව හඟින්නේ නම් ඒ දවස සාමයෙන් සහ සහනයෙන් ගෙවා දමන්නට අදිටන් කරගන්නේ නම් රාත්‍රිය වඩා සුවබර වනවා නිසැකය. අනෙකා ඉවසීම ජීවිතයේ ප්‍රබලම අභියෝගය බව අමතක නොකරමු.

ශාන්ති දිසා­නා­යක


නව අදහස දක්වන්න

Or log in with...