දිරියෙන් නැගී සිටින හිඟුරාන සීනි කම්හල | දිනමිණ

දිරියෙන් නැගී සිටින හිඟුරාන සීනි කම්හල

රවීන්ද්‍ර මැදගෙදර-අම්පාර සමූහ

හිඟුරාන සීනි ආයතනය අවුරුදු 10ක් පමණ වසා තිබුණි. එදා දහස් ගණනක් අසරණ විය. උක් ගොවීන්, සේවකයන්, ට්‍රැක්ටර් හිමියන්ගේ ජීවන මාර්ගය වැසී ගියහ.

එදා හිඟුරාණ නගරය පාළු වුණා. තිබණු කඩ වැහුණා. මේ සියල්ල වුණේ එක් පුද්ගලයකුගේ පොරොන්දුවක් ඉෂ්ට කරන්න ගිහින්. එදා මම විතරයි මේ ආයතනය රැක ගන්න ඕනේ. නැවත විවෘත කරන්න ඕනේ කියා පාර්ලිමේන්තුවේ කතා කළේ . දිස්ත්‍රික්කයේ හිටපු එකම දේශපාලනඥයෙක්වත් කතා කළේ නැහැ. මට සහයෝගය දුන්නේ නැහැ. නමුත් කොහොමහරි මේ ආයතනය පසු කාලයක දී පුද්ගලික සමාගමකට දුන්නා. ඔවුන් මෙය ගොඩනඟන්න රුපියල් මිලියන 3000ක් විතර වියදම් කළා. පුද්ගලික ආයතනයක් ගත්තා වුණත් රජයෙන් කළා වුණත් ඒ මුදල් වියදම් කරන්න ඕනේ. මේ ඇමැති පී දයාරත්න මහතාගේ හඬයි.

ගල්ඔය වැවිලි සමාගමේ සහ දමන කොට්ඨාසයේ යම්කිසි දියුණුවක් ලබා තියෙනවා. දේශපාලන වාසි තකා මෙම ආයතනය වහන්න දෙන්න බැහැ. වී වගා කළ යුතු ඉඩම්වල වී වගා කරන්න ඕනේ. උක් වගා කළ යුතු ඉඩම්වල උක් වගා කළ යුතුයි. හැමදෙනාම හිතාගන්න කවුරු මොන බේගල් කිවුවත් විරෝධතා පැවැත්වූවත් මේ ඉඩම් අයිති රජයටයි. ඒවායේ කාවදාවත් තමන්ට හිතෙන හිතෙන දේවල් කරන්න බැහැ. මේ සමාගම මේක දාලා ගියත් මේ ඉඩම් ඔවුන්ට ගෙනියන්න බැහැ. ඒවා රජයට අයිතියි. ඒවායේ උක් වගා කළ යුතුමයි. එය මේ ඉඩම් දෙනකොට ගත්ත නීතිමය තීරණයි.

මෙම රැස්වීම අමතා ගල්ඔය වැවිලි සමාගම විධායක අධ්‍යක්ෂ ගාමිණි රත්නායක මහතා කතා කරමින් මෙසේ පැවසීය. මේ ආයතනයේ අපි ගොඩ ගත්තේ ඉතාම අමාරුවෙන්. දැන් අපි රටට අවශ්‍ය සීනිවලින් 10%ක් නිෂ්පාදනය කරනවා. අක්කර 4600ක් පමණ උක් වගා කරනවා. අක්කර 12500ක් අපිට වගා කරන්න පුළුවන්. රුපියල් මිලියන 600ක් පමණ වැය කරලා ස්කාගාරය ආරම්භ කළා. අවුරුදු 60ක් පමණ තිස්සේ ප්‍රෙද්ශයේ ජනතාවට ප්‍රශ්නයක්ව තිබූ 'බැගෑස්' (අළු) ප්‍රශ්න රුපියල් මිලියන 90ක් පමණ වියදම් කරලා විසඳුවා. අපද්‍රව්‍ය වශයෙන් පිටකරන දේවලින් අපි කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය කරනවා. ගොවියන් 7000ක් පමණ සිටිනවා. නිෂ්පාදන වාරයේ දී ප්‍රදේශයේ ට්‍රැක්ටර් 500ක් පමණ සේවයේ යොදවනවා. ගොවියන්ට 6.5% ක පොළියට ණය ලබා දෙනාවා. උක් ටොන් 1කට රුපියල් 5000ක් ගොවනවා. අපේ සේවකයන්ට හොඳ වැටුපක් ලබා දෙන්න. මේ අතර තමයි ජනතා විමුක්ති පෙරමුණ ඇවිල්ලා සමහර ගොවි ජනතාව බොරුවෙන් මුලා කර ආයතනයේ තටයුතු කඩා කප්පල් කරන්න හදන්නේ. ඔවුන් කවදාවත් රටේ හොඳ වැඩක් කර නැහැ. කඩාකප්පල් වැඩම තමයි කළේ. ඒ එක්කෙනෙකුටවත් බිම් අගලකවත් වී වගා කරන්න අපි ඉඩ දෙන්නෑ.

මෙම රැස්වීම අමතා මුවංගල රාජමහා විහාරාදිපති ශාස්ත්‍රපති ඇතිමලේ ආනන්ද හිමි, හිටපු පළාත් සභා මන්ත්‍රී ඩබ්.ජි. වීරසංහ, හිටපු පළාත් සභා මන්ත්‍රී මංජුල ප්‍රනාන්දු, ගොවි සංවිධානයේ සභාපති ලලිත් ගුණරත්න, ප්‍රාදේශීය සභා සභාපති මංගල ගුණවර්ධන, ප්‍රා දේශීය සභා මන්ත්‍රී කීර්ති රණසිංහ යන මහත්වරුන් ද කතා කළහ.

නව අදහස දක්වන්න