අගවිනිසුරු...! | දිනමිණ

අගවිනිසුරු...!

අභිනව අගවිනිසුරුවරයාගේ මංගල දේශනය බොහෝ දෙනකුගේ අවධානයට ලක් වී ඇත. අගවිනිසුරුවරයා මේ දේශනයෙන් ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රය ගැන වැදගත් කරුණු කිහිපයක් හෙළිදරව් කරන අතර ම එම ක්ෂේත්‍රයේ ප්‍රධානියා හැටියට තම අපේක්ෂාව ද සමාජගත කර තිබේ. අගවිනිසුරු නලීන් පෙරේරා මහතා කියා සිටින්නේ තම පත්වීම ජ්‍යෙෂ්ඨත්වයට අනුව හා දේශපාලන බලපෑම්වලින් තොරව සිදු වූ එකක් බව ය. එය මහජනයා විශ්වාස කරන සත්‍යයෙකි. අගවිනිසුරු පත්කිරීම සඳහා වත්මන් ආණ්ඩුව අනුගමනය කළ ක්‍රියාවලියෙන් ඒ බව පැහැදිලි වෙයි. දීර්ඝ කාලයකට පසුව දේශපාලන බලපෑම්වලින් තොරව අගවිනිසුරුවරයකු පත්කරගත් අවස්ථාවක් ලෙස මෙය ඉතිහාසගත වනු ඇති බව අපගේ පිළිගැනීම ය.

අගවිනිසුරු නලීන් පෙරේරා මහතා සිය අනාගත අපේක්ෂාව ලෙස ප්‍රධාන සාධක දෙකක් දක්වා ඇත. පළමුවන්න නීතියේ ස්වාධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා කැපවීම ය. තවත් පැහැදිලිව කිවහොත් නීතියේ ස්වාධීනතාව ආරක්ෂා කිරීම සඳහා කටයුතු කිරීම ය. දෙවන්න රටේ පීඩිත පන්තියේ නැතහොත් දිළිඳු ජනතාවගේ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීම ය. මේ සාධක දෙකෙන් ම පෙනී යන්නේ නීතියේ ආධිපත්‍යය පවතින රටක් හැටියට ශ්‍රී ලංකාව පත්කිරීමට අගවිනිසුරුවරයා මැදිහත් වී ක්‍රියා කරන බවට ප්‍රතිඥාවක් හෙවත් පොරොන්දුවක් ලබා දී ඇති බව ය. එය ජාත්‍යන්තරයේ පවා අවධානයට ලක්වන කාරණයක් සේ සැලැකිය හැකි ය. කොයි අතින් බැලුව ද මේ දේශනයෙන් පෙනී යන්නේ සාධනීය තත්ත්වයකි.

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මෑතක දී කියා සිටියේ ඉන්දියාව යහපත් ජීවිතයක් ගතකිරීම සඳහා සුදුසු රාජ්‍යයක් නො වන බව ය. එය අභියෝගයට ලක්වන හා විවේචනයට හසුවන කාරණයක් විය හැකි ය. එහෙත් වැදගත් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට එබඳු ප්‍රකාශයක් කිරීමට ඉඩ - ප්‍රස්ථාව ඉන්දියාවේ ඇති බව ය. දේශපාලන බලපෑම් අනුව නීතිය හා නීතිය ක්‍රියාත්මක කරන ආයතන හසුරවන්නේ නම් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට එබඳු ප්‍රකාශයක් කිරීමේ හැකියාව අහිමි වන්නේ ය. ශ්‍රී ලංකාවට ද එබඳු පසුබිමක් උදා වී ඇතැ’යි සිතන්නට පුළුවන් කරුණු හා සාධක තිබේ. හිටපු ඇමැතිවරයකු වූ ජොන්ස්ටන් මහතාගේ නඩු විභාගයේ තීන්දුව ඒ සඳහා නිදර්ශනයක් ලෙස ගත හැකි ය.

මෙතෙක් ශ්‍රී ලංකාව නීති ක්ෂේත්‍ර‍ය සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය විමසන විට ද; එම ක්ෂේත්‍රයේ තනතුරුවලට පුද්ගලයන් පත්කිරීම සම්බන්ධයෙන් විමසා බලන විට ද පෙනීයන්නේ දේශපාලන අධිකාරිය නීතියට හා නීතියේ ස්වාධිපත්‍යයට ඉහළින් සිටි බව ය. නීති ක්ෂේත්‍රයේ තනතුරු සඳහා ජ්‍යෙෂ්ඨත්වය නො සැලකීම, සුදුසුකම් නොසලකා හැරීම හා දේශපාලන පක්ෂග්‍රාහිත්වය පමණක් සැලැකිල්ලට ගැනීම එදා පැවැති ක්‍රමය බව කව්රුත් දනිති. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයේ අගවිනිසුරුවරයකු පත් කිරීම ගැන බලවත් විවේචන පැවැතිණි. එලෙස ම මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ අගවිනිසුරුවරියක ඉවත් කිරීම ගැන බලවත් විවේචන පැවැතිණි. මේ සිද්ධි මහජනයා හොඳින් දන්නා නිසා නැවත - නැවත සිහිපත් කිරීම අර්ථ විරහිතය.

රටේ නීති පද්ධතිය ආවරණය කරනු ලබන විනිසුරුවන් සියලු දෙනා ස්වාධීන හා බුද්ධිමත් පුද්ගලයන් විය යුතුය යන්න මහජනයාගේ අභිමතය වන්නේ ය. ඔවුන්ගෙන් කිසිවකු තම පෞද්ගලික අභිමතාර්ථ හෝ දේශපාලන අධිකාරියේ අභිමතාර්ථ හෝ ඉෂ්ට - සිද්ධ කිරීමට යන්නේ නම්; නීතියේ ස්වාධීනතාව මුළුමනින්ම බිඳවැටෙනු ඇත. මීට අදාළ අත්දැකීම් පාදක කොට ශ්‍රී ලංකාවේ රචකයන් පොත් කිහිපයක් ලියා ඇත. එයින් එක පොතක සඳහන් වන්නේ මහාධිකරණ විනිසුරුවරයකුට චූදිතයකු අසූචි ප්‍රහාරයක් එල්ල කරන බව ය. එය ආන්දෝලනාත්මක සිද්ධියක් වන අතර පසුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවධානයට ලක් වී පරීක්ෂණයක් ද පවත්වා ඇත.

නීතිය වල්වැදුණු අවස්ථා පිළිබඳ ඕනෑ තරම් උදාහරණ ශ්‍රී ලංකා‍ෙවන් උපුටාගත හැකි ය. එහෙත් ඒවා අතීත කතා ලෙස බැහැර කළ හැක්කේ මෙතැන් සිට අධිකරණය හා ඊට අදාළ ආයතන ස්වාධීන ලෙස ක්‍රියා කරන්නේ නම් පමණි. නව අගවිනිසුරුවරයා මෙරට නීති ක්ෂේත්‍රයේ ප්‍රධානියා හැටියට ඉදිරිපත් කරන අදහස්වලින් පෙනී යන්නේ ඉදිරියට නීතියේ ස්වාධිපත්‍යය ආරක්ෂා කිරීමට කැපවන බව ය. ඊට අදාළ පසුබිමක් ද ආණ්ඩුව විසින් නිර්මාණය කර තිබේ. අධිකරණ පද්ධතියට අවශ්‍ය පහසුකම් සපයන අතර ම ඊට දේශපාලන බලපෑම් නොකර සිටීමට ආණ්ඩුව වගබලා ගෙන තිබේ. එය හොඳ තත්ත්වයකි. නීතියේ ආධිපත්‍යය නැති රටක ජීවත්වීම පාපයක් බව බොහෝ දෙනා කියති.

අගවිනිසුරු නලීන් පෙරේරා මහතාගේ අවධානයට ලක් වී ඇති තවත් ප්‍රධාන මාතෘකාවක් වන්නේ අල්ලස් හා දූෂණ ක්‍රියාවලිය යි. ඇතැම් විචාරකයන් ශ්‍රී ලංකාව හඳුන්වා ඇත්තේ අල්ලස් හා දූෂණවලට කප් ගැසූ රටක් හැටියට ය. නොයෙක් සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ අපේ බොහොමයක් ආයතන දූෂණයෙන් පිරී ඇති බව ය. රාජ්‍ය ආයතන අතරින් පොලිසිය පවා දූෂණ චෝදනාවලින් මිදී නැත. අගවිනිසුරුවරයා දූෂණය හා අල්ලස හඳුන්වා ඇත්තේ රට විනාශ කරන ප්‍රධාන සතුරා හැටියට ය. අගවිනිසුරුවරයාට රට ගැන පුළුල් අවබෝධයක් ඇති බව ද ඔහු රටේ ආයතන හා පුද්ගලයන් විනිවිද දකින බව ද මේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි. නීතිය ඔස්සේ අල්ලස් හා දූෂණය වැළැක්විය හැකි නම් මේ රට වැඩිකල් නො යාම දියුණුවේ මාර්ගයට ප්‍රවේශ වනු ඇත.

අගවිනිසුරුවරයා නීති පද්ධතියේ ප්‍රධානියා වන්නේ වුව ඔහුට පමණක් නීතියේ ආධිපත්‍යය තහවුරු කළ හැකි නොවේ. නීතියට අදාළ ආයතන සේ ම තනතුරු දරන පුද්ගලයන් ද ඔහුගේ ක්‍රියාවලියට පූර්ණ සහයෝගය ලබාදිය යුතුය. ප්‍රධාන වශයෙන් දේශපාලන අධිකාරිය දැනට ගෙන යන ප්‍රතිපත්ති දිගට ම පවත්වාගත යුතු ය. එපමණක් නො ව; අගවිනිසුරුවරයාගේ සාධාරණ හා යුක්තිසහගත වැඩපිළිවෙළට ජනතාවගේ සහයෝගය ද ලැබිය යුතු ය. අපි යුක්ති සහගත සමාජයක් වෙනුවෙන් බලාපොරොත්තු දල්වාගෙන සිටිමු. එලෙසම නව අගවිනිසුරුවරයාට සුබ පැතුම් එකතු කරමු.


නව අදහස දක්වන්න

Or log in with...