කුසල්ගේ ක්‍රිකට් අකුසලය අවසන් | දිනමිණ

කුසල්ගේ ක්‍රිකට් අකුසලය අවසන්

  • පිතිකරණයේ පුනර්ජීවයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 219ක ජයක් 

 ප්‍රින්ස් ගුණසේකර

සංචාරක එංගලන්ත පිල සමග පැවැති පස්වැනි, අවසන් එක්දින ජාත්‍යන්තර තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ශ්‍රී ලංකාවට ලකුණු 219ක දැවැන්ත ජයක් හිමි වෙයි. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර එහි ප්‍රතිඵලය කඩුලු 6කට ලකුණු 366ක් ලෙස ඉහළ එසැවුණි. ජයග්‍රහණය උදෙසා ඕවරයකට 7. 32ක වේගයකින් ලකුණු 367ක ඉලක්කයක් කරා යා යුතු එංගලන්තයට ලබාගත හැකිවූයේ ඕවර් 26.1කදී කඩුලු 9ක් දැවී ලකුණු 132ක් පමණි. අධික වර්ෂාව හේතුවෙන් අත්හිටවූ තරගය නැවැත ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයකට ක්‍රීඩාංගණය තෙත බරිත වූ හෙයින් ඩක්වර්ත් ලුවිස් න්‍යායේ පිහිට පැතීමට විනිසුරුවෝ තීරණය කළහ.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක ධාරා මැද ඊයේ රාත්‍රියේ නිමාවූ මෙම තරගයේදී වේගය, පාලනය හා දෝලනය යන අංශ තුනෙන්ම සාර්ථකවූ ශ්‍රී ලංකා වේග පන්දු බළ ඇණියේ කසුන් රජිත කඩුල්ලක් හා දුෂ්මන්ත චමීර කඩුලු 3ක් දවාගෙන ආරම්භයේදීම එල්ල කළ පීඩනයට අමතරව, දඟ පන්දු යැවූ අකිල ධනංජය කඩුලු 4ක් හා ධනංජය ද සිල්වා කඩුල්ලක් දවා එංගලන්ත ඉනිම සුනු විසුණු කළහ. බෙන් ස්ටෝක් ලකුණු 67ක් හා මොයින් අලී ලකුණු 37ක් වාර්තා කිරීමට අමතරව අනෙක් පිතිකරුවෝ ලකුණු දහයේ සීමාව පසු නොකළහ.

වසර 2016 ජූනි මාසයේදී අයර්ලන්තයට එරෙහිව ලකුණු 377ක් වාර්තා කළ පසු ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ තරග 31කදී ලකුණු 300ට වඩා වාර්තාවූ දෙවැනි අවස්ථාව මෙයවීම කැපී පෙණු අතර මාස 29කට පසුව වාර්තා වූ වැඩිම එක්දින ලකුණු එකතුව ද මෙය වේ.

දිගින් දිගටම පරාජයවී සිටි ශ්‍රී ලංකා පිල යළිත් පුනර්ජීවය ලැබූ මෙම තරගයේදී, එක්දින තරග ඉතිහාසයේ වාර්තා කළ හයවැනි වැඩිම ලකුණු එකතුව හා ශ්‍රී ලංකාවේදී වාර්තා වූ වැඩිම එක්දින තෙවැනි ලකුණු එකතුව ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් වූවේය. මෙයට පෙර 1996දී කෙන්යාවට එරෙහිව මහනුවර අස්ගිරිය පිටියේදී කඩුලු 5කට ලකුණු 398ක් හා 2015දී පාකිස්තානයට එරෙහිව හම්බන්තොටදී කඩුලු 4කට ලකුණු 368ක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උපන් බිමේදී වාර්තා කළහ.

මෙම එක්දින තරගාවලියේ පසුගිය ඉනිම් 4කදී ලකුණු 5ක් ලබා අසාර්ථකව සිටි කුසල් මෙන්ඩිස් පන්දු 33කදී හයේ පහර 6ක් හා හතරේ පහරක් සමග යළි නැගී සිටිමින් ලකුණු 56ක් ලබා දිනයේ වර්ණවත් ඉනිමක් දියත් කළේය. 23හැවිරිදි කුසල් මෙන්ඩිස් ලබාගත් 12වැනි අර්ධ ශතකය මෙය වූ අතර ශ්‍රී ලංකා ඉනිමට මුල් පිතිකරුවන් සිවු දෙනාම අර්ධ ශතක දායකත්වයක් සැපයීම කැපී පෙණුනි. දික්වැල්ල හා සමරවික්‍රම යන ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ඊයේ දිනයේ අර්ධ ශතක වාර්තා කරමින් පළමු කඩුල්ලට ලකුණු 137ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගීම ජයග්‍රහණයට හොද තල්ලුවක් විය.

නිරෝෂන් දික්වැල්ල පන්දු 97කදී හතරේ පහර 12ක් සමග ලකුණු 95ක් ලබා තම 8වැනි ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය හා සධීර සමරවික්‍රම පන්දු 48කදී හතරේ පහර 8ක් සමග ලකුණු 54ක් ලබා මංගල එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කළහ. ලොව අංක එකේ එක්දින කණ්ඩායම වූ එංගලන්තයට එරෙහිව සැලසුම් සහගත ඉනිමක් දියත් කළ නායක දිනේෂ් චන්දිමාල් පන්දු 73කදී හයේ පහර දෙකක් හා හතරේ පහර 6ක් සමග ලකුණු 80ක් ලබා 22වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළේය.

ශ්‍රී ලංකා පළමු කඩුලු හතර ලකුණු 300කට දැවී තිබියදී දසුන් ෂානක ලකුණු 18ක්, තිසර පෙරේරා ලක්ණු 11ක්, ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 19ක් හා අකිල ධනංජය නොදැවී ලකුණු 18ක් ලබා ඉනිම හැකි පමණ ශක්තිමත් කළහ.

බලාපොරොත්තු වූවාට වඩා වැඩි පීඩනයක් එල්ලවී සිටි එංගලන්තය මුහුණදුන් මුල්ම ඕවරයේදී ජේසන් රෝයි ලකුණු 4ක් ලබා සිටියදී ක්‍රීඩාගාරයට යැවීමට වේග පන්දු යැවූ කසුන් රජිත සමත්වූ අතර ඊළග දුෂ්මන්ත චමීරගේ පන්දු ඕවරයේදී අනෙක් ආරම්භක පිතිකරු ඇලක්ස් හේල්ස් එල්ල කළ පහරක් පළමු ස්ලිප්හී සිටි කුසල් මෙන්ඩිස් රැකගත් උඩ පන්දුවකින් දැවී ගියේය.

එක් කඩුල්ලක සිට අනෙක් කඩුල්ලේ ඉනි වෙතටම සාර්ථකව පන්දු යැවීමේ නිරතව සිටි කසුන් රජිත එම ඕවරයේ සිවුවැනි පන්දුවේදී නායක ජොස් බට්ලර්ගේ කඩුල්ල දවා ගැනීමට සමත්විය. බට්ලර් පිට ඉන්නට පිටින් ඇදී ගිය පන්දුවට ආරක්ෂාකාරී පහරක් එල්ල කිරීමට යෑමේදී කඩුලු රකින ක්‍රීඩක දික්වැල්ල අතට උඩ පන්දුවක්දී ලකුණු නොලබා දැවී ගියේය. ජෝ රූට් දුෂ්මන්තගේ පන්දුවකට පොයින්ට් හී සිටි සමරවික්‍රම අතට උඩ පන්දුවක්දී දැවී ගිය පසු බෙන් ස්ටෝක් හා මොයින් අලීගේ අවමානයෙන් බේරීමේ ලකුණු 79ක සම්බන්ධතාව ගොඩ නැංවුණි. අනතුරුව එංගලන්ත පිතිකරුවන් සියල්ල එක පෙළට දැවී ගියහ. තරගයේ වීරයා සම්මානය දිනාගනු ලැබුවේ නිරෝෂන් දික්වැල්ල විසිනි.

එංගලන්ත සංචාරයේ එකම විස්සයි 20 තරගය මේ 27වැනි සෙනසුරාදා ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙයි.

ඡායාරූප - සමන් මෙන්ඩිස්

නව අදහස දක්වන්න