සාම සාධක සම්ප්‍රදාය | දිනමිණ

සාම සාධක සම්ප්‍රදාය

වසන්ත ප්‍රිය රාමනායක

හයිටි, චැඩ්, දකුණු සූඩානය, සූඩානය ආදී රටවල සාමසාධක මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී. ශ්‍රී ලංකාව මේ සඳහා එක්වන්නේ පසුගිය යුද ජයග්‍රහණයෙන් පසුවය. 2014 වසරේදී ය. 2009 යුද ජයග්‍රහණය හා මානුෂික මෙහෙයුමෙන් පසු එම අත්දැකීම බෙදාහදා ගැනීම සාමාන්‍යයෙන් ලොව පුරා සිදුවන්නකි. විශේෂයෙන්ම ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදීන් සමඟ සටන් වදිමින් උතුරේ ජනතාව ඉන් මුදාගැනීමට ශ්‍රී ලංකා හමුදාව ඉටු කළ මානුෂික මෙහෙයුම සමස්තයක් වශයෙන් ලොව පුරා පැසසුමට ලක්ව තිබේ.

විවිධ රටවල පැනනගින අර්බුද හමුවේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුමට ඔවුන්ගේ සාමාජිකත්වය දරන සෑම රටක්ම තෝරා ගන්නේ නැත. විනය, මානුෂික කටයුතුවල නිරතවීමේ ගුණාංග, ප්‍රශ්න විසඳීමට හා ක්ෂණිකව මතුවන ගැටලු නිරාකරණය කිරීමට ඇති හැකියාව ආදී කාරණා මෙහිදී සාමසාධක කටයුතු උදෙසා හමුදාවක් සුදුසුකම් ලැබීමට හේතු වේ. ඒ අයුරින් ගත් කල මේ වනවිට ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාලය, ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව, බංගලිදේශය, ඉතියෝපියාව ආදී රටවල් ලොව පුරා සාමසාධක මෙහෙවරේ නිරතව සිටී. වෙනත් අයුරකින් මෙය දැනට ඩොලර් බිලියන 5ක පමණ ආයෝජනයකි.

බංගලිදේශය, නේපාලය, ඉන්දියාව, පාකිස්තානය, රුවන්ඩාව, ඉතියෝපියාව වැනි රටවල 5000ක් පමණ සාමසාධක මෙහෙවරේ නිරතව සිටිති. මෙම පිරිස ලොවපුරා විසිරී සිටින සමස්ත සාමසාධක බලඇණියෙන් 40%ක් පමණ වේ.

හයිටි, චැඩ්, දකුණු සූඩානය, සූඩානය ආදී රටවල සාමසාධක මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී. ශ්‍රී ලංකාව මේ සඳහා එක්වන්නේ පසුගිය යුද ජයග්‍රහණයෙන් පසුවය. 2014 වසරේදී ය. 2009 යුද ජයග්‍රහණය හා මානුෂික මෙහෙයුමෙන් පසු එම අත්දැකීම බෙදාහදා ගැනීම සාමාන්‍යයෙන් ලොව පුරා සිදුවන්නකි. විශේෂයෙන්ම ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදීන් සමඟ සටන් වදිමින් උතුරේ ජනතාව ඉන් මුදාගැනීමට ශ්‍රී ලංකා හමුදාව ඉටු කළ මානුෂික මෙහෙයුම සමස්තයක් වශයෙන් ලොව පුරා පැසසුමට ලක්ව තිබේ. එසේම අතරින් පතර සමහර අයගේ පෞද්ගලික ක්‍රියාකාරකම් නිසා ඇතිවූ සිදුවීම් නැත්තේ නොවේ.

මානුෂික මෙහෙයුම

ඒවා බෙහෙවින්ම දක්නට ලැබෙන්නේ යුද ජයග්‍රහණයෙන් පසුවය. අවසන් මානුෂික මෙහෙයුමෙන් ලක්ෂ 3කට අධික ජනතාවක් මුදාගැනීමත්, අනෙක් රටවලට සාපේක්ෂව ඉතා අඩු සිවිල් මරණ සංඛ්‍යාවක් වාර්තා වීමත් නිසා අපේ හමුදාවේ කාර්යභාරය ජාත්‍යන්තර තලයේ ඇගැයීමකට ලක්විය. මෙම අත්දැකීම බෙදා හදා ගැනීමට 2014 දී අපට ලැබුණු අවස්ථාව සඳහා 600ක පමණ බලඇණියක් එක්සත් ජාතීන්ගේ සාමසාධක කටයුතුවල යෙදවීමට අපට අවස්ථාව සැලසුණි.

මෙය රටක් ලෙස අපට ලැබුණු ගෞරවයකි. යුරෝපයේ වෙසෙන දෙමළ ඩයස් පෝරාවේ ක්‍රියාකාරීන් හා එල්ටීටීඊ සාමාජිකයන් අපේ හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරමින් සිටිය දී මෙවන් අවස්ථාවක් සැලසීම තුළින් ශ්‍රී ලංකා හමුදාවට එල්ල කළ එම චෝදනා වුව ද අනියමින් නිශේධ වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 එක්සත් ජාතීන් හමුවේ අපේ හමුදාවේ දක්ෂකම් ගැන දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළේය. කෙටියෙන් සඳහන් කරන්නේ නම් ජනාධිපතිවරයා අතින් සිදුවූයේ ඒ වනවිටත් සාමසාධක කටයුතු සඳහා නිරතව සිටි ශ්‍රී ලංකා හමුදාව තවදුරටත් අගය කිරීමකි.

සරණාගත කඳවුරු පවත්වාගෙන යෑම, නැවත පදිංචි කිරීම්වල නිරත වෙමින්, පුනරුත්ථාපන කටයුතුවලට සම්බන්ධ වෙමින්, සරණාගතයන් ලෙසින් සිටින ජනතාව නිරාහාරව නොතබමින් පමණක් නොව ඔවුනට මානුෂිකව සලකන ආකාරය ද මෙහිදී ජනාධිපතිවරයා ජාත්‍යන්තර ප්‍රජාවට විස්තර කළේය. මෙසේ ජනාධිපතිවරයාගේ පැහැදිලි කිරීම හා මැදිහත්වීම නිසා එම පිරිස (සාමසාධක හමුදාවට අයත්වන) 600 සිට 1300 දක්වා වැඩිකර ගැනීමට අපට හැකිවිය.

මෙය බිහිසුණු යුද්ධයකට මැදිවී ජයගත් අපේ හමුදාවට ගෞරවයක් මෙන්ම ඊට සහභාගිවන සොල්දාදුවන්ටද අමතර මූල්‍යමය වාසියක් සැලසෙන කාර්යයකි. කෙටියෙන් සඳහන් කරන්නේ නම් බෝනස් එකකි. අඩුම වශයෙන් එක් සාමාන්‍ය සොල්දාදුවකුට මසකට රු. ලක්ෂ 4ක 5ක වැටුපක් ලබාගැනීමේ අවස්ථාවකි.

එසේම ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සාමාජික රටකි. සෑම සාමාජික රටකටම මෙවැනි අවස්ථාවක් හිමි වන්නේ නැත. විශේෂයෙන්ම දියුණු සංවර්ධිත රටවල් මෙවන් සාමසාධක කටයුතු සඳහා සහභාගි නොවන අතර මෙය තුන්වැනි ලෝකයේ ශ්‍රී ලංකාව වැනි රාජ්‍යවලට ලැබෙන අමතර වාසියක් මෙන්ම හොඳ පිළිගැනීමකි.

මේ අතරතුර ලුතිනන් කර්නල් කලණ අමුණුපුර නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට උපදෙස් දී ඇතැයි යන පුවත වාර්තා වන්නේ මේ ඊයේ පෙරේදාය. දැනගැනීමට ලැබෙන ආකාරයට දැනට ශ්‍රී ලංකාවේ කර්නල්වරයාගේ සේවය ලබාගන්නා රටින් ඔහුට චෝදනාවක් නොමැත. මේ සම්බන්ධයෙන් ඇසෝසියේටඩ් පුවත් සේවය උපුටා දක්වන්නේ එක්සත් ජාතීන්ගේ ලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික්ගේ ප්‍රකාශයකි. මේ සඳහා පැමිණිලි කරන්නේ ද. අප්‍රිකාව කේන්ද්‍ර කරගත් “සත්‍යය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය” නම් සංවිධානයකිනි. මෙම සංවිධානයේ උපදේශිකාවක ලෙසින් කටයුතු කරන්නේ යස්මින් සූකා මහත්මියයි. ඇය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙසින් ප්‍රකටය.

ඒ නිසා මේ සිදුවෙමින් පවතින්නේ අපේ රටේ සමහර හමුදා ප්‍රධානීන්ට දෙමළ ඩයස්පෝරාව මඟින් එල්ල කරනු ලබන පොදු චෝදනා පත්‍රයට අනුව යමින් ලුතිනන් කර්නල් කලණ අමුණුපුරට ද චෝදනාවක් එල්ල කිරීමය. ඒ සඳහා ඔවුන් යස්මින් සූකා උපදේශක්වයක් දරන සංවිධානයක් පාවිච්චි කර තිබේ. මෙවන් චෝදනා සාමසාධක හමුදාවල නිරතවන සමහර හමුදා නිලධාරීන් ඉලක්ක කර එල්ලවිය හැකිය. එය අලුත් දෙයක් නොවේ. වෙනත් රටවලින් සේවයට පැමිණ සිටින හමුදා ඒකකවල අයට ද මෙසේ චෝදනා එල්ලවීම පොදු කරුණකි. එය වත්මන් රජයේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානියක් ලෙසින් ප්‍රකාශ නිකුත් කිරීම පදනම් විරහිතය. පක්ෂයක් විපක්ෂයට ගිය විට අතට අහුවන ඕනෑම කරුණකින් පෙරළා බලයේ සිටින රජයට පහර දීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. ඒ ගැන කලබල විය යුතු නැත.

බොරු චෝදනා

ලුතිනන් කර්නල් කලණ අමුණුපුර සම්බන්ධයෙන් ලිඛිත චෝදනා පත්‍රයක් තවමත් ඉදිරිපත් වී නොමැත. ඔහු හමුදා අධිකරණවලින් වරදකරුවෙක් වී ඇති හෝ දඬුවම් ලබා ඇති නිලධාරියෙක් ද නොවේ. අප දන්නා පරිදි එල්ටීටීඊයෙන් මේ රට නිදහස් කර ගැනීම උදෙසා සටන් කළ රණවිරුවෙකි. එවන් අයකුට බාහිර වශයෙන් විවිධ චෝදනා එල්ල වන්නේ නම් කඩිනමින් ඔවුන් පිළිබඳ පරීක්ෂණ පවත්වා නිදොස් කිරීම බලධාරීන්ගේ වගකීමකි.

එසේම බාහිර සංවිධානවලට අපේ රටේ රණවිරුවන්ට බොරු චෝදනා එල්ල කිරීමට ද ඉඩ දිය යුතු නැත. එහිදී ද රටක් ලෙසින් ඉදිරිපත් වී මේ අයගේ නිර්දෝෂීභාවය තහවුරු කළ යුතුය. එක් හමුදා නිලධාරියෙක් ඔහුගේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් නිසා කැඳවීම හෝ කැඳවා ගැනීමට සිදුවීම හමුදා අනුඛණ්ඩයක් කැඳවීමට තරම් ප්‍රචාරයක් ලබාදීම හා ඊට විපක්ෂයේ සමහර කොටස් මැදිහත්වීම රටක් ලෙසින් ගත් කල සුබදායක නොවේ.


නව අදහස දක්වන්න

Or log in with...