පුවරු පාලිය | දිනමිණ

පුවරු පාලිය

යාපනය ඇතුළුව උතුරු පළාතේ රාජ්‍ය ආයතන, මංමාවත් සහ ගම්මානවල නාමපුවරු වෙනස් කිරීම පදනම් කරගනිමින් දකුණේ ජාතිවාදයට ආමන්ත්‍රණය කිරීමේ වෑයමක් මේ වන විට ආරම්භ වී තිබේ.

එක් වෙබ් අඩවියක එම පුවත වාර්තාකර තිබුණේ මෙසේය.

“උතුරු පළාත් ප්‍රධාන ඇමැතිවරයා මේ දිනවල කටයුතු කරන ආකාරය අප රටේ සංහිඳියාවට යළිත් බලපෑම් කරන සුළු විදිහක් බව පෙනී යයි. ආසන්න දිනවලදී හෙතෙම උතුරේ හමුදා ස්මාරක ඉවත් කරන ලෙස ජනපතිට ලිපියක් මඟින් දැනුම් දී තිබුණි. කෙසේ වෙතත් මොහුගේ ක්‍රියාකලාපය හරහා රටේ සාමයට විශාල බාධාවක් ඉදිරියේ දී ඇතිවිය හැකි බව කාගෙත් මතය වී තිබේ.”

එවැනි තත්ත්වයක් යටතේ යාපනයේ සියලුම මංමාවත් හා ගම්මානවල නම්, නාමපුවරුවල යෙදීමේදී දෙමළ නම් දෙමළෙන් ඇති ආකාරයට, දෙමළ භාෂාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් ප්‍රදර්ශනය කළ යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් යාපනයේ සියලුම පරිපාලන නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ ඔහු තුළ වූ අත්තනෝමතික බව ඉස්මතු කරමිනි.

“ යාපනය ඇතුළු උතුරේ බොහෝ ගම්මානවල නම්, නාමපුවරුවල යෙදීමේදී දෙමළ නම් සිංහලයට පරිවර්තනයකොට යොදා ඇතත් එය විශාල වරදක් බව ද ප්‍රධාන අමාත්‍යවරයා පවසා තිබේ.”

“ ඒ සඳහා උදාහරණ ගණනාවක් දී ඇති ප්‍රධාන අමාත්‍යවරයා, යාපනයේ නාගදීපයක් නැති බවත් ඇත්තේ නයිනතිව් පමණක් බවත් නිලධාරීන්ට පෙන්වා දී ඇති අතර නාගදීපයට යන පාර සම්බන්ධයෙන් යාපනයේ එක් ස්ථානයක සවිකොට ඇති නාමපුවරුව සම්පූර්ණයෙන්ම වැරදි බව ද පවසා තිබේ.”

“ වහාම මෙම නාමපුවරු නම් කිරීම ඉතා ඉක්මනින් සිදුකරන ලෙස උපදෙස් දී ඇති ප්‍රධාන අමාත්‍යවරයා නාමපුවරුවල නම් යෙදීමේදී උතුරේ වැඩි ජනගහනයක් දෙමළ නිසා මුලින්ම ඒ නම් දෙමළ භාෂාවෙන් ද, විදේශීය සංචාරකයන් මෙම පළාත්වලට පැමිණෙන නිසා දෙවනුවට ඉංග්‍රීසි භාෂාවෙන් ද තුන්වෙනුව සිංහලෙන් ද නාමපුවරු ලකුණු කරන ලෙස දැනුම් දී ඇත.”

මුලින්ම කිව යුත්තේ සංහිඳියාව ආරක්ෂා කරන්නට ලියැවෙන ලියැවිල්ලක මුහුණුවරින් ඉදිරිපත් කළද ඉහත ලියැවිල්ලෙහි භාෂාව හා රිද්මය විමසිල්ලෙන් පරීක්ෂා කරන්නකුට වැටහෙන්නේ, එය සිංහල ජනතාව අතර කැළඹීමක් ඇතිකිරීමේ අපේක්ෂාව ඇතිව ලියන ලද්දක් බවය. විග්නේෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා ඊට පෙර උතුරේ යුද ස්මාරක ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණු බව වැනි දේ මතක් කිරීමේ රහස ඇත්තේ එතැනය. තවත් අතකින් ගත් කල යාපනයේ දෙමළ නාමපුවරු සම්බන්ධව ලියැවෙන සටහනෙහි සිංහල අක්ෂර වින්‍යාසය නිවැරැදි නැත. සියලු වෙනුවට “සියළු” යෙදීම බලපෑම් කරනසුලු වෙනුවට බලපෑම් කරන සුළු කියා ලිවීම නිදසුන්ය.

උතුරේ නාමපුවරුවල සිංහල වැරැදි පෙන්වන්නට උනන්දුවන තරමට ඉහත සංහිඳියා ප්‍රිය ලියන්නා තමන්ගේ මවුබසෙහි එනම් සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාසය නිවැරැදි කරගන්නට උත්සාහ නොකිරීම වරදකි. එපමණක් නොවේ, ඉහත උපුටනයේ “වහාම ඉතාම ඉක්මණින්” යන යෙදුම බලන්න. වහාම යනු ඉතාම ඉක්මනින් යන්න බව ලියන්නාට අමතක වී ඇති සැටියකි.

විග්නේෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දී ඇති එක් කරුණක් වන්නේ, යාපනයේ සහ උතුරු පළාතේ නාමපුවරුවල දෙමළ නම් සිංහලට පරිවර්තනය කර යොදා ඇති බව සහ එය වරදක් බවයි. ඒ සඳහා ඔහු උදාහරණ රැසක් පෙන්වා දී ඇති බව ඉහත උපුටනයේ සඳහන් වේ. ඉන් එකක් වන්නේ නාගදීප යන්නයි. දෙමළෙන් නයිනතිව් මිස නාගදීපයක් නොමැති බව විග්නේෂ්වරන් ප්‍රධාන ඇමැතිවරයා කියයි. දෙමළ ජනතාවට නාගදීප නයිනතිව් වන්නේ නම් නිවැරැදි ආකාරය එය දෙමළ බසින් නයිනතිව් වශයෙන් තැබීම ය.

උතුරු පළාතේ නාමපුවරු වෙනස් කිරීමේදී සිදුව ඇති වරද වශයෙන් වැටහෙන්නේ නයිනතිවු නාගදීප කළ ආකාරයටම දෙමළ නම් සිංහලයෙන් ලියන්නට යාම බව පෙනේ. මොන්නිපුලම් පාරට “මොන්නිපුලම් වීථි” යනුවෙන් දෙමළෙන් ලියා “මෞන්දිපුලම්” යන්න දෙමළ හැඩයේ අකුරක් ද සහිතව ලියැවෙන්නේ එහෙයිනි.

ඉංග්‍රීසි බසින් මොන්දිපුලම් පාර ලියා ඇත්තේ ද මොන්තිපුලම් රෝඩ් යනුවෙන් නොව මොන්තිපුලම් වීථි යනුවෙන් ඉංග්‍රීසි අකුරිනි. ඩිල්ගේ ජීවිත සංරක්ෂණය පිළිබඳ දෙපාර්තමේන්තුව යන්න කිසිදු තේරුමකින් තොර පරිවර්තනයකි. ලංකා විදුලිබල මණ්ඩලයේදී ලංකා යන්න සිලෝන් වී ඇත්තේ ද දෙමළ ගෙඩි පිටින් සිංහල කරන්නට යාමෙනි. උතුරු පළාතේ මහ ඇමැතිවරයාට මෙන්ම එහි නිලධාරීනට ද ආවේගය තරමට බුද්ධිය නොමැති බවට ඒවා සාක්ෂි දෙයි.

ඉහත නාමපුවරු අනුව සිංහල සහ ඉංග්‍රීසි භාෂාවනට බරපතළ අසාධාරණයක් සිදුව තිබේ. සරල නිදසුනක් දක්වන්නේ නම්, උතුරට විදේශ සංචාරකයන් පැමිණෙන බැවින් නාමපුවරුවල දෙවන පෙළ ඉංග්‍රීසි විය යුතු යැයි විග්නේෂ්වරන් මහතා කියා ඇතත් විදේශිකයකු යාපනයේදී සොයනු ඇත්තේ මොන්තිපුලම් රෝඩ් මිස මොන්තිපුලම් වීථිය නොවේ.

සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ අලුත් නාමපුවරුවල වැරදි නිවැරදි කරන ලෙස තමා ඉල්ලීමක් කළ බවයි. එසේම, සිංහල නම්වලත් දෙමළ භාෂාවෙන් සඳහන් නම්වලත් වැරදි පවතින බව සුමන්තිරන් මහතා පවසා තිබේ.

සුමන්තිරන් මහතා පවසන පරිදි දෙමළ භාෂාවෙන් සඳහන් නම්වලත් වැරැදි පවතින්නේ නම්, නම් අලුතින් ලිවීමේදී උතුරු පළාත් සභාව එකක් කඩතොලු මකාගන්නට ඉඳුරුවේ ආචාරියා ළඟට ගිය තැනැත්තාට සිදුවූ අකරතැබ්බයට මුහුණ දී ඇති බව පෙනේ. ඒ අනුව දැන් යාපනයේදී දෙමළ, සිංහල, ඉංග්‍රීසි සියල්ලන්ම අතරමං වනු ඇත.

උතුරේ නාමපුවරු ගැන වෙහෙසෙන දකුණට අමතක වී ඇති කරුණක් නම් ‍දකුණේ නාමපුවරුවල ඉංග්‍රීසි යෙදුම්ය. ඔවුන්ගේ භාෂා ප්‍රේමය අනුව මහනුවරට “කැන්ඩි” කියන ගාල්ලට “ගෝල්”, කෑගල්ලට “කේගෝල්” කියන ඉංග්‍රීසි නාමපුවරු වෙනස් විය යුතුව තිබුණේ මීට බොහෝ කලකට පෙරය. ඒ සඳහා පෙරමුණ නොගැනීම සම්බන්ධව ඔවුනට ස්තූති කළ යුතුය. හේතුව විදේශිකයන් මෙරටට පැමිණෙන්නේ කැන්ඩි, චිලව්, ස්ලේව් අයිලන්ඩ්, මවුන්ට් ලැවිනියා නැරඹීමට බැවිනි.

බලයට පත්වූ පසුව පුටුවට ඇල්මෙන් මිස ජනතාවට ආදරයෙන් කටයුතු නොකිරීම මෙරට දේශපාලනයේ ජන්මගත රෝගයකි. උතුරේ මහ ඇමැතිවරයා මේ කරමින් සිටින්නේ ද නැවතත් මහ ඇමැති පුටුවට පැන ගැනීමේ සටනක් බව විශ්වාස කළ හැකිය. ඒ සඳහා ඔහු තෝරාගෙන ඇත්තේ ජනතා ප්‍රශ්නවලට පිළිතුරු දීම වෙනුවට ජාතිවාදයට ආමන්ත්‍රණය කිරීමයි.

උතුරු පළාතට වෙන්කළ මුදල් වැඩකට නොගෙන ආපසු හැර ඇති බව පසුගිය දිනවල අසන්නට ලැබුණි. එසේ මුදල් නැවත භාණ්ඩාගාරයට පැමිණ ඇත්තේ උතුරේ ජනතාවට ප්‍රශ්න නැති නිසා නොව, උතුරු පළාත් සභාව එම මුදල් ඵලදායී කටයුත්තකට නොයෙදූ නිසාය. විජයකලා මහේෂ්වරන් නියෝජ්‍ය ඇමැතිවරිය පවසා තිබුණේ උතුරේ තරුණයන් විරැකියාවෙන් පෙළෙන බවයි. උපාධිධාරීන් පවා රැකියා හිඟයෙන් පෙළෙන බවයි. වැන්දඹු කතුනට සරණක් නැති බවයි. එම ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්නට බෝඩ් වෙනස් කිරීමෙන් හැකියාවක් නැත.

උතුරු නැ‍ඟෙනහිර පළාත් සභා මැතිවරණ ආසන්නයේ දකුණේ ඇමැතිවරයකු පුවත්පතකට සඳහන් කර තිබුණේ එම පළාත් සභා දෙක නිසි පරිදි ක්‍රියාත්මක වුවහොත් දකුණට ඔවුන්ගෙන් පාඩම් ඉගෙන ගන්නට සිදුවනු ඇති බවයි. නමුත් උතුරත් නැ‍ඟෙනහිරත් දකු‍‍ණෙන් පාඩම් ඉගෙන ගත්තා මිස දකුණට පාඩම් උගන්වන්නට කටයුතු කළේ නැත. එය එම පළාත්වල ජනතාවගේ අවාසනාවයි. උතුරු පළා‍ත් සභාවේ ආයු කාලය අදින් අවසන් වේ. බලය පැවැති කාලය තුළ එම පළාත් සභාව කළ එකම කටයුත්තද නාමපුවරුවල නම් මාරු කිරීමය.

උතුරට වැඩක් කරන්නට විග්නේෂ්වරන් මහතාට අවශ්‍ය වූයේ නම් ඔහු පාඩම් ඉගෙනගත යුතුව තිබුණේ වයඹ පළමු ප්‍රධාන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා වැඩ කළ ආකාරයෙනි. නමුත් විග්නේෂ්වරන් මහතා පාඩම් ඉගෙන ගන්නට උත්සාහ කළේ වර්ධරාජා පෙරුමාල් මහතාගෙන් පවා නොව වේලුපිල්ලේ ප්‍රභාකරන්ගෙන් බව පෙනෙන්නට තිබේ. විග්නේෂ්වරන් මහතාගේ ඇතැම් ක්‍රියාකාරකම් අඬන්නට බලා සිටින දකුණේ ජාතිවාදීනට ඇසට ඇඟිල්ලෙන් ඇනීමට සමාන විය. එකී ක්‍රියාකාරකම් රටේ ජාතික සමඟියට මාරක ප්‍රහාරයක් ද විය.

අනුර කේ. එදිරිසූරිය
[email protected]

නව අදහස දක්වන්න