හෝප්වෙල් ගමට හොඳ බලාපොරොත්තුවක් | දිනමිණ

හෝප්වෙල් ගමට හොඳ බලාපොරොත්තුවක්

නම හෝප්වෙල්. ඒත් බලාපොරොත්තු බිඳ වැටුණු සමනල අඩවියේ හුදෙකලා ගමක බලාපොරොත්තු සියවස් ගණනකට පසු සපිරේ.

ඓතිහාසික සබරගමුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ හෝප්වෙල් නමින් ගම්මානයක් ඇතැයි සඳහන් කළහොත් එය පුදුමයට කරුණක් වීමට පුළුවන. එහෙත් බටහිරට නෑකම් කියන ඉංග්‍රීසි නමකට හිමි මේ අපූරු ගම්මානය පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ සමනල අඩවියට මායිම්ව පිහිටි හුදෙකලා කඳුවැටි අතරය.

රත්නපුර වේවැල්වත්ත මාර්ගයේ වේවැල්වත්ත කඩපිලේ සිට කි.මී. 8ක් තරම් දුරින් පිහිටි හෝප්වේල් ගම්මානය වෙත වැටී ඇති මාර්ගය වැසි කලට දොළ පහරකි. වැසි නිමා වූ සැණින් එම මාර්ගය ගල්කුළු මතු වූ වියළි දොළ පහරකි. පිහිටීමේ ස්වභාවයත් සිරිපා අඩවියට ආසන්නයේ පිහිටි නිසාත් හෝප්වේල් වඩා ප්‍රකට පුංචි සමනළ අඩවිය ලෙසටය.

මුහුදු මට්ටමින් අඩි 4000ත් 5000ත් අතර පිහිටා ඇතැයි අනුමාන කෙරෙන හෝප්වේල් ගම්මානය වෙත යන අතරමග අළුපොළ දියඇල්ල මුණ ගැසේ. ගලින් ගල පැන යන එම දුෂ්කර මාර්ගයේ තවත් තැනකදී හමුවන දිය පහර ගම්වාසීන් විසින් නම්කර ඇත්තේ සීත ගඟුල ලෙසය.

කී.මී. 8ක් දුර ගෙවා වේවැල්වත්ත කඩපොළ වෙත පිවිසීමට අඩුම තරමින් යතුරු පැදියකටවත් යාමට නොහැකිය. එනිසාම මෙම ගම්වැසියන්ට යතුරුපැදියක්වත් නොමැත. ඔවුන් සිය එකම ජීවනෝපාය මාර්ගය වන අමු තේ දලු කර තබාගෙන හෝ හිස තබාගෙන දලු ලොරි පැමිණෙන ආසන්න ඉසවුවට පිවිසෙන්නේ දෙපයිනි.

මෙම දුෂ්කර හුදෙකලා ගම්මානය ලොවට යා කරන පළමු පියවර හැටියට ගමේ විහාරස්ථානයට විදුලි ආලෝකය ලබා දීම පසුගියදා සිදුවිය. විදුලිය සොයාගෙන සියවස් ගණනක් ගෙවී ඇතත් හෝප්වේල් ගම්වාසීන් විදුලියක් දැක ඇත්නම් ඒ අවට අහස් කුසේ නිරන්තර රේඛා අඳින විදුලි කෙටුම්වලින් පමණක්ම විය හැක.

මෙම දුෂ්කර ගම්මානයට විදුලිය ගෙන ඒම සඳහා විසිපන්ලක්ෂයක් පමණ වැය වන බවට ගණන් බලා තිබිණි. ඔළුගෙඩි ගණනට සාපේක්ෂව මනාප ගණන් බලන දේශපාලන සංස්කෘතියක් ඇති රටක ඒසා විශාල මුදලක් වැය කිරීම නිශ්ඵල ආයෝජනයකැයි සිතූ බොහොමයක් දේශපාලනඥයින්ට හෝප්වේල් හුදෙකලා ගම්මානය අමතකව තිබිණි.

එහෙත් හෝප්වේල් ගම්මානය හුදෙකලාවෙන් මුදා ගැනීම සඳහා මුලින්ම කළ යුත්තේ ගමට ආගමික සිද්ධස්ථානයක් ලබා දීම බව ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතාගේ අදහස විය. ඒ අනුව මුලින්ම සිදු වූයේ හෝප්වේල් ගම්මානයේ කුඩා සෙනසුනක් ඉදි කිරීමය. මොරහැල සුමේධ නමින් හැඳින්වෙන තරුණ භික්ෂූන් වහන්සේ නමක් එම සෙනසුනට වැඩම කෙරිණි. දැන් එය හැඳින්වෙන්නේ අළුපොල සමාධි ආරණ්‍ය සේනාසනය නමිනි. සෙනසුනක් ඉදිකොට හිමිනමක්ද එහි වැඩම කර ගම්වාසීන්ගේ ජීවිතවල ඇතුළාන්තය ආලෝකවත් කිරීමට මුල් පියවර ගත් ගන්කන්ද මහතා අනතුරුව එම ගම්වාසීන්ගේ බාහිර ජීවිතය ආලෝකවත් කිරීමට කටයුතු කළේය. ඒ හෝප්වේල් ගම්මානයට ජාතික පද්ධතියෙන් විදුලිය ලබා දීමේ කටයුත්තයි.

ඒ සඳහා වැයවූ මුදල විශේෂ ව්‍යාපෘතියක් වශයෙන් විදුලිබල නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා ලබා දී තිබිණි. ගමට විදුලිය ලබා දීම සංකේතවත් කරමින් සමාධි ආරණ්‍ය සේනාසනයේ ප්‍රථම විදුලි බුබුල දැල්වීම පසුගිය දා සිදුවිය.

පංචමහා විහාරාධිපති, ඇහැලියගොඩ භාවනා මධ්‍යස්ථානයේ අධිපති, මොරහැල උපාලි හිමිපාණන් ඇතුළු ගම්වාසීන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර, මෙම දුෂ්කර මාර්ගය ඇතුළු ආරණ්‍ය සේනාසනයේ සංවර්ධනයට පුරෝගාමී මෙහෙවරක යෙදෙන ප්‍රාදේශීය සභා මන්ත්‍රී දමිත් අල්ගම මහතා ඇතුළු අවට ගම්වාසීන් රැසක්ද එම කටයුත්තට දායක වූහ. ගමේ නම පුදුමයක් මෙන්ම ආරණ්‍ය සේනාසනය ඉදිකිරීමට මූලික වූ දමිත් අල්ගම මහතා උපතින් කිතුණුවකු වීම තවත් අරුමයකි.

ගන්කන්ද මහතාගේ උපදෙස් මත ආරණ්‍ය සේනාසනය අවට භූමියට විධිමත් ඔප්පුවක් හරහා නිත්‍යානුකූල උරුමය ලබා දීමටත් අවට ගම්මානවල තේ ඇතුළු භෝග වගාවල නිරත ගම්වාසීන්ගේ ඉඩකඩම් සඳහාද විධිමත් බලපත්‍රයක් ලබා දීමටත් කටයුතු කරන බව මෙම අවස්ථාවට ගන්කන්ද මහතා නියෝජනය කරමින් සබරගමු පළාත් සභාවේ දී හිටපු අමාත්‍ය නාලක අතුකෝරල මහතා සඳහන් කළේය. මෙම ගමට යන ප්‍රවේශ මාර්ගය සංවර්ධනය කිරීම සඳහා ප්‍රථම පියවර වශයෙන් ගම්පෙරළිය වැඩසටහන යටතේ රුපියල් පන්ලක්ෂයක් වෙන්කර ඇති අතර තවත් රුපියල් පනස්ලක්ෂයක් අපේක්ෂාවෙන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි මෙහිදී ප්‍රාදේශීය සභා මන්ත්‍රී දමිත් අල්ගම මහතා පැවසීය. ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල ශ්‍රී ලාල් සහ නියෝජ්‍ය ඇමැති සම්බන්ධීකරණ ලේකම් වසන්ත සමරසිංහ මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

නිමල් විජයතුංග
ඇහැළියගොඩ විශේෂ සහ සුනිල් ලීලානන්ද පෙරේරා


නව අදහස දක්වන්න

Or log in with...