බල්ලන්ට අනුකම්පාව මිනිස්සුන්ට භූමිකම්පාව | දිනමිණ

බල්ලන්ට අනුකම්පාව මිනිස්සුන්ට භූමිකම්පාව

ඉමදුව සමුහ ලංකින්ද නානායක්කාර

අහංගම, මිදිගම කළපුව ප්‍රදේශයේ රාජ්‍ය නොවන විදේශීය සංවිධානයක් විසින් පවත්වාගෙන යනු ලබන සුනඛ රැඳවුම් මධ්‍යස්ථානයක් ‍හේතුවෙන් අවට වෙසෙන ගම්මාන හතරක පවුල් 150ක පමණ ජනතාවට සෞඛ්‍ය ගැටලු සහ විවිධ දුෂ්කරතාවනට පත්වීමට සිදුවී ඇතැයි ඔවුහු පවසති. මෙම සුනඛ රැඳවුම් මධ්‍යස්ථානයට අවශ්‍ය ජලය සපයා ගැනීමට විශාල ප්‍රමාණයේ ගැඹුරු නළ ළිං හෑරීමෙන් අවට ළිංවල පිහිටි ජල උල්පත් සිඳීයාම නිසා උග්‍ර ජල හිඟයකට මුහුණ දීමට සිදුවී ඇතැයි ද ප්‍රදේශවාසීහු කියති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රදේශවාසී ඊ.එච්.හර්ෂණි මහත්මිය - "සුනාමියෙන් අපේ දේපොළ අහිමි වුණා. පස්සේ අපිට මෙම ප්‍රදේශයෙන් නිවාස ලැබී මෙහි පදිංචියට ආවා. ඒ මීට වසර 15කට කලින්. අපි මෙම ප්‍රදේශයට පැමිණෙන විට සුනඛ රැඳවුම් මධ්‍යස්ථානය තිබෙන තැන තිබුණේ සරුසාර පොල් වත්තක්. එහි අයිතිකරු මෙම වත්ත විදේශිකයකුට විකුණුවා. පස්සේ මෙම ස්ථානයේ සුනඛයින්ට එන්නත් ලබාදෙන තැනක් වුණා. ඊට පස්සේ එම වත්ත වටේ උස තාප්ප දමාගෙන මොනවා කරනවාදැයි අපි දැන‍ගෙන හිටියේ නැහැ. කෙසේ වෙතත් ඊට පස්සේ මෙම ස්ථානය බල්ලන්ගේ රැඳවුම් කඳවුරක් වුණා. දැන් මෙහි බල්ලෝ 1500ක් විතර ඉන්නවා. මෙම බල්ලන් නිසා අපිට විඳීමට සිදුවී ඇත්තේ ඉතාම කටුක අත්දැකීමක්. බල්ලන් බුරන නිසා හැම වෙලාවකම විශාල ශබ්දයක් මෙම ප්‍රදේශය පුරාම පැතිරෙනවා. ඒ නිසා අපේ ළමයින්ට නිදහසේ පොතක් පතක්වත් පාඩම් කරන්නට හැකියාවක් නැහැ. ඒ විතරක් නෙවෙයි මෙම ස්ථානයෙන් දරාගත නොහැකි අධික දුර්ගන්ධයක් හමනවා. ඒ නිසා අපිට අපේ ගෙවල්වල කෑමක්වත් කන්න බැහැ. "

එච්.පී.වී.සේනානි මහත්මිය - "මෙහෙ බල්ලො ඉන්නවා 2000ක් විතර පුසෝ ඉන්නවා 500ක් විතර. මෙම සතුන්ගේ අපද්‍රව්‍ය බාහිර පරිසරයට නළ මගින් මුදාහැරීම හේතුවෙන් ඉතාමත් තදබල පරිසර විනාශයක් සිදුවෙනවා. දැන් අපේ නෑයෙක් අපේ ගෙවල්වලට ආවත් ඔවුන් අපෙන් වතුර එකක්වත් බොන්න අකමැතියි. මෙම පරිසරයේ පවතින දැඩි දුගඳ හේතුවෙන්. ඒ විතරක් නොවෙයි. මෙම සතුන්ට අවශ්‍ය ජලය සඳහා ඔවුන් විශාල ප්‍රමාණයේ නළ ළිං ගැසුවා. දැන් පායන විට අපේ ළිංවලත් වතුර නැහැ. උල්පත් හිඳෙනවා. මේකත් විශාල ප්‍රශ්නයක්. මෙම විෂබීජ තත්වය හේතුවෙන් අපේ දරුවාගේ කකුල්වල තුවාල දාලා. දැන් ඒවාට ප්‍රතිකාර කරනවා. ඒ නිසා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ස්ථානය ජනාවාසවලින් තොර ස්ථානයක පවත්වාගෙන යාමට කටයුතු කරන්න කියලා."

එච්.එම්.ධම්මික මහතා - "අපි මෙහි පදිංචියට ආවේ 2004 වර්ෂයේ. එතකොට මෙම ප්‍රදේශය ඉතාමත් නිස්කලංක සාමකාමි පරිසරයක්. මෙම බල්ලන් නිසා දැන් තත්වය ඉතාමත් වෙනස්. අපි කියන්නේ ගම්මාන හතරකට විතර මැද පිහිටුවා තිබෙන මෙම මධ්‍යස්ථානය වෙනත් තැනකට ගෙන යන්න කියලා.

පසුව අප මෙම සුනඛ රැඳවුම් මධ්‍යස්ථානයේ ආරම්භක එංගලන්ත ජාතික කිම් කූලින් මහත්මියගෙන් මේ පිලිබඳව විමසීමේදී ඇය මෙසේ පැවසුවාය. "මෙම සුනඛ මධ්‍යස්ථානය ගැන ගම්මුන් කියන කතාව සත්‍යයක් නොවෙයි. අපි මෙහි සුනඛයන් රඳවා තබා ගැනීම හේතුවෙන් ජලභීතිකාව පවා පාලනය වෙනවා. සුනඛයන් වන්ධ්‍යාකරණය හේතුවෙන් ඔවුන්ගේ ගහණය පාලනය වෙනවා. දැන් මෙහි සුනඛයන් 1300ක් සහ බළලුන් 80ක් සිටිනවා. අපි සමාජ සේවයක් ලෙස ගමේ ළමුනට ඉංග්‍රීසි දැනුම ලබාදීමට කටයුතු කර තිබෙනවා. 2009 අපි තමයි මෙම ප්‍රදේශයට ආවේ."

මේ සම්බන්ධයෙන් විමසීමේ දී වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජී.එන්. ප්‍රදීප් කුමාර මහතා මෙසේ පැවසීය, - "ගොඩක් මිනිස්සු ඉන්න ප්‍රදේශයක් නිසා අපේ අදහස මේක මේ ප්‍රදේශයට නුසුදුසුයි කියන එකයි. බල්ලන්ගේ අසුචි ගඳ කිලෝමීටර් 02ක් විතර එහාට එනවා. ශබ්ද දූෂණයකුත් සිදුවෙනවා. පොඩි හරි ශබ්දයක් අසුන ගමන් බල්ලෝ හත් අටසියයක් විතර දුවන්න ගන්නවා. මෙහි අපද්‍රව්‍ය බැහැර කිරීම්වල නිසි ක්‍රමවේදයක් නෑ කියන එක තමයි අපි නිරීක්ෂණය කරලා තියෙන්නේ. දැනට මේ සඳහා ගම්වාසීන් නඩුවක් ගොනුකර තිබෙනවා. ඒකට උසාවියෙන් අපිට නිරීක්ෂණ ඉදිරිපත් කරන්න කියලා කිව්වොත් අපි ඒ අපේ නිරීක්ෂණ ඉදිරිපත් කරනවා. ආයතනයක් වහන්න හරි නවත්වන්න හරි බලයක් අපිට නෑ. අපිට පුළුවන් නිරීක්ෂණ ඉදිරිපත් කරන්න විතරයි."

කවුරුන් කෙසේ කීවද බැලු බැල්මට මෙහි ප්‍රශ්නයක් ඇති බව නම් සැබෑය. සුනඛ මධ්‍යස්ථානයක් තිබීම වැදගත් මෙන්ම ප්‍රදේශවාසීන් ගේ ජීවත් වීමේ අයිතිය ඊටත් වඩා වැදගත් වේ. සුනඛ මධ්‍යස්ථානයක් තිබේ නම් ඒ අදාළ නීතිමය තත්වයන් තහවුරු කර ගනිමින් ජනතාව ගේ ජීවත් වීමේ අයිතියද තහවුරු කරමින් එය පවත්වා ගෙන යාම වැදගත් වේ. මේ සම්බන්ධයෙන් අදාළ බළධාරීන්ගේ නෙත් යොමු වී ප්‍රදේශවාසීන් ගේ ප්‍රශ්නයත් සුනඛ මධ්‍යස්ථානයේ ප්‍රශ්නයටත් සුදුසු විසඳුමක් ලැබෙන්නේ නම් එය බොහෝ වටින්නේය.


අදහස් 1ක් ඇත

මෙය සම්පුර්ණයෙන් පදනම් රහිතව ලියූ පුවතකි . මෙම මධ්‍යස්ථානය ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුකූලව බෞද්ධ ප්‍රතිපත්ති අනුව පවත්වාගෙන යන උතුම් සානුකම්පික පුණ්‍යාගාරයකි. කලක සිට මෙයින් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් සිටි නූගත් ගැමියන් විසින් නොයෙක් අවහිරකම් පටන් ගෙන ඇත. රතිඤ්ඤා පත්තු කර සතුන් කම්පනය කිරීම, ජලනල පද්ධති කඩා බිඳ දැමීම මීට මසකට පෙර ගැමියන් විසින් සිදු කරන ලදී. මෙම ස්ථානයට ගිය කෙනෙකු මේ ලිපියේ තියෙන අසථ්‍ය කරුණු නිමේශයකින් හඳුනා ගනු ඇත. ගමේ ඇතැම් නිවෙස් වලට වඩා මේ ස්තානය පවිත්‍රය. පින්නවල , විල්පත්තුව, දෙහිවල අවට වැසියන්ගෙ බුද්ධියෙත්, මනුශ්‍යත්වයේත් සහ මේ මීදිගම වැසියන් ගේ චරියාවේ වෙනස් දෙස මුළු ලොවම කණගාටුවෙන් බලා සිටී.

පිටු

නව අදහස දක්වන්න

Or log in with...