කුඩා-මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් 2575කට කෝටි 1080ක සහන පොලී ණය | දිනමිණ

කුඩා-මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් 2575කට කෝටි 1080ක සහන පොලී ණය

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය ආරම්භ කළ, කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තයන්හි නායකත්වය හා ව්‍යවසායකත්වය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය හෙවත් SMILE - III චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය යටතේ ගෙවී ගිය වසර කීපය සඳහා සහන පොලී ණය ලෙස රු. කෝටි 1080 ක් හෙවත් මිලියන 10,783 ක්, ව්‍යවසායකයින් 2575 කට ලබා දී තිබේ.

මෙම SMILE ව්‍යාපෘතියේ අරමුණ වන්නේ, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල මූල්‍ය කටයුතුවලට සහයෝගය දක්වමින් නව ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ පවතින ව්‍යාපාර ව්‍යාප්ත කිරීමෙන් හෝ එකී ව්‍යාපාර ආර්ථිකමය හා මූල්‍යමය වශයෙන් ශක්තිමත් ව්‍යාපෘතීන් බවට පත් කිරීමයි.

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල කළමනාකරණ හැකියාවන්, ගිණුම්කරණ සහ තාක්ෂණික හැකියාවන් වර්ධනය කිරීම,

අන්තර් මූල්‍ය ආයතනවල මූල්‍ය හැකියාවන් ශක්තිමත් කිරීමත් අපේක්ෂා කෙරේ.

මෙම SMILE - III චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය යටතේ නව ව්‍යාපාර ආරම්භ කිරීම, පවතින ව්‍යාපාරවල ඵලදායිතාව වර්ධනය කිරීම හෝ එකී ආයතනවල ක්‍රියාකාරීත්වය සහ නිෂ්පාදනවල ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා අඩු පොලියට ණය පහසුකම් සැලසීම සිදු කෙරේ. එසේම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල හැකියාවන් වැඩිදියුණු කිරීමට හා නිෂ්පාදනවල වර්ධනයක් ඇතිකිරීමටත්, මෙම ණය‍ යෝජනා ක්‍රමය යටතේ ශක්තිය ලබා දේ.

මෙම ණය මුදල් ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, DFCC බැංකුව, කොමර්ෂල් බැංකුව හා සණස සංවර්ධන බැංකුව මඟින් ලබා දී තිබේ. මෙම ණය මුදල් රටේ පළාත් 9 ම ආවරණය වන පරිදි ව්‍යවසායකයන්ට ලබා දී තිබීම ද විශේෂත්වයකි.

අපි රටේ සෑම පළාතකම සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ණය මුදල් ලබා දී තිබෙනවා. ඒ වගේම පවතින කර්මාන්තශාලාවලට මෙන්ම අලුත් කර්මාන්තවලටත් මේ ණය ඉල්ලා තම කර්මාන්ත ව්‍යාපෘතිය ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා මම අපේ රටේ කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ට මේ ණය ලබාගෙන ඔබගේ ව්‍යාපාර දියුණු කරගන්න කියලා ආරාධනා කරනවා.

අපගේ දළ දේශීය නිෂ්පාදනය සඳහා කර්මාන්ත අංශයෙන් සියයට 30 ක දායකත්වයක් සපයනවා. අපගේ මෙම SMILE ණය යෝජනා ක්‍රමයේ ප්‍රධාන අරමුණක් වන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල මූල්‍ය කටයුතුවලට සහයෝගය ලබා දෙමින්, ඔවුන්ට නව ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ පවතින ව්‍යාපාර වැඩිදියුණු කර ගැනීමටත්, එම ව්‍යාපාරවල ආර්ථිකමය හා මූල්‍යමය ශක්තිය වර්ධනය කරමින් වඩාත් ශක්තිමත් ව්‍යවසායකයෙකු බවට පත් කිරීමටයි මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

මෙම SMILE - III ණය යෝජනා ක්‍රමය යටතේ මේ වන විට ව්‍යවසායකයින් 2575 කගේ ව්‍යාපෘති සඳහා ණය ලබා දී තිබේ. මෙසේ ණය ලබාදීම් දිවයිනේ සෑම පළාතකම, සෑම දිස්ත්‍රික්කයකම ව්‍යවසායකයින්ට ලබා දී තිබීම විශේෂත්වයකි. ඒ අනුව උතුරු පළාතේ ව්‍යවසායකයින් 48 කට, නැ‍ඟෙනහිර පළාතේ 82 කට, ඌව පළාතේ 81 කට, සබරගමුව පළාතේ 146 කට, මධ්‍යම පළාතේ 179 කට, වයඹ පළාතේ 533 කට, උතුරුමැද පළාතේ 154 කට, දකුණු පළාතේ 574 කට හා බස්නාහිර පළාතේ 778 කට ණය ලබා දී තිබේ.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබා දී තිබෙන ව්‍යවසාය ක්ෂේත්‍ර වන්නේ කෘෂිකර්මාන්ත, සත්ත්ව නිෂ්පාදන, උද්‍යාන වගාව, විසිතුරු මත්ස්‍ය වගාව, රසායනික නිෂ්පාදන, කොහු නිෂ්පාදන, ඉදිකිරීම් අමුද්‍රව්‍ය කර්මාන්ත, ධීවර කර්මාන්ත, ආහාර සැකසුම්, බීම වර්ග, සෞඛ්‍ය ආරක්ෂක නිෂ්පාදන, හම් ආශ්‍රිත නිෂ්පාදන, නිෂ්පාදන පදනම් කරගත් සේවා කර්මාන්ත, ‍ලෝහ නිෂ්පාදන, ප්ලාස්ටික් නිෂ්පාදන, මුද්‍රණ හා කඩදාසි නිෂ්පාදන, රබර් නිෂ්පාදන, පේෂකර්ම හා ඇඟලුම්, සංචාරක හා හෝටල්, දැව නිෂ්පාදන හා කුළුබඩු නිෂ්පාදන ආදිය වේ.

 

ශාස්ත්‍රපති
දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ
අධ්‍යක්ෂ (මාධ්‍ය)
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය 

නව අදහස දක්වන්න