මහින්ද අගමැති | දිනමිණ

මහින්ද අගමැති

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අගමැතිවරයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (26) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් අයුරු.

අනුර ප්‍රේමලාල් සහ රක්ෂණ ශ්‍රියන්ත, මහින්ද අලුත්ගෙදර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (26) පස්වරුවේ සිදුවිණි. නිදහස් නිවහල් දේශයක් නිර්මාණය කරමින් ශ්‍රී ලාංකික සැමට නිදහසේ ජීවත් වන්නට අවශ්‍ය පරිසරය උදාකළ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නව අගමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.

යහපාලන ආණ්ඩුව වසර තුනහමාරක කාලය පුරා ගෙන ගිය වැඩපිළිවෙලට අප්‍රසාදය පළකරමින් ආණ්ඩුව නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන‍යෙන් ඊයේ පස්වරුවේ ආන්ඩුවෙන් ඉවත් වූ අතර ඒ සම්බන්ධයෙන් කතානායක කරූ ජයසූරිය මහතා වෙත නිල වශයෙන් දැනුම් දුන්නේය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන් අවස්ථාවේ ඒ මහතාට සුබ පැතීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන සහ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් රැසක් ජනාධිපති ලේකම් කාර්යාලට එක්ව සිටි අතර ඒ මහතා දිවුරුම් දීමත් සමඟ රටපුරා බොහෝ ප්‍රදේශවල රතිඤ්ඤා දලවමින් ජනතාව විශාල වශයෙන් ප්‍රීති ඝෝෂා නැඟූ බවට අප වාර්තාකරුවෝ පැවසූහ. වැසි නොතකා ජනතාව විථි බැස ජනතාව මෙසේ ප්‍රීති ඝෝෂා නැගූහ. වෘත්තියෙන් නීතිඥයෙක් වන මහින්ද රාජපක්ෂ මහතා දශක පහකට ආසන්න කාලයක් මෙරට ක්‍රියාකාරී දේශපාලයේ නිරතව සිටින ප්‍රබලයෙකු වන අතර 1970 වසරේ දී මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්විය. 2004 වසරේ අප්‍රේල් 6 දින සිට 2005 ජනාධිපතිවරණයෙහි දී ඔහුගේ ජයග්‍රහණය දක්වා අගමැති තනතුර හෙබවූ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙසින් ඔහුගේ පළමු සය-වසර ධූර වාරය සඳහා 2005 නොවැම්බර් 19 දින දිවුරුම් දුන්නේය.

දෙවන ධූර කාලය සඳහා ඔහු යළි-තේරී පත්වුණේ 2010 ජනවාරි 27 දිනදීය. කෙසේ වුවද 2015 වසරේ ජනවාරි මස 8 දා පැවැති ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත්විය.

දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ පැවැති යුද ගැටුම් අවසන් කිරීම සඳහා සේනාධිනායකයා වශයෙන් ඉටුකළ ශ්‍රේෂ්ඨ කාර්යභාරය හේතුවෙන් ඒ මහතා ජාත්‍යන්තරය ඉදිරියේ ඉමහත් කීර්තියට පත්විය. ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ්, නෙල්සන් මැන්ඩෙලා, හො චිමිං වැනි ලෝක නායකයින් අතරට එක්වූ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජීවත්වන සියලු පුරවැසියන්ට නිහස් නිවහල් රාජ්‍යයක් උරුම කරදුන්නා පමණක් නොව දෙපයින් නැඟී සිටින ජාතියක් බවට පත්කිරීමෙහිලා අවශ්‍ය පියවර ගත්තේය.

පසුගිය වසර තුනහමාරක කාලය පුරා විවිධ චෝදනා, අපහාස සිදුකළ ද මහින්ද රාජපක්ෂ මහතා යළි මේ රටේ ක්‍රියාකාරී දේශපාලනයට අවශ්‍ය බවත් ඒ මහතාගේ නායකත්වයෙන් තොරව මේ රටේ ඉදිරි ගමනක් නොමැති බවටත් ලක්ෂ සංඛ්‍යාත ජනතාව ප්‍රකාශ කළහ.

නව අදහස දක්වන්න