යහපත් ගැබිනි මව ගුණවත් දරුවන් බිහිකරනවා | දිනමිණ

යහපත් ගැබිනි මව ගුණවත් දරුවන් බිහිකරනවා

අතපත්තුකන්දේ ආනන්ද හිමි

අති ධාවනකාරී ජීවන අරගලයක වෙළී, පැටලී සිටින වත්මන් ජනයා අතින් ඉටු වියයුතු යුතුකම් නොපිරිහෙළා ඉටුවේද? මානුෂික සබඳතා කොතරම් දුරට ඉටුවන්නේද? මේ බැඳීම් තුළින් උපදින අනාගත පරපුරේ යාන්ත්‍රණය කුමක්වේද? කාන්තාවක්, මවක් වීමේ ලකුණු පහළ වන දා පටන් මව හා දරුවා අතර බැඳීම යහපත් සමාජ ගොඩනැඟීමකට කෙසේ රුකුල් සපයන්නේද යන කාරණා මෙවර සාකච්ඡා කරන්නේ කොළඹ 06 හැව්ලොක් සිටි සාම විහාරාධිපති, කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති, ශාස්ත්‍රපති අතපත්තුකන්දේ ආනන්ද හිමිය.

* බෞද්ධ දර්ශනයට අනුව මවකගේ ගුණාංග කෙසේ විය යුතුද?

බුදුරජාණන් වහන්සේ තරම් මාතෘත්වය හා පීතෘත්වය අගය කළ ශ්‍රාස්තෘන්වරයාණන් වහන්සේ නමක් අපට අසන්නට ලැබෙන්නේ නෑ. මාතෘත්වය පිළිබඳ සඳහන් කරන කොට පුබ්බාචරිය පූර්ව ආචාර්ය’ නමින් හඳුන්වනවා. බුදුන් වහන්සේ පහළවන කාලයේ ලෝකය නිර්මාණය කරන්නේ මහා බ්‍රහ්මයාය කියන අදහසක් තිබුණා. පසුව බුදු හාමුදුරුවෝ ඒකට නව අර්ථකථනයක් දුන්නා. ඒ තමයි ලෝකය නිර්මාණය කරන්නේ මව්පියෝයි යන්නයි. මහා බ්‍රහ්මයා ලෝක නිර්මාණයේදී නිර්මාණය කළ සත්ව ප්‍රජාව පිළිබඳ මෙත්තා (මෛත්‍රිය - මිතුරුකම) කරුණා (සසල වීම) මුදිතා (සතුටට පත්වීම) උපේක්ෂාව (වැරදිවලින් ගලවා ගැනීම) යනාදිය තිබිය යුතු බව අදහස් කෙරුණා. බුදුරජාණන් වහන්සේ විසින් මවකට මේ ගුණාංග පිහිටිය යුතු බව ප්‍රකාශ කළා. ඒ අනුව දරුවකුට අම්මා තරම් මිතුරියක් ‍තවත් නෑ. දරුවෙකුගේ දුකකදී එය අම්මා කෙනෙකුට තරම් වෙනත් කෙනෙකුට දැනෙන්නේ නෑ. දරුවෙකුගේ යහපතකදී එය දැකලා අම්මාතරම් සතුටුවෙන වෙනත් කෙනෙක් නෑ. මේ කාරණාත් සමග බුදුන් වහන්සේ ප්‍රකාශ කළේ ලෝකය නිර්මාණය කරන්නේ මහා බ්‍රහ්මයා නෙවෙයි මව්පියන් විසින්ය යන්නයි. විශේෂයෙන් මෑණියන් විසින්ය යන්නයි.

* මව රැකියාවක නිරත වීම මව සහ දරුවා යන දෙදෙනාගේම බැඳීමට හා පැවැත්මට බලපානවා නේද?

මවගේ කාර්යය බහුලත්වය විශේෂයෙන් ම දරුවාට දැඩිසේ බලපානවා. ගැබිනි මවගේ ප්‍රසූත කාර්යය සඳහා රජයෙන් කාල සීමාවක් ලබා දෙනවා. මවගේ කතා බහ, හැසිරීම් රටාව සතුට, දුක, වෙනත් මානසික තත්ත්වයක සිටිනවානම් ඒ සියල්ල කුස තුළ සිටින දරුවාට දැනෙනවා. ගර්භණී කාල සීමාව තුළ ගැබ් පෙළහර කියලා එකක් තියෙනවා. ගැබිනියක් දන් දීම, පුද පූජාවලට සහභාගි වීම ඉතාම හොඳයි. ඒ සියල්ල දරුවාට දැනෙනවා. ගැබට හානිදායක වන ආකාරයේ හැසිරීම් හා ආහාර පානවලින් ඈත් විය යුතු බව ආගමෙන් මෙන්ම සමාජයෙන්ද පෙන්වා දෙනවා. බෞද්ධ සමාජය තුළ මෙවන් අයුරින් නිසි ආකාරයට මව කටයුතු කරනවා නම් දරුවාට ආගමික ආශිර්වාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා.

රැකියාවට යන මව්වරුන් අතින් මේවා බොහෝ දුරට ඈත්වෙලා යන බවක් දක්නට ලැබෙනවා. එහි අනිටු ප්‍රතිඵලත් අපට ඇස් පනාපිට දකින්න ලැබෙනවා. අම්මගේ ආදරය දරුවාට අනිවාර්යයෙන්ම ලැබිය යුතු දෙයක්. මව් කිරි දීම පිළිබඳවත් ධර්මයෙන්පෙන්වා දී තිබෙනවා. මව රැකියාවට යෑමෙන් දරුවාගේ අයිතීන් උල්ලංඝනය වෙනවා. දරුවා හැදෙන්නේ වැඩෙන්නේ මුදලට ගත් ආයම්මාවරු ළඟ නැත්නම් දිවා සුරැකුම් ස්ථානවල. මිලදී ගත් කිරි ටිකයි දරුවාට ලැබෙන්නේ.

* “එදා හිටපු දරුවෝ නෙවෙයි අද ඉන්නේ” කියලා බොහෝ දෙනා ප්‍රකාශ කරනවා නේද?.

එදා අපේ හැදුනු, සංවර සමාජ රටාව තුළ අම්මලා දරුවන් තනි කරලා ගියේ නෑ. සාම්ප්‍රදායික පවුල තුළ අම්මා ගත කළේ දරුවා‍ත් එක්කමයි. එවිට දරුවාට අම්මගේ රැකවරණය, ආදරය, උණුසුම සියල්ල ලැබුණා. නමුත් දැන් ඉතා සුළු කාලයයි අම්මා සහ දරුවා එකට ගත කරන්නේ. එවිට යහපත් මානසික තත්ත්වයක් දරුවාට පිහිටන්නේ නෑ. ඒ නිසා දරුවා වර්ධනය වීමේදී මව්පියන් නොතකා හරිනවා. මව්පියන්ට කීකරු නොවන, ගරු නොකරන තැනට පත්වෙලා තියෙනවා. අද බොහෝ විට අපට මව්පියන් ඝාතනය කිරීම් පිළිබඳ අසන්න දකින්න ලැබෙනවා. මේ සියල්ලටම හේතුව මව්පියන්ගේ අවිවේකීතාවයන්. අම්මලාගේ හැසිරීම් රටාවන් සහ දරුවන් වෙනුවෙන් මව්පියන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉෂ්ට නොවීමත් ය. මව්පියන් හැම වෙලේම බලන්නේ දරුවා පිළිබඳ නොවෙයි. සමාජ ප්‍රවාහයන් එක්ක පිම්මේ දුවන්නයි. දුවන සමාජයත් එක්ක දිව්වේ නැතිනම් ගැටලුවකුත් තියෙනවා. “මනුස්සයන්ට තියෙන එකම වස්තුව තමයි දරුවෝ”

* ගැබිනි මවකට පිරිතේ බලය බලපාන්නේ කෙසේද?

අපේ ආගමේ ගැබිනි මව්වරු වෙනුවෙන්ම ප්‍රකාශ කරන පිරිතක් තියෙනවා. ඒක නම් කරලා තියෙන්නේ අංගුලිමාල සූත්‍රය කියලයි. පිරිතේ ස්වභාවයම ආරක්ෂාවයි. දරුවෙක් ලැබෙන්න සිටින මවකට ඊට සතියකට පෙරයි මේක දේශනා කරන්නේ. බෞද්ධ ගෙවල්වල අංගුලිමාල සූත්‍රය දේශනා කරගෙන පැන්බීලා, පැන් ශරීරයේ ගාගෙන ආශිර්වාදය ලබා ගන්නවා. පිරිතේ බලයයි ඉන් අපේක්ෂා කරන්නේ. පිරිතේ බලය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සත්‍ය වචනයයි. උන්වහන්සේගේ අධිෂ්ඨාන ශක්තියයි. වචනයක බලය හෙවත් සත්‍යක්‍රියාවයි.

* දරුවාගේ මානසික වර්ධනයට පිරිත ඉවහල් වන්නේ කෙසේද?

අම්මලා දරුවෝ නලවන්න කියන ගී ගත්තාම ඒකෙන් කෙරෙන්නෙන් දරුවාගේ මානසික වර්ධනය ඊට එහා ගියපු ආධ්‍යාත්මික ශක්තියක් පිරිතේ තියෙනවා. පිරිතෙන් කියන්නේ ආශිර්වාදයක්. මේ ආශිර්වාදය අපි කරන්නේ මවට සහ මවගේ කුස තුළ සිටින දරුවාගේ නිරෝගීතාවය සිද්ධ වේවා. ආරක්ෂාව සිද්ධවේවා. රැකවරණය සිද්ධ වේවා. චිරජීවනය සිද්ධ වේවා. වාසනාවන්ත යහපත් දරු උපතක් සිද්ධවේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි අපි පිරිත් දේශනාව පවත්වන්නේ. අපි එනකොට අම්මටත් කියනවා මගේ කුසේ සිටින දරුවාට නිදුක් බව, නීරෝගී බව, ආරක්ෂාව සැලසේවා.

ඒ එක්කම මට මේ පිරිත් දේශනාවේ ආශිර්වාදයෙන් ඒ ප්‍රසූත කාර්යයට අවශ්‍ය ශක්තිය, නිරෝගීතාවය ජීවිත ආරක්ෂාව, මා වෙනුවෙන් සැලසේවා කියලා පිරිත් අහන්න කියලා. පිරිත් නූල බදිනවා. මේ පිරිත කියන්නේ මහා කරුණාවකින්. අපේ මානසික ශක්තිය මවටත්, දරුවාටත් සම්බන්ධ කරනවා. පිරිතේ තරංග නූල හරහා ගමන් කරනවා. මේ තරංග දෙපාර්ශ්වයේ මානසික බලයත් එක්ක ශක්තියක් ගොඩනැගෙනවා. එයින් වාසනාවන්ත නීරෝගී මානසික ශක්තියකින් හෙබි දරුවෙක් බිහි වෙන්න උපකාර වෙනවා. මවත් ඉතා යහපත් ආකාරයට ඒ ප්‍රසූත කාර්යය සිද්ධ කරනවා. ඉතිහාසය පුරාම අවුරුදු 2300 ගණනක් මේ පිරිතේ ශක්තිය අත්හදා බලමින් හොඳ පරපුරක් මේ රටට දායාද කරනවා. ඒකට පිරිත මහෝපකාරී වෙනවා.

* කුසතුළ දරුවාගේ වැඩීම සඳහා පිරිත ඉවහල් වන්නේ කෙසේද?

අපි කරන ආශිර්වාදය දරුවාට දැනෙනවා. දරු ප්‍රසූතියකට මුහුණ දෙන මවකට මානසික තිගැස්මක් ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්. ඒ නිසා හිතේ තියෙන බර සහ බිය අඩුකර ගන්න කියලා. දරුවා පිළිබඳ ආදරය කරුණාව වඩ වඩාත් වර්ධනය කර ගන්න. අපි ප්‍රකාශ කරන දේශනාව පිළිබඳ ගෞරවය ඇති කර ගන්න. ශ්‍රද්ධාව ඇතිකර ගන්න. ඒ මවට දෙන පණිවිඩය දරුවාට අනිවාර්යයෙන්ම දැනෙනවා. දරුවාගේ මානසික වර්ධනය සඳහා අපි මුල ඉලාම මේ ආකාරයේ ක්‍රමානුකූල වැඩ පිළිවෙළක් හදලා තියෙනවා. රත්නත්‍රය, තුන් සූත්‍රය ගුණ ඉතාම ඉහළයි. දරුවා ඉන් ප්‍රබෝධයට පත් වෙනවා. එවිට දරුවාගේ මානසික තත්ත්වය ඉතා යහපත් වෙනවා. ඒ මානසික ප්‍රබෝධය දරුවා බිහි වුණාට පසුව මව්පියන් දෙන රැකවරණයත් එක්ක වර්ධනය ‍වෙනවා. දරු නැලවිලිවලත් තියෙන්නේ ආගමික පසුබිම. ඒ අනුව දරුවාගේ බුද්ධි වර්ධනය සඳහා මේ පසුබිම ඉතා රුකුලක් වෙනවා.

මවක් වෙන්න සූදානම් වන බෞද්ධ කාන්තාවෝ අනිවාර්යයෙන්ම බෝධි පූජා පවත්වනවානේ. දරුවා කුසට ආ දවසේ පටන්ම ඇතැම් අය බො‍හෝ වේලාවක් බෝධිය ළඟ කාලය ගත කරනවා. පැන් කලය අත දරාගෙන මගේ ආරක්ෂාව වගේම, කුසතුළ වැඩෙනා දරුවාගේ ආරක්ෂාව සැලසේවා. අභිවෘර්ධිය සැලසේවා කියන ප්‍රාර්ථනය කරනවා. බෝධීන් වහන්සේ නීරෝගීව වර්ධනය වෙනවා, සේම කුසතුළ වැඩෙනා දරුවාත් මවත් නීරෝගීව ශක්තිමක් වේවා යනුවෙන් පවසා සිතින් දරුවා ලැබුණ පසු දරුවා සමඟ මේ ස්ථානයට නැවත පැමිණ පුද පූජා පවත්වනවා යැයි භාර වෙනවා. මේ පසුබිමත් සමඟ ඉතාමත් නීරෝගී සම්පන්න දරුවෙකුගේ බිහිවීම සිද්ධ වෙනවා.

* ස්වාමීන් වහන්ස, වත්මන් කාර්යබහුල සමාජයේ මව්පියන් එකිනෙකා කෙරෙහි දැක්විය යුතු යුතුකම් හා වගකීම් මඟ හැරී යන බවක් දක්නට ලැබෙනවා.

එදා සම්ප්‍රදායික සමාජයේ පවුල් සංස්ථාව බොහොම ශක්තිමත්. නමුත් අද ගත්තාම මව හා පියා යන කුඩා පවුල පමණයි. ලිංගිකත්වයට ප්‍රධාන තැන දීලා පවුල තුළ ඇති යහපත්කම් වගකීමේ බාහිර ආටෝප සාටෝප විසින් ඩැහැගෙන. මෙවන් පවුල් මතින් උපදින දරුවන්ට ද මව්පියන්ගේ ආභාෂ ලැබෙනවා. වැඩිහිටියන්ට ගරු සැලකිල්ල, කීකරු බව ඈත් වෙලා ගිය සමාජය අපේ ආගමින් පෙන්වා දීලා තියෙනවා. ස්වාමියා, භාර්යාවට ගරු කළ යුතුයි. භාර්යාව ස්වාමියාට ගරු කළ යුතුයි කියලා. ස්වාමියාගෙන් ඉටුවිය යුතුකම් තියෙනවා. ඒ වගේම භාර්යාවගෙන් ඉටු විය යුතු යුතුකම් තියෙනවා. දැන් සමාජය ඒ සියල්ලගෙන් ඈත්වෙලා අතරමං වෙලා. මේ අතරමං වීමත් එක්ක සෑම දෙනාම නොමඟ ගිහින්.

අද ඇතැම් අය දරුවෙකු කුසට ආවා කියලා දැන ගත්තාම විනාශ කරන්න පෙළඹිලා. නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථාන ත් ඒවාටම තියෙනවා. සමහර විවාහ වුණු අයත්, දරුවන් පිළිසිඳගන්නවාට කැමැති නෑ. මවකගේ අගය අපේ සංස්කෘතියෙන් මවකට දීලා තියෙන ගෞරවාන්විත බවට ගරු නොකරනඅයයි එහෙම කරන්නේ. බිහි වූ දරුවාට ප්‍රතිශක්තිය වන්නේ මව පළමුවෙන්ම දෙන කිරිටිකෙන්. සමහර අම්මලා ඒ කිරි ටික දෙන්න කැමැති නෑ.

ඒක මිනිස් සමාජය තුළ අසන්න නොලැබිය යුතු දෙයක්. ඇතැම් මව්පියන්ගේ විෂමාචාර චර්යාවන් හේතුවෙන් දරුවන් නොමඟ යන බව පැහැදිලි කරුණක්. තමන්ගේ වගකීම ඉෂ්ට කරනවයි කියන එක නීතියට කරන්න පුළුවන් දෙයකුත් නෙවෙයි. රජයකට කරන්න පුළුවන් වැඩකුත් නෙවෙයි. මෙය පෞද්ගලික වැඩක්. තමන්ගේ පෞද්ගලික ජීවිතය පවත්වාගැනීම තමන්ගේ වැඩක්. දරු මල්ලෝ හදා වඩා ගන්නවයි කියන එක සමාජමය කාරණයක් වගේම පෞද්ගලික කාරණාවක්. රජයකින් කළ යුතු වන්නේ දරුවකු හදාවඩා ගැනීමට අවශ්‍ය සෞඛ්‍යමය හා අධ්‍යාපනික තත්ත්වයන් පහසුකම් සලසා දීමයි.

වත්මන් සමාජයේ පවතින බොහෝ ගැටලුකාරී තත්ත්වයන්ට හේතුව දරුවන්ගෙන් මාපියන් ඈත්වීමයි.

 

ශ්‍යාමා සමරසිංහ
ඡායාරූප -  වාසිත පටබැඳිගේ

නව අදහස දක්වන්න