විනිශ්චයට හදිසි නොවන්න | දිනමිණ

විනිශ්චයට හදිසි නොවන්න

ඇපල් ගෙඩි දෙකක් දෑතේ රඳවා ගත් ලස්සන පුංචි දුව වෙත සිනාමුහුණින් පැමිණි ඇගේ අම්මා මුදු සුමුදු ස්වරයෙන් ඇගෙන් මෙන්න මෙහෙම ඇහුවා : “ මගේ සුදු දුවේ, ඔය ඇපල් ගෙඩි දෙකෙන් එකක් ඔයාගේ අම්මට දෙන්න පුළුවන්ද ?”

ඇගේ අම්මා දෙස තත්පර කිහිපයක් බලා සිටි කෙලිපොඩ්ඩිය, ඉතා ඉක්මනින් එක අතක තිබූ ඇපල් ගෙඩියක් විකා අනිත් අතේ තිබූ ඇපල් ගෙඩියත් ඒ විදිහටම විකන්න වුණා.

තම මුහුණේ එතෙක් රැඳී සිනාව තමාගේ මුහුණෙන් වියැකී යන බව ඇයගේ මවටම තේරුණා. ඒත් තමන් තුළ හටගත් බලාපොරොත්තු කඩවීම, දුවට නොඅඟවා සිටින්න ඇය මහත් උත්සාහයක් දැරුවා.

තමන් විසින් විකන ලද එක ඇපල් ගෙඩියක් අම්මා විස්මයට පත්කරමින්, තම මවට දෙන ගමන් පැටික්කිය මෙහෙම කීව්වා: “ අම්මා, මේක ගන්න. මේක තමයි රසම රස ගෙඩිය....”

මෙය කියවන ඔබ කවුරුන් වුවත් කමක් නැත... ඔබ කොතරම් දැන උගත්, හසල දැනුමතියෙක් යැයි ඔබ සිතනවා වුවත්, පාරට්ටු කර ගන්නා, පලපුරුද්දක් ඇති කෙනකු වුවත්, ඔබ විසින් අන් අය විනිශ්චය කිරීම නිරතුරුම ප්‍රමාද කළ යුතුය.

තමන්ට කිරීමට ඇති පැහැදිලි කිරීම, කරන්නට අනිත් අයට අවස්ථාව දෙන්න. ඔබ දකිනෙ දේ යථාර්ථය නොවන්නට පිළිවෙන. අනිත් අය විසින් කළ යුතු අවසානය, ඔබ කරන්න එපා !

 

වත්තල ඇ. වීරප්පෙරුම

නව අදහස දක්වන්න