නව අගමැති දිවුරුම් දීම සහ දේශපාලන ස්ථාවරභාවය | දිනමිණ

නව අගමැති දිවුරුම් දීම සහ දේශපාලන ස්ථාවරභාවය

ශ්‍රී ලංකාවේ නව අගමැතිවරයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සිකුරාදා දිවුරුම් දුන්නේ ය. අලුත් අගමැතිවරයකු දිවුරුම් දීම යනු සාමාන්‍ය දේශපාලන සංසිද්ධියකි. එහෙත් ගිය සිකුරාදා මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීම මේ රටේ දේශපාලනයට අසාමාන්‍ය සිදුවීමක් වූයේ ය. එය අසාමාන්‍ය සිදුවීමක් වූයේ මෙතෙක් අපේ රටේ ජනතාවට හුරුපුරුදු ආකාරයේ පත්වීමක් නොවූ නිසා ය. සාමාන්‍යයෙන් නම් අලුත් අගමැතිවරයකු දිවුරුම්දීමක් සිදු වන්නේ මහ මැතිවරණයකින් පසු ව ය.

මැතිවරණයෙන් ජයග්‍රහණය කළ පක්ෂයෙන් අගමැතිවරයකු පත් වී දිවුරුම් දෙන බව අපේ රටේ සියලු දෙනා දනිති. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේ මහ මැතිවරණයකින් පසු ව නොවේ. එය අසාමාන්‍ය සිදුවීමක් වූයේත් ඒ ආශ්‍රයෙන් විවිධ මතිමතාන්තර රට පුරා පැතිර යන්නට පටන් ගත්තේත් ඒ නිසා ය. එමෙන් ම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ‘තමා තවමත් අගමැති කියමින්’ මේ ලියන මොහොතේත් අරලියගහ මන්දිරයට වී සිටින්නේ ද ඒ නිසා යැයි ද කිව හැකි ය.

ව්‍යවස්ථා විරෝධීද? නැද්ද?

මෙසේ මහ මැතිවරණයකින් තොර ව අලුත් අගමැතිවරයකු පත්වීම අසාමාන්‍ය සිද්ධියක් සේ පෙනෙන නමුත් මේ වන විට එය මහ පෙළොවේ යථාර්ථයක් වී අවසන් බව පිළිගැනීමට සිදු වේ. එක්සත් ජාතික පක්ෂය කියන අන්දමට නම් එය නීති විරෝධී පත්වීමකි. එසේ අලුත් අගමැතිවරයකු පත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැතැයි එජාපයේ රනිල්වාදී පිරිසක් තර්ක කරති.

අගමැති වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටිය දී තවත් අගමැතිවරයකු පත් කිරීම ව්‍යවස්ථා විරෝධී බව ඔවුන්ගේ තර්කයයි. ජනාධිපතිවරයා මරා ගෙන මැරෙන බව කියමින් අසභ්‍ය වචන කියමින් ඔහුට බැණ අඬගසන මට්ටමට ද ඔවුන්ගෙන් සමහරෙක් පත් වී සිටිති. එහෙත් ඇත්ත වශයෙන් ජනාධිපතිවරයා අනුගමනය කළ පියවර ව්‍යවස්ථා විරෝධී ද නැද්ද යන්න තීරණය වන්නේ එක ම එක සාධකයක් අනුව පමණකි. ඒ සාධකය අන් කිසිවක් නොව අලුත් අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ කැමැත්ත තිබේ ද නැද්ද යන්නයි. මන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තිය අනුව ජනාධිපතිවරයාට, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ විශ්වාසය දිනා ගන්නා මන්ත්‍රීවරයා අගමැති වශයෙන් පත් කිරීමට බලය ඇති බැවිනි.

අලුත් අගමැති වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා පත් කරනු ලැබීම ව්‍යවස්ථාවට එකඟ ද පටහැනි ද යන්න තීරණය කළ හැකි වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ඔහුට තිබේ ද නැද්ද යන්න අනුව ය. තමාට බහුතර මන්ත්‍රී කැමැත්ත ඇති බව සනාථ කිරීම අලුත් අගමැතිවරයා විසින් කළ යුත්තකි. එසේ ම බහුතර කැමැත්ත ඇත්තේ තමාට යැයි කියන රනිල් වික්‍රමසිංහ මහතා, නව අගමැතිවරයාගේ පත්වීම ව්‍යවස්ථා විරෝධී බව සනාථ කිරීමට නම් නව අගමැතිවරයාට බහුතර මන්ත්‍රී කැමැත්ත නැති බව සනාථ කර පෙන්විය යුතු ය. රනිල් වික්‍රමසිංහ මහතාට එසේ කළ හැකි වනු ඇත්තේ බහුතර මන්ත්‍රී කැමැත්ත ඇත්තේ තමාට බව සනාථ කර පෙන්වීමෙනි.

එහෙත් අපගේ නිරීක්ෂණයට අනුව නම් ජනාධිපතිවරයා මේ කර තිබෙන්නේ මේ මොහොතේ ඔහුට කළ හැකි හොඳ ම දෙයයි. 2015 ජනවාරි මාසයේ ජනාධිපතිවරයා වශයෙන් පත් වූ තැන් පටන් ඔහු විශ්වාස කළ පරිදි එක්සත් ජාතික පක්ෂයත් සමඟ මේ රටට යහපතක් කරන්නට දැරූ සෑම උත්සාහයක් ම අසාර්ථක වී, රට මහා අගාධයකට ඇද වැටී, මහා විනාශයක මුඛයට ළං වී තිබිය දී ඒ විනාශය වළක්වන්නට කළ හැකි හොඳ ම දේ ලෙස ඔහු මේ පියවර අනුගමනය කළ බව සිතිය හැකි ය.

2015 දී බලයට පත් වූ එජාප සන්ධාන ආණ්ඩුව යටතේ රටේ සිදු වූ වෙනස දෙස මධ්‍යස්ථ ව බලන කවරකුට වුව ද ගෙවී ගිය කාලය තුළ රට ගමන් කළේ විනාශයකට බව පැහැදිලි වනු ඇත. තිස් වසරක කාලකන්නි යුද්ධයක් අවසන් කිරීමෙන් පසු ඇතැම් සීමාසහිතකම් සහ වැරැදීම් සහිත ව වුව ද 2009 වසරේ සිට රට ගමන් කරමින් තිබුණේ වර්ධනයේ මාවතක ය. එහි අඩුපාඩු, දුර්වලතා සහ අසාර්ථකවීම් නොතිබුණා නොවේ. එහෙත් රටක් ලෙස අභිමානයෙන් යුතු ව හිස ඔසවා සිටින්නට හැකි අවකාශයක් එදා නිර්මාණය වී තිබුණු බව අගතිගාමීත්වයකින් තොර ව සිතු ව හොත් ඒ ආණ්ඩුවේ විරුද්ධවාදීන් වුව ද පිළිගනු ඇත.

2015 මහින්ද රාජපක්ෂ පාලනය ආරම්භ වන විට රට තිබුණේ යුද්ධයක භීෂණයෙන් මුසපත් වූ තත්වයක ය. යුද්ධයන් මුළු රට ම කාලකන්නි ඉරණමකට ඇද දමා තිබුණේ ය. ඇත්ත වශයෙන්ම රටේ මිනිසුන් එදා සිටියේ යුද්ධයෙන් රට බේරා ගැනීම පිළිබඳ සියලු බලාපොරොත්තු අත්හැර දමා තිබුණු තත්වයක ය.

එහෙත් අවසානයේ කිසි දු විසඳුමක් පලදායක නොවී යුද්ධය හැර අන් කිසිවක් ම වලංගු නොවූ නිමේෂයක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ත්‍රස්තවාදය පිටුදැකීම සඳහා අවසාන පිළියම වශයෙන් ත්‍රස්තවාදය විසින් ම ඉල්ලා සිටි යුද්ධය තෝරා ගත් විට මේ රටේ මිනිස්සු ඒ වෙනුවෙන් කළ හැකි සියලු කැපවීම් කළෝ ය. රාජ්‍ය නායකයා ලෙස ඔහුත් ඔහුගේ ආණ්ඩුවත් යුද්ධය අවසන් කරනු ඇතැයි ඔවුහු විස්වාස කළහ. සැබැවින් ම ඔවුන්ගේ විස්වාසය පල දැරුවේ ය. ඔවුන්ගේ කැපවීම අපතේ ගියේ නැත. සියලු දුෂ්කරතා විඳ ගනිමින් ඔවුන් බලාපොරොත්තු වූයේ යුද්ධයේ පීඩාව පිටුදැකීමයි. 2010 ජනාධිපතිවරණයේ දීත් මහ මැතිවරණයේ දීත් මේ රටේ ජනතාව මහින්ද රාජපක්ෂ පාලනයට නැවත වරක් රට බාර දෙන්නට තීරණය කළේ ඒ නිසා ය.

2015 දී කුමන්ත්‍රණකාරී ලෙස පැහැර ගන්නා ලද්දේ ජනතාවගේ ඒ විස්වාසයයි. වංචාකාරී ලෙස කොල්ල කන ලද්දේ රට වෙනුවෙන් කැප වූ ඒ ජනතාවගේ අනාගතයයි. අද අලුත් අගමැතිවරයා පත් කිරීම ව්‍යවස්ථා විරෝධී යැයි තර්ක කරන සියලු දෙනාට අමතක නමුත් හෝ අමතක යැයි පෙන්වන නමුත් 2015 ජනවාරි 09 දා වර්තමාන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසයෙන් පත් වී සිටි අගමැතිවරයකු සිටිය දී, අඩු වශයෙන් ඔහු ධුරයෙන් ඉවත් කිරීමක් පවා නොකර, පාර්ලිමේන්තුවේ සුළුතරයක් වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කළේ ය. එදා ඔවුන්ගෙන් කවරකු වත් රනිල් වික්‍රමසිංහගේ පත්වීම නීති විරෝධී යැයි ව්‍යවස්ථා විරෝධී යැයි කීවේ නැත.

බලය අහිමිවීමේ වේදනාව

ජනාධිපතිවරණයේ දී සංඛ්‍යාත්මක වශයෙන් පිළිබිඹු වූ ජනමතය අනුව හෝ වේවා එදා ජනාධිපතිවරයා අනුගමනය කළ ඒ පියවරට ජනතාව හෝ එවකට පැවැති ආණ්ඩුව හෝ විරෝධය ප්‍රකාශ කළේ නැත. අද නව අගමැතිවරයා පත් කිරීම ව්‍යවස්ථා විරෝධී යැයි මුරගෑම බලය අහිමි වීමේ වේදනාව දරා ගැනීමට නොහැකි වීම විසින් ඇති කරන ලද ප්‍රතික්‍රියාවක් නොවේ නම් නිසැක ව ම දේශපාලන තක්කඩිකමකි.

ගෙවී ගිය අවුරුදු හතරකට ආසන්න කාලය පුරා රට ගමන් කරමින් තිබුණේ ප්‍රගතියේ මාවතක නොව අගතියේ මාවතක ය. එය එසේ නොවේ යැයි කවරකු හෝ තර්ක කරන්නේ නම් එය ද සැලකිය යුතු වන්නේ දේශපාලන අඳබාලකමේ ප්‍රකාශනයක් හෝ, දේශපාලන කුහකකමේ ප්‍රකාශනයක් හෝ දේශපාලන තක්කඩිකමේ ප්‍රකාශනයක් වශයෙනි. සියලු අංශවලින් රට ගමන් කරමින් තිබුණේ ඉදිරියට නොව ආපස්සට ය. රට දශමයකින් හෝ ඉදිරියට ගෙන යෑමේ වැඩපිළිවෙළක් තබා ඕනෑකමක් වත් අගමැතිවරයාගේ සිට ඒ ආණ්ඩුවේ කිසිවකුට තිබුණේ නැත.

පසුගිය අවුරුද හතරකට ආසන්න කාලය තුළ ආර්ථික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් රටට සිදු වූ යහපතක් නැත. රටේ ආර්ථිකය ආපසු ගොඩගැනීමක් නැතැයි බලාපොරොත්තු සුන් වන අගාධයකට ඇද වැටී අවසන් ය. බැඳුම්කර වංචාව නිසා ආර්ථික දේහයට සිදු වූ බරපතළ තුවාල අවුරුද තිහකින් මෙපිට සුව කළ නොහැකි ඒවා ය. ඒ තුවාල විසින් ආර්ථික දේහයට සිදු කරන ලද හානිය රටේ සියලු අංශවලට වේදනාකාරී ලෙස දැනෙමින් තිබුණේ ය. දිනෙන් දින අගය වැඩි වන ඩොලරය හමුවේ අවසානය කොතන දැයි හිතා ගන්නට බැරි අගාධයක් වෙත මුළුමහත් ආර්ථිකය ම වේගයෙන් ඇදී යමින් තිබුණේ ය.

ස්ථාවර රටක්

නව අගමැතිවරයකු පත් කිරීම නිසා ඒ පරිහානියේ ගමනට තිතක් තැබුණේ ය. නව අගමැතිවරයා පත් කිරීම ගැන දේශපාලන වශයෙන් විවිධ විග්‍රහ ඉදිරිපත් කරන සියලු දෙනාට එය පිළිගැනීමට සිදු වෙයි. එසේ නොවන්නට කවර පාලකයකුට වත් කවර ආණ්ඩුවකට වත් යළි ගොඩ ගත් නොහැකි අඳුරු ආවාටයක් වෙත මේ රට ඇදී යෑම වැළැක්විය නොහැකි යථාර්ථයක් බවට පත් වෙමින් තිබුණේ ය. නව අගමැතිවරයකු පත් කිරීම විසින් රටට ලැබුණු ඒ යහපත් ප්‍රතිඵලය අගතිලාමීත්වයකින් තොර ව පිළිගත යුතු ය.

එහෙත්... මහින්ද රාජපක්ෂ මහතා අගමැති වශයෙන් දිවුරුම් දුන් පමණින් සියල්ල විසඳෙන්නේ නැත. ප්‍රාතිහාර්යයකින් මෙන් සියල්ල එක් වර කණපිට හැරී රටේ ගමන විනාශයේ මාවතෙන් ඉවත් වී සංවර්ධනයේ ගිරිමුඳුනට ළං වන්නේ නැත. සියල්ලට පෙර රට ස්ථාවර කළ යුතු ය. ආර්ථික හෝ සමාජයීය හෝ සංස්කෘතික හෝ වේවා අලුත් ගමනක් ආරම්භ කළ හැකි වන්නේ රට දේශපාලන වශයෙන් ස්ථාවර වන්නේ නම් පමණකි.

රටක දේශපාලන ස්ථාවරයක් ඇති කරන ප්‍රධාන සාධකය ලෙස ක්‍රියා කරන්නේ ස්ථාවර ආණ්ඩුවක් තිබීමයි. දැන් අපේ රටේ දේශපාලන අස්ථාවරභාවයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ අන් කිසිවක් නොව පැහැදිලි බලයක් සහිත ස්ථාවර ආණ්ඩුවක් නොතිබීමයි. ඒ දේශපාලන ස්ථාවරය ඇති කළ හැක්කේ කෙසේ ද? ඊට ඇත්තේ එක ම එක ක්‍රමවේදයක් පමණි.

ඒ ක්‍රමවේදය අන් කිසිවක් නොව රටේ ජනතාවගේ අභිමතය පරිදි පැහැදිලි බලයක් සහිත ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා ඔවුන්ට අවස්ථාව සලසා දීමයි. ස්ථාවර අණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා ජනතාවට අවස්ථාවක් ලැබෙන්නේ මහ මැතිවරණයක දී ය. එබැවින් රටේ දේශපාලන ස්ථාවරයක් ඇති කිරීම උදෙසා මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය පියවරකට යෑම නව අගමැතිවරයාගේත් සමස්ත පාර්ලිමේන්තුවේත් වගකීම විය යුතු ය.

එසේ නොවන කවර පියවරකින් වුව ද ජනතාවගේ අපේක්ෂා ඉටු කෙරෙන ඉදිරි ගමනක් බලාපොරොත්තු විය නොහැකි ය. නව අගමැතිවරයාගේ පත්වීම රටේ ජනතාවගේ පාර්ශ්වයෙන් අර්ථපූර්ණ වන්නේ මහ මැතිවරණයක ට ගොස් රට තුළ දේශපාලන ස්ථාවරභාවයක් ඇති කර ගන්නට සමත් වුව හොත් පමණකි.

 

ධර්ම ශ්‍රී කාරියවසම්

නව අදහස දක්වන්න