නිහැ­ඬි­යාවේ සංගී­තය | දිනමිණ

නිහැ­ඬි­යාවේ සංගී­තය

අන්ද්‍රියා බොචෙ­ලි

ලෝක ප්‍රකට ටෙනර් ගායකයකු වන ඉතාලි ජාතික අන්ද්‍රියා බොචෙලිගේ (Andrea Bocelli) 60 වන උපන් දිනය පසුගිය සැප්තැම්බර් 22 වන දිනට යෙදී තිබුණි. ඒ නිමිත්තෙන් ලොව පුරා වෙසෙන විශිෂ්ට කලාකරුවන් රැසක් සුප පැතුම් පිරිනමන අයුරු අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය ජාලා හරහා දක්නට ලැබුණි.

ටොම් කෘෘස්, සිල්වෙස්ටර් ස්ටලොන්, එල්ටන් ජෝන්, අල් පචීනෝ වැනි දැවැන්ත බොලිවුඩ් නළුවන්ද ඒ අතර විය.

ඇතැමෙක් පවසන්නේ බොචෙලිගේ හඬ දෙවැනි වන්නේ ටෙනර් ගායනයේ අති විශිෂ්ට ලුසියානො පවරෝට්ටිට පමණක් බවයි.

සුප්‍රකට හා අතිදක්ෂ ගායිකා සෙලීන් ඩියෝන් වරෙක පවසනුයේ දෙවියන් වහන්සේ කෙදිනක හෝ ගායනා කළ හොත් ඔහුගේ හඬ බොහෝ දුරට අන්ද්‍රියා බොචෙලිට සමාන වනු ඇති බවය. ප්‍රසිද්ධ ගී තැටි නිෂ්පාදක හා සංගීතඥ ඩේවිඩ් ෆොස්ටර් පවසන්නේ ලොව ඇති මධුරතම හඬ අන්ද්‍රියා බොචෙලිගේ බවය.

සිය සංගීතමය ජීවන චාරිකාව තුළ බොචෙලි ලැබූ සම්මාන සහ ජයග්‍රහණ බොහෝය.

1999 දි ඔහුගේ ‘ද ප්‍රෙයර්‘ (the prayer) නම් ගීතය හොඳම ගීතයට හිමි ගෝල්ඩන් ග්ලොබ් සම්මානයට පාත්‍ර වන්නේය. ඔහුගේ ‘සේක්රඩ් ඒරියාස්‘ (Sacred Arias) ඇල්බමය 2003 වසරේ හොඳම ගීත ඇල්බමයට හිමි බ්‍රිට් සම්මානය ලබාගන්නා සේම අඛණ්ඩව අමෙරිකානු ශාස්ත්‍රීය ඇල්බම නාමාවලියේ ඉහළ ස්ථානයන්හි රැඳී තිබීමෙන් ගිනස් ලෝක වාර්තාවකටද හිමිකම් කියන්නේය. 1998 වසරේදී ‘ද පීපල්‘ සඟරාව විසින් බොචෙලිව ලොව සුන්දරතම මිනිසුන් පනස් දෙනාගෙන් එක් පුද්ගලයකු ලෙස නම් කෙරිණි. 2014 වසරේදී බිල්බෝඩ් (Billboard) ලතින් සම්මාන උළෙලේදී ඔහු සුවිශේෂී වූ කලාකරුවකුට හිමි වන ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබීය.

1958 ඉතාලියේ ටස්කාන්හි මිදි වතුවලින් පිරි කුඩා ගම්මානයක උපත ලැබූ බොචෙලි බාලවියේ සිට පෙනීමේ දුර්වලතාවකින් පෙළුණේ ය. වයස අවුරුදු දොළහේ දී පාපන්දු ක්‍රීඩාවේ යෙදී සිටියදී වැදුණු පහරකින් (දැල්පන්දු ‍රකින්නා ලෙස සිටියදී) ඔහු සම්පූර්ණයෙම අන්ධභාවයට පත් විය. සිය දරුවාට සැනසීම ලබා දෙනු පිණිස දෙමව්පියෝ ඔහු පියානෝ වාදනයට යොමු කළහ. උපතින්ම සංගීත කුසලතාව උරුම වී සිටි බොචෙලි පියානෝවෙන් නොනැවතී බටනලාව, සැක්සෆෝනය, ට්‍රොම්බෝනය, ගිටාරය වැනි සංගීත භාණ්ඩ රැසක් ම වාදනය උගත්තේය. ඒ අතරම වයස අවුරුදු දාහතරේදී ‘sole mio‘ ගීතය ගායනා කරමින් ගායනා තරගයකින්ද ජයග්‍රහණය කරනුයේ වාදකයෙක්ට වඩා සුවිශේෂී ගායකයකු ද ඔහු තුළ සැඟව සිටි බව පළමුවරට ලොවට හෙළි කරමිනි.

කෙසේ වෙතත් බොචෙලි උසස් අධ්‍යාපනය අරඹන්නේ නීති අංශයෙනි. ඒ සඳහා අවශ්‍ය විය පැහැදම් සොයාගනු පිණිස ඔහු රාත්‍රී අවන්හල්වල ගීත ගායනා කරන්නට විය.

බොචෙලිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වනුයේ ඔහුගේ ගායනයන් සහිත හඬ පටයක් ඉතාලි ඔපෙරා ගායනයේ සක්විති ලුසියානෝ පවරෝට්ටි අතට පත් වීමත් සමඟය. ඒ ඉතාලි රොක් ගායක සුචෙරො මාර්ගයෙනි. ඒත් සමඟම හේ සුචෙරොගේ සංගීත ප්‍රසංග සංචාරයකටද ඇරයුම් ලබන්නේය.

ඉන්පසුව ‘පවරොට්ටි ඉන්ටර්නැෂනල්‘ වාර්ෂික ප්‍රසංගයේ ගායනා කිරීමටද වාසනාවන්ත වන්නේය.

පොප් ඔපෙරා, ලතින් ඔපෙරා, සම්ප්‍රදායික පොප්, සහ ශාස්ත්‍රීය ගායනා ආදී ශානර ගණනාවක ඔහුගේ ගායන ශෛලිය විහිදේ.

ඔහුගේ ලෝක සංචාර ප්‍රසංගවලදී මිල අධික ප්‍රවේශ පත්‍ර පවා අලෙවි වන්නේ ප්‍රසංගයට මාස ගණනකට කලියෙනි. ප්‍රේක්ෂකාගාර, ජනාධිපතිවරු අගමැතිවරු ආදී සුවිශේෂී පුද්ගලයන්ගේ සිට සුප්‍රකට කලාකරුවන් හා ධන කුවේරයන්ගෙන් පිරී ඉතිරී යයි. බොචෙලිගේ ගායනා ඇතුළත් චිත්‍රපට බොහෝ නිපද වී ඇත. ඒ අතර බොචෙලි විසින්ම රචනා කරන ලද ඔහුගේ ජීවන කතාව රැගත් “නිහැඬියාවේ සංගීතය” (The Music of Silence) නමැති කෘතිය ඇසුරින් නිෂ්පාදනය වූ චිත්‍රපටය විශේෂ වේ. මයිකල් රෙඩ්ෆෝඩ් විසින් අධ්‍යක්ෂණය කරන ලද එම චිත්‍රපටයේ බොචෙලිගේ චරිතයට පණ පොවනුයේ ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවක් වන ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්‘ (Game of Thrones) තුළින් ජනප්‍රිය වූ ටොබී සෙබස්තියන් ය. මෙම චිත්‍රපටියෙහි විශේෂයක් වන්නේ බොචෙලි ඔහුගේ තරුණ කාලයේදී නිර්මාණය කරන ලද, මෙතෙක් එළි නොදැක්වූ ගීත ගණනාවක්ම ඇතුළත්ව තිබීමයි.

චිත්‍රපටයේ දැක්වෙන පරිදි සංගීතය හදාරමින් සිටින තරුණ බොචෙලි විවාහ මංගල්‍යය උත්සවයක ගීයක් ගයමින් සිටියදී හඬ දුබලව ගොස් නිවැරදිව ගායනා කිරීමට නොහැකි වී පිරිස ඉදිරියේ ලැජ්ජාවට පත් වේ. ඒ හේතුවෙන් ගායනයෙන් සදහටම සමුගැනීමට තීරණය කරන ඔහු නීතිය හැදෑරීම ට පීසා සරසවියට ඇතුළු වේ.

එහෙත් සෑම විටම ඔහු දිරිමත් කරමින් ඔහුගේ දෙමව්පියන් ඔහු පිටුපසින් සිටි බැවින් එක්තරා සංගීතය පිළිබඳ දැනුම ඇත්තෙකු ගෙන්වා තම දරුවාගේ ගායන හැකියාව පිළිබඳව අදහස් විමසා බලයි. එහිදී ඔහු පවසන්නේ බොචෙලි තුළ එතරම් දක්ෂතාවක් නැති බවත් බලාපොරොත්තු තබා නොගන්නා ලෙසත් ය. මෙබඳු අධෛර්යමත් කිරීම් බොචෙලි උපතින්ම ගෙන ආ දිව්‍යමය ප්‍රතිභාව සඟවාලීමට සමත් වූයේ නැත.

‘නිහැඬියාවේ සංගීතය‘ (The Music of Silence) ග්‍රන්ථයට බොචෙලි ගේ ජීවිතයේ නැඟීම් බැසීම් දුෂ්කරතා සහ ප්‍රේමයන් ඇතුළත් වේ. වෙනත් රචකයකුගේ උපකාරයකින් තොරව ම බොචෙලි විසින්ම බ්‍රේල් ක්‍රමය යොදාගනිමින් මෙය රචනා කොට ඇත. මෙහිදී කතාව කියවෙනුයේ “අමොස්” නමැති පිරිමි ළමයකුගේ දෘෂ්ටියෙනි.

දෙවරක් විවාහ වූ බොචෙලිට දරුවන් තිදෙනකු සිටී. ඔවුන් අතුරින් මාට්ටියෝ බොචෙලිද දක්ෂ ගායකයෙකි. ඔහු තම පියා සමඟ ද ගීත ගායනා කරයි. බොචෙලි පිළිබඳ චිත්‍රපටය ඉංග්‍රීසි භාෂාවෙන් නිපදවීම ඔහුගේ ඉතාලි රසිකයන්ට කළ අසාධාරණයක් යැයි එක්තරා විචාරකයෙක් සඳහන් කර ඇත.

එහෙත් බොචෙලි ප්‍රිය නොකරන්නකු හෝ ඔහු ගැන අසා නොමැත්තකු උසස් සංගීත රසිකයකු යැයි කිව නොහැකි තරමට ඔහු ලෝක ප්‍රසිද්ධය.

එහෙයින්ම කවර භාෂාවකින් පළ වුවද, ඔහුගේ චිත්‍රපටය රසික අවධානය දිනා ගනු ඇති බවටද කිසිදු සැකයක් නැත. එහෙත් කනගාටුවට කාරණය නම් බොචෙලිට එය නරඹනු නොහැකි වීමය.

කෙසේ වෙතත් බොචෙලි ජීවිත සිනමාව දැක ජයගෙන හමාරය. දෑස් ඇත්තෙකුට වුව ගායකයකු වශයෙන් ඔහු වැජඹෙන අග්‍රස්ථානයට ළඟාවීම අපහසුය. අන්ද්‍රියා බොචෙලි වැනි ශ්‍රේෂ්ඨයන් සැබෑ යුග පුරුෂයන්ය. එවැන්නන් ලොව පහළ වනුයේ ඉතා කලාතුරකිනි.

කපිල කුමාර කාලිංග

 

 

 

 

නව අදහස දක්වන්න