කවි­කම් ඇත්නම් රජ­කම් කුමට ද? කවි­තාවේ මිහිරි මතක | දිනමිණ

කවි­කම් ඇත්නම් රජ­කම් කුමට ද? කවි­තාවේ මිහිරි මතක

මට කවිතා යන වචනය අසන්නට ලැබෙන්නේ 2011 වර්ෂය තරම් ඈත කාලයේ දී ය. අන්තර් උසස් අධ්‍යාපන ආයතනීය නිර්මාණ කුසලතා ඇගයීමේ උළෙලක් පිළිබඳව පළමු වරට හඳුන්වා දීමත් සමඟ එම උළෙල කවිතා නමින් හැඳින්වෙන බව දැන ගන්නට ලැබිණි. කවිතා යන වචනයෙහි අරුත කුමක්දැයි බොහෝ දෙනා විමසන්නට පටන් ගත් පසු එහි අරුත, නිර්වචනය පැහැදිලි කළෝ මහැදුරු සුනිල් ආරියරත්නයෝය.'කවිතා' යන සංස්කෘත පදයෙහි, කවිත්වය, කවිකම යන අරුත් ගැබ් වී ඇත්තේ ය. ඒ කවිත්වය, කවිකම යනු ප්‍රතිභාව යි. සකලවිධ කලා නිර්මාණ ශිල්පීහු කවීහු ම වෙත්. භර්තහරි විසින් රචිත සංස්කෘත ශ්ලෝකයකින් පැවසෙන්නේ ' කවිකම ඇත්නම් රජකම කුමට ද ' කියා ය. ඒ වනාහි කවියෙහි වටිනාකමයි. අන්තර් විශ්වවිද්‍යාලයීය හා උසස් අධ්‍යාපන ආයතනීය නිර්මාණ කුසලතා ඇගයීමේ උළෙල කවිතා නමින් 2011 දී ඇරැඹුණු මොහොතේ එහි ජාතික අධ්‍යක්ෂ වූයේ සුනිල් ආරියරත්න මහැදුරුතුමන්ය. නියෝජ්‍ය අධ්‍යක්ෂ ( දමිළ ) වූයේ මහාචාර්ය එස්. මවුනගුරුය.

සාහිත්‍ය,වේදිකා නාට්‍ය පිටපත්, සිනමා, සංගීත නර්තන, විද්‍යුත් මාධ්‍ය, චිත්‍ර හා නිශ්චල ඡායාරූප ආදී අංශ සඳහා සම්මාන පිරිනැමීමට සුදුසු සරසවි මාණව මාණවිකාවන් සොයා ගැනීමේ කටයුත්ත සඳහා එතුමන් විසින් තෝරා ගත් අධ්‍යක්ෂ මණ්ඩලයක් ද ප්‍රකාශයට පත් කෙරිණ. බුද්ධදාස ගලප්පත්ති, පරාක්‍රම නිරිඇල්ල, ආචාර්ය ප්‍රණීත අභයසුන්දර, විශාරද රෝහණ වීරසිංහ, මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, ජයන්ත චන්ද්‍රසිරි, එස්.එච්.සරත්, නිව්ටන් ගුණරත්න, සුමින්ද වීරසිංහ ( පසුව ලාල් හෑගොඩ ) ආදීහු කවිතා සම්මාන උළෙල ප්‍රථම අධ්‍යක්ෂවරු වූහ. එවකට ශ්‍රී ලංකාවේ වූ විශ්වවිද්‍යාල විසි දෙකක හා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන දහහතක සිල්ප හදාරමින් සිටි යෞවන යෞවනියෝ අන්තර් විශ්වවිද්‍යාල මට්ටමේ නිර්මාණ තරගාවලියකට කවිතා සමඟ එක් වූහ. මීට පෙර එක් එක් සරසවියක් විසින් නෙක කලා උළෙල පවත්වා තිබූණ ද සමස්ත සරසවි පද්ධතියට සහභාගී වන්නට දොරගුළු විවර වූ ප්‍රථම කලා මංගල්‍යය කවිතා වීය.

කවිතා අන්තර් උසස් අධ්‍යාපන නිර්මාණ ඇගයීමේ සම්මාන උළෙල සංකල්පයෙහි හිමිකරුවා වූයේ එවකට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වූ එස්.බී. දිසානායකය. අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, තුරුණු ශක්ති වැනි සම්මාන උළෙල පවත්වා ලද අත්දැකීමෙන් යුතුව කවිතා සම්මාන උළෙල යථාර්ථයක් බවට පත් කිරීමෙහි ලා වෙහෙසුණු බව අපට මතකය. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙහි, ක්‍රීඩා හා කුසලතා , අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් ගුණවර්ධන හා සමායෝජක ආර්.එම්.පී රත්නායක ආදීහු සෙසු පිරිවර වූහ. 2013 පෙබරවාරියේ දී කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී කවිතා අවසාන සම්මාන මංගල්‍යය ගාම්භීරව පවත්වා ජයග්‍රාහී සරසවි මාණව මාණවිකාවන්ගේ කුසලතාවන්ට එම ක්ෂේත්‍ර සඳහා එතෙක් දිවයිනේ කිසිම උළෙලක පිරි නොනැමුණු අන්දමේ මූල්‍ය ත්‍යාග ප්‍රදානයක් ද සිදු වූයේ කවිතා සම්මාන සමගිනි. ස්වර්ණ පුස්තක නවකතා සම්මානයට පසුව සාහිත්‍ය ක්ෂේත්‍රයේ ( නවකතාව, කෙටිකතාව, පද්‍ය පංතිය හා ගේය පද රචනාව ) හා අනෙකුත් සියලුම තරග අංශ සඳහා ඉහළම මූල්‍ය සම්මාන පිරිනැමීම කවිතා සම්මාන උළෙල හඳුන්වා දුන් බව සිහිපත් කළ යුතුය. එක් හොඳම නවකතාවකට, ගේය පද රචනයකට, පද්‍ය කාව්‍යයකට, නර්තනයකට, චිත්‍රයකට, ගායනයකට රුපියල් ලක්ෂයක මූල්‍ය ත්‍යාගයක් පිරිනැමූ එකදු සම්මාන උළෙලක් හෝ කවිතා උළෙලට පෙර පවත්වා නොමැති බවයි අපගේ විශ්වාසය.

මෙසේ ලක්ෂයකින් බැඳි පියලි සම්මාන ලද්දෝ කවරහු ද? වෘත්තීය ලේඛක ලේඛිකාවන් ද? චිත්‍ර ශිල්පීන් ද? වාද්‍ය ශිල්පීන් ද? නැත. තවමත් තම සරසවි අධ්‍යයන ජීවිත හමාර නොකළ යෞවන යෞවනියන්ය. ලිප්ටන් වටරවුමේ හෝ වෝඩ් පෙදෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියේ අරගල කරන පිරිස් අතරම සිටිනා නිර්මාණශීලී සරසවි දූ පුතුන්මය. කවිතා පළමු සම්මාන උළෙල ලද ජයග්‍රහණ පෙන් වූ සාධනීය ලක්ෂණ නිසාම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය 2013-2014 වර්ෂ සඳහා ද කවිතා සම්මාන මගින් නිර්මාණශීලී දූ පුතුන් හඳුනාගෙන, ඔවුන් ඇගයූ, ඔවුන්ට පෙර ලෙසම ලක්ෂයෙන් බැඳි පියලි ප්‍රදානය කළ අසිරිමත් සම්මාන රාත්‍රියක් රටේ ප්‍රධාන පුරවැසියාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ඈත ගම් දනව්වලින් පැමිණ දිවයිනේ උතුරු කොනෙහි සිට රුහුණු කොන දක්වා ඇති සරසවි විදුබිම් තුළ ශිල්ප හදාරන දූ පුතුන්ගේ සැඟවුණු නිර්මාණ හැකියාවන් හඳුනාගෙන ඒවා නිසි ලෙස ඇගැයීමට රජයේ මැදිහත්වීම , අනුග්‍රහය දැක්වීම දේශපාලනයකින් තොරව අගය කළ යුතු මහානිශංස මහා ඵල ලබා දුන් සද් ක්‍රියාවක් ලෙස දකිමි.

එහෙත් අවාසනාවකට මෙන් 2015 දී තාවකාලිකව නතර වූ කවිතා සම්මාන උලෙල යළි මේ වසරේ සිට 2017-2018 සරසවි ප්‍රතිභා සම්මාන නමින් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ මග පෙන්වීමෙන් ශ්‍රී ලංකා කලා මණ්ඩලය විසින් පැවැත්වීමට තීරණය කිරීම අතිශය කාලෝචිත මහඟු තීරණයක් ලෙස දකින්නේ පූර්ව කවිතා සම්මාන උළෙල සම්මානලාභී බොහෝ සරසවි මාණව මාණවිකාවන් ගේ වර්තමාන නිර්මාණ දායකත්වය පිළිබඳ තෘප්තිමත් හා සතුටු සිතකින් දකින්නට ලැබෙන නිසාය. කවිතා සම්මාන මගින් ඔවුන්ගේ නිර්මාණ කුසලතා, දක්ෂතා, හැකියා, ඔප මට්ටම් කර ගැනීම නිසාදෝ සරසවියෙන් පිට වී වූව ද තම ක්ෂේත්‍රයන්හි දස්කම් පානු දක්නට ලැබේ. මාධ්‍ය, සංගීත හා සාහිත්‍ය ක්ෂෙත්‍ර තුළ දස්කම් පානා කවිතා සම්මානලාභීන් රැසකගේම මුහුණු මට පෙනේ. විශේෂයෙන්ම සාහිත්‍ය ක්ෂේත්‍රයේ තරග කළ හා සම්මාන දිනූ නිර්මාණකරුවන්ගේ හා නිර්මාණකාරියන්ගේ වර්තමාන කාර්ය සාධනය කවිතාව නෙළා ගත් මහරු අස්වැන්න බව විශ්වාස කරමි.

දිවයින පුරා විසිරී පැතිරී සිටි සරසවි දූ පුතුන් දහස් ගණනකගේ සාහිත්‍ය නිර්මාණ ඇගයීමේ අතිශය වෙහෙසකර, දුෂ්කර, හා අභියෝගාත්මක ව්‍යායාමයකින් පසු උළෙල ද්වයක් සඳහා සම්මානලාභීන් තෝරා ගැනීමේ දී අල්ප මාත්‍ර අසාධාරණයක්, අකටයුත්තක් නොවන පරිදි, චෝදනාවක් නොවන ලෙස එකී වගකීම ඉටු කොට ඇත්තෙමි. එය කවිතාවේ සම්මාන උළෙල ද්වයක මිහිරි මතකයකි. මා කවිතා සම්මාන උළෙල සාහිත්‍ය අංශයේ ප්‍රධානියා ලෙස මේ මහා ජයග්‍රහණය ලද්දේ කෙසේද, ඊට මහට නිදහසේ කටයුතු කරන්නට ඉඩ දී මා පිළිබඳ විශ්වාසය තැබුවෝ කවරහු ද, එලෙසම පසුගිය සම්මාන උළෙලින් බිහි වූ සරසවි නිර්මාණකරුවන් හා නිර්මාණකාරියන් කවුරුන්ද ඔවුන් අද තම ක්ෂේත්‍ර තුළ පානා හපන්කම් කවරේ ද යන්න පිළිබඳ අතීතාවර්ජනයක යෙදෙන්නට මට සිතුණේ 2018-2019 සරසවි ප්‍රතිභා සම්මාන උළෙල පිළිබඳ සිත සනසන පුවත දැකීමෙන් අනතුරුවය.

කවිතා පළමු සම්මාන උළෙලේ දී මෙන්ම දෙවන උළෙලේ දී ද මට මුහුණ පාන්නට සිදුවුණු අතැම් ප්‍රායෝගික හා වරෙක සංවේදී ස්වරූපයක් ගත් ප්‍රශ්න හමුවේ විසඳුම් සොයාගන්නට උදව් කළෝ අමාත්‍යාංශ ලේකම් මා මිත්‍ර සුනිල් නවරත්න හා ජාතික අධ්‍යක්ෂ මිතුරු මහැදුරු සුනිල් ආරියරත්නයන්ය. පළමු උලෙලේ හොඳම නවකතා අත් පිටපත ලෙස කැලණිය සරසවියේ යනුෂා ලක්මාලිගේ යක්දෙහිකන්ද, හා ජ'පුර සරසවියේ ආශා රැළපනාවගේ සළපතන මණ්ඩිය සම තත්වයේ බවයි නවකතා විනිශ්චය කළ සුනේත්‍රා රාජකරුණානායක ලේඛිකාවගේ තීරණය වූයේ. හොඳම නවකතා පිටපත් දෙකක්? රුපියල් ලක්ෂය බැගින් ත්‍යාග දෙකක්? ප්‍රශ්නය සුනිල් සමඟ කතා කිරීමෙන් පසු අප දෙදෙනාගේම තීරණය වූයේ සිසුවියන් දෙදෙනාටම ලක්ෂය බැගින් මුදල් ත්‍යාග පිරිනැමිය යුතු බවයි.

අමාත්‍යාංශ ලේකම් සුනිල් ජයන්ත මිත්‍රයාගේ ඉල්ලීම මා අපහසුවට පත් කරයි. “බැරිද බුද්ධි මේ තෑග්ග සම සමව බෙදල දෙන්න ? නැත්නම් ආපහු කියවල බලල එක දෙක කියල තෑගි දෙන්න?“ පිටපත් දෙක ලබා තිබූ ලකුණු මට්ටම වෙනස් කිරීමට සුනේත්‍රා මෙන්ම සුනිල් හා මම ද කිසි සේත් කැමති නොවීමු. රුපියල් ලක්ෂය සම සමව බෙදන්නට මගේ කිසිදු කැමත්තක් නොවිණි. “බුද්ධි ආපහු සුනිල්ට කතා කරල බලන්න“ ඒ සුනිල්ගේ උපදෙසයි. සුනිල් නවරත්න ලේකම්තුමා ද සරසවි සමයේ සිට මගේ සමීප මිතුරකු වූ බැවින්, කෙසේ හෝ දෙදෙනාටම ලක්ෂය බැගින් ප්‍රදානයට එකඟ කරවා ගත්තේ, මෙය පළමු වරට දෙන ත්‍යාගය නිසාත්, ඉදිරි තරගවල දී එසේ නොවේ යැයි පොරොන්දු වූ නිසාත්ය. අවසන ආශා රැළපනාව මෙන්ම යනුෂා ලක්මාලි ද සරසවි සිසුවියන්ව සිටියදී ම තම ප්‍රථම නිර්මාණ කාර්යය සඳහා ලක්ෂපතිනියෝ වූහ. ආශා මේ වන විට වාඩිය හා ඡේකා නමින් නවකතා දෙකක් ද, ලේ මාපිලා නමින් කෙටිකතා සංග්‍රහයක් ද පළ කරමින් ලේඛිකාවක ලෙස පාඨක ප්‍රසාදය දිනා සිටින්නීය. යනුෂා ලක්මාලි ද මඩුවන්වෙල හා නීල යන නවකතා රචනා කොට, මඩුවන්වෙල කෘතිය සඳහා 2014 ජාතික යෞවන සම්මානය ද හිමි කර ගෙන සිටී. මේ කවිතාව සොයාගත් සැඟවුණු කුසලතා නොවේද? මේ ලේඛිකාවන් දෙදෙනාටම දැන් තම කෘතියක් පළ කර ගැනීමට ප්‍රකාශකයෙක් සොයා ගැනීමේ අපහසුවක් නොවේ.

 කවිතා ඔවුන් නවකතාකාරියන් ලෙස හඳුනාගෙන ඇගයීමේ ප්‍රතිඵල ඔවුහු දැන් අත් විඳිති. ආශා රැළපනාව තම අධ්‍යයන කටයුතුවල දී ද දස්කම් දක්වන්නී සිංහල විෂය පිළිබඳ ගෞරව උපාධිය සමත්වන්නී පළමු පෙළ සාමාර්ථයක් ද ලබමිනි. ඔවුන් දෙදෙනාගේ ම ජයග්‍රාහී අත්පිටපත් ප්‍රකාශනයට කැමැත්ත පළ කළෝ සරසවි හා සුරස ප්‍රකාශකයෝය. කවිතා පළමු සම්මාන උළෙලේ දී තම පද්‍ය කාව්‍ය නිර්මාණය සඳහා රුපියල් ලක්ෂයක මූල්‍ය ත්‍යාගය හිමි කරගත් කොළඹ සරසවියේ දිනිති උත්පලා රණසිංහ සිසුවිය ද තම සිංහල ගෞරව උපාධිය පළමු පන්ති සාමාර්ථයක් සහිතව සමත්ව සරසවියේම කෙටි කලක් ආචාර්යවරියකව සිට දැන් පශ්චාද් අධ්‍යයන කටයුතුවල නිරතව සිටින්නීය. කවිතා දෙවන සම්මාන උළෙල මූලිකම වෙනස්කම වූයේ සාහිත්‍ය අංශයේ පද්‍ය කාව්‍ය, ගේය කාව්‍ය හා කෙටිකතාව වෙනුවෙන් පිදුණු රුපියල් ලක්ෂයක ත්‍යාගය නිර්මාණ සංග්‍රහයක් ( පළමුවන, දෙවන හා තුන්වන ස්ථාන සහිත නිර්මාණ දහයක් ඇතුළත් ) වෙනුවෙන් පිරිනැමීමට ගත් තීරණයයි. පෙර උළෙලේ දී මෙන්ම මෙවර ද ජයග්‍රාහී පද්‍ය කාව්‍ය, ගේය කාව්‍ය, හා කෙටිකතා සංග්‍රහ කෘති ද්වයක් මවිසින් සංස්කරණය කොට පළ කරන්නට ලැබීම කවිතාවේ තවත් මිහිරි සොඳුරු මෙන්ම අර්ථවත් මතකයකි.

 සරසවි ප්‍රකාශකයන් විසින් මේ කෘති ප්‍රකාශයට පත් කොට ඇත. දෙවන උළෙල ජයග්‍රාහී නවකතා ප්‍රකාශනය කවිතා විසින් පවරන ලද්දේ දිවයිනේ ප්‍රමුඛ ප්‍රකාශන ආයතන වන සරසවි ප්‍රකාශකයන් හා සුරස ( ෆාස්ට් ඇඩ්ස් ) ප්‍රකාශකයන්ටය. දෙවන කවිතාවේ ජයග්‍රාහී නවකතාකාරිය, මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා අංශයේ මානවිකාව, රංගනී නවෝද්‍යා සුගන්දිනී පෙරමුණ ගේ සසර යාත්‍රා නවකතාව සරසවි ප්‍රකාශකයන් විසින් ද, දෙවන හා තෙවන ස්ථාන දිනූ හංසිනී ප්‍රමුදිතා ( ජ'පුර සරසවිය ) ගේ සැඳෑ නයනිය හා කොළඹ සරසවියේ සුරන්දි දිල්රුක්ෂිගේ ගමන සුරස ප්‍රකාශකයන් විසින් ද ප්‍රකාශයට පත් කොට ඇත්තේ කවිතා මැදිහත්වීමෙනි. මෙම නවකතාකාරියන් තිදෙනා අතරින් හංසිනී ප්‍රමුදිතා මේ වන විට තම දෙවන නවකතාව ද පළ කොට සිටින්නීය. සරසවි ප්‍රකාශනයක් ලෙස ඇගේ සබැඳි අසබැඳි නවකතාව පාඨක විචාරක අවධානයට ලක් වී ඇති බව දනිමු. කවිතා දෙවන සම්මාන උළෙලට සමගාමීව ජයග්‍රාහී චිත්‍ර හා ඡායාරූප මහජන ප්‍රදර්ශන පවැත්වීමට හැකිවීම ද කවිතා සම්මාන උළෙල ලද ජයග්‍රහණ වේ.

 කොළඹ සරසවියේ නීති පීඨයේ සජානි අමරතුංග ශිෂ්‍යාව හොඳම පද්‍ය කාව්‍ය රචිකාව වන කල්හි දෘශ්‍ය හා රංගකලා සරසවියේ නිසංසලා ප්‍රසාදිනී කුමාරි ශිෂ්‍යාව හොඳම ගේය කාව්‍ය රචනයට හිමි සම්මානය දිනා ගන්නීය. මේ සම්මානලාභී මාණවක මාණවිකාවන්ගේ අධ්‍යයන පීඨ කුමක් වූවත් ඔවුන් තුළ ජීවත් වූ නිර්මාණකරුවා අප හඳුනා ගන්නේ කවිතා සම්මාන උළෙල පිහිටෙනි.

 වාස්තුවිද්‍යා අංශයේ සිසුවියක් හොඳම නවකතාකාරිය වීම, දෘශ්‍ය කලාව හදාරන මාණවිකාවක් හොඳම ගේය කාව්‍ය රචිකාව ලෙස සම්මාන ලැබීම අපට පවසන්නේ කුමක් ද? දිනිති උත්පලා රණසිංහ, මල්ෂා නිමන්ති ( ශ්‍රීපාලි මණ්ඩපය , කොළඹ සරසවිය ), වැනි ජයග්‍රාහී නිර්මාණකාරියන් මෙන්ම, ගාමිණී බස්නායක, නලින් අටුගොඩ, (කැලණිය සරසවිය ) හිමාලි කෝකිලා රණසිංහ ( ජ'පුර සරසවිය ) වැනි සම්මාන දිනූ කෙටිකතාකරුවන් හා කෙටිකතාකාරියන් සොයාගන්නට ලැබීම කවිතා වැනි උළෙලක දීර්ඝ කාලීන යහපත් ආයෝජන වේ. කවිතා සම්මාන අතර ජයග්‍රාහී සම්මාන නො ලද ද, ප්‍රශස්ථ නිර්මාණ රචනා කළ බොහෝ තරුණ පිරිස් අද දවසේ අපගේ සාහිත්‍ය ක්ෂේත්‍රය පෝෂණය කරනු පෙනේ. ළහිරු කිතලගම ( කැලණිය සරසවිය ) රජත පුස්තක සම්මානිත කවියා, ශක්තික සත්කුමාර ( කැලණිය සරසවිය ), විශ්වජිත් මනමේන්ද්‍ර ( රජරට සරසවිය ), හසිත් ප්‍රියනන්ද ගුණසේකර, ( ජ'පුර සරසවිය ) කේ .ආර්.එම්.විශ්ව ප්‍රභාත් ( කොළඹ සරසවිය ) ආදීහු මගේ මතකයට නැගෙන කිහිප දෙනෙක් පමණි. මේ යෞවන සරසවි කුසලතා සොයාගන්නට කවිතා සාහිත්‍ය ක්ෂේත්‍රයේ විනිශ්චයෙන් සම්පත්දායකයන් වූ සුනේත්‍රා රාජකරුණානායක, මහාචාර්ය සෝමරත්න බාලසූරිය, කවීන්ද්‍ර රත්න ශ්‍රී විජේසිංහ, කුලරත්න ආරියවංශ හා ලූෂන් බුලත්සිංහල ආදී පිරිසක් සමඟ කටයුතු කරන්නට ලද අවස්ථාව ද මිහිරි අත්දැකීමක්, මතකයක් ලෙස සලකමි. අවසාන විනිශ්චය පිළිබඳ කිසිදු මත ගැටුමකින්, විවාදයකින් තොරව එළැඹුණු විනිශ්චය කවිතා සාහිත්‍ය සම්මානයේ විශ්වසනීයත්වය වේ. කවිතා සම්මාන සමඟ ගෙවුණු උළෙල ද්වයේ අත්දැකීම සොඳුරු වූත් මිහිරි වූත් අපූර්ව අත්දැකීමකි. වර්තමාන සරසවි ශිෂ්‍ය ප්‍රජාවගේ හද ගැහෙනා රාවය ඔවුන්ගේ නිර්මාණ තුළින් හඳුනාගන්නට ලැබීමම සොඳුරු මතකයක් නොවන්නේ ද?

බුද්ධදාස ගලප්පත්ති


නව අදහස දක්වන්න

Or log in with...