ලේ කඳුළු හා සතුටු සිනා | දිනමිණ

ලේ කඳුළු හා සතුටු සිනා

බසයේ තදබදය කොතෙක් වුවද තෙරපෙන මගීන් අතරේ මුස්ලිම් කතුන් කීප දෙනෙක් දැකීමෙන් මා සිත පැන නැඟි නොරුස්නා සහගත බව වියැකිණ. රැකියාව නිමවී ආපසු නිවෙස් කරා ගමන් ගන්නා මුස්ලිම් කාන්තාවන් දැකීමත් මංගල කරුණක් වන්නේ කෙසේද? මුස්ලිම් ගැහැනු දරුවන්ට අධ්‍යාපනය ලබාදීමත් එකී අධ්‍යාපනයේ සරුඵල ලෙසින් ඔවුන් රැකියාවන්හි නිරතවීමත් ප්‍රීතියට හා සැනසීමට කරුණක් නොවේද? ජාතිය ආගම කුමක් හෝ වේවා අධ්‍යාපනය ඕනෑම දරුවකුගේ මානව අයිතිවාසිකමක් බව සැබෑය. එහෙත් ඉක්මන් විවාහයකට බල කෙරෙන ජාතියක ගැහැනු දරුවන් උසස් අධ්‍යාපනය ලැබීමද රැකියාවන්හි නිරතවීමද සැබැවින්ම රටකට මංගල කරුණක්මය.

අධ්‍යාපනය ඕනෑම ජීවිතයක් ආලෝකමත් කරන බව අප අමතක නොකළ යුතුයි. ඒ ආලෝකයේ සැනසීම සහෝදර ජාතියක කාන්තාවන් විසින් අත්පත් කර ගැනීම පිළිබඳව සතුටු නොවී සිටින්නේ කෙසේද? ගර්භණී මුස්ලිම් කාන්තාවක් බසයට නැඟි කෙනෙහි මගේ ගමන් සගයා සංජීවනී නංගි වහා නැගිට අසුන පරිත්‍යාග කළාය. අතිශය සුන්දර හා කාරුණික හසරැල්ලක් පෑ ඒ තරුණ ගර්භණී කාන්තාව ඇගේත් මගේත් සිත් පහන් කළාය. පර්දාවෙන් හිස වසාගත් ඒ සියුමැලි සොඳුරු ලලනාවන් මඟතොට දැකීමෙන් මා ලබන්නේ මහත් වූ සොම්නසකි. ඇගේ ඒ ආගමික හා සංස්කෘතික සංකේතය ඉවසන්නට අපට නොහැක්කේ මන්ද? ඔසරිය සිංහල අනන්‍යතාව විදහාපාන්නේ නම් මුස්ලිම් පර්දාවද දෙමළ මොට්ටුවද එපරිද්දෙන්ම මුස්ලිම් හා දෙමළ අනන්‍යතා විදහාපාන බව අපි සිහි තබා ගනිමු.

විවිධ ජාතීන් හා විවිධ සංස්කෘතීන් උයනක නේක වර්ණ මල් මෙන් රටක් සුන්දරත්වයෙන් පරිපූර්ණ කරවන බව දකින්නට හඟින්නට අප අපොහොසත් වන්නේ නම් අප ලැබූ මනුෂ්‍යත්වයේ අරුත කුමක්දැයි මා කල්පනා කරන්නේ ළතැවුළෙනි. මුස්ලිම් පර්දාව ද දමිළ තිලකය ද ඉවසන්නට අප පුරුදු පුහුණු විය යුත්තේ ජාතික සමගියට පමණක් නොවේ. රටක් සංවර්ධනයට හා රටක සමෘද්ධියට මෙන්ම අනාගත පරපුරේ අභිවෘද්ධියට ද එය බෙහෙවින් ඉවහල් වන බැවිනි.

බලය එකම අරමුණ වූ දේශපාලනඥයන්ගේ ද ලාබය ආත්මය කර ගත් ව්‍යාපාරිකයන්ගේ ද පහත් හා පටු න්‍යාය පත්‍ර උදෙසා රටක සාමය හා සහජීවනය ද බිලි දිය යුතු නැත. ජීවන බරින් හෙම්බත් වූ පුරවැසියන් හට එක් ගිනි පුපුරක් අග්නි ජාලාවක් මවන්නට සෑහෙන බව ද අප කෙසේ වෙතත් රට කරවන ඇත්තෝ සිහිතබා ගත යුතුය. නැතහොත් ජාතිය හා ආගමේ නාමයෙන් මිනී මරා ගන්නා රටක් ලෙස ලෝකයේ අප්‍රසාදයට ලක්වෙමින් වළපල්ලට යාම තෝරා ගත ගත හැකිය.

එමෙන්ම එවන් ජාතීවාදී දුෂ්ට ප්‍රයත්න සම්බන්ධයෙන් නොපමාව කටයුතු කළ යුතුය. කඩසාප්පු මංකොල්ලකා ගිනි තබන තුරු ජාතිය ආගම වැනි අතිශය සරල සංවේදී කරුණක් මත මිනිසකු හට ජීවිතය අහිමිවන තුරු උඩ බලාගෙන ඉන්නට නම් රටකට පාලනයක් උවමනා නොකෙරේ. ජාතිවාදයේ ගින්නෙන් දැවුණු ගම්බිම් හා නගර ලැයිස්තුවට තවත් නම් එකතු වන්නට ඉඩ හැර මුනිවත රැක අනතුරුව සියල්ල ගිනිගෙන දැවී විනාශ වූ කල කිඹුල් කඳුළු හෙලන්නට පාලකයන් උවමනා ද?

යම් නගරයක සිංහල ව්‍යාපාරිකයන් එකමුතු වී කවර හෝ සංවිධානයක් අටවාගෙන ප්‍රිය සම්භාෂණ හා විනෝද ගමන් සංවිධානය කිරීමේ කිසිදු වරදක් නැත්තේය. එහෙත් එකී සංවිධානයන්හි සැබෑ අරමුණ හා ඕනෑ එපාකම් වටහා ගැනීම් සොයා බලා හෙළිදරව් කරගැනීමේ ක්‍රමවේදයක් රජයේ රහස් ඔත්තු සේවාවන් වෙත තිබිය යුතුය. මුස්ලිම් කඩසාප්පු වැඩියෙන් තිබෙන නගර පිළිබඳව හෝ වැඩි අවධානයක් ආරක්ෂක අංශ විසින් දැක්විය යුතුය. එහෙත් අවාසනාවට කරුණ වන්නේ ආරක්ෂක අංශයන්හිද ජාතිවාදයෙන් මත්වූ පිරිස් ජාතිවාදී කලකෝලාහලවලට උඩගෙඩි දීමය. නැතහොත් සහෝදර ජනවර්ගයා තලා පෙළා දමන තෙක් මුනිවත රකින්නට පුරුදු වීමය. එවිට නීතිය හා යුක්තිය පසිඳලන ආයතනද එලෙසින් අන්තවාදී වූ විට සහෝදර ජනවර්ගයා පත්වන අසරණ තත්ත්වය තේරුම් ගන්නට මහජාතියට පිළිවන් විය යුතුය.

‘මුස්ලිම් කඩ වෙනුවට සිංහල කඩ’

ඒ ඇතැම් අන්තවාදී ජාතිවාදී සංවිධානවල ආදර්ශ පාඨයයි. එය කොතරම් බිහිසුණුද යන වග වටහාගන්නට තවත් ප්‍රමාද විය යුතු නැත. සිංහල ව්‍යාපාරිකයන්ට රුකුල් දෙන රාවණා බලය, මහසොහොන් බළකාය හා බොඳු බල සේනා වැනි සංවිධාන පිළිබඳව නොතකා නිහඬව ඉන්නට රජය වෑයම් කරන්නේ නම් එය සුළු ජන කොටස්වලට කරනු ලබන දරුණු අසාධාරණයකි. බරපතළ වෙනස්කමකි.

දේශපාලනඥයා හට ජාතිවාදය නිධානයක් බඳුය. එහෙත් රටකට එය කුණු වී ඕජස් ගලන තුවාලයකි. වණයකි. ඔඩු දිවීමෙන් පසුව පයක් කපා දමනවා හැරුණු කොට වෙනත් ප්‍රතිකර්මයක් නැත්තේය. රටක අභිවෘර්ධිය වනසා දමන්නට ජාතිවාදය කොතෙක් දුරට ඉවහල් වන්නේද යන වග අවබෝධ කර ගන්නට අපට වඩා හැකියාවක් ඇත්තේ වෙන කාටද...? අපි කාලාන්තරයක් මුළුල්ලේ එයින් දුක් වින්දෙමු. අනාගතයේදීත් ජාතිවාදයේ අග්නියෙන් මේ සුන්දර දිවයින දැවී යන තෙක් නිහඬව නොසිට යම් සාධනීය ක්‍රියාමාර්ග ගන්නට රජය වගබලාගත යුතු බව අවධාරණය කරමු.

ශාන්ති දිසානායක


නව අදහස දක්වන්න

Or log in with...