දඹ­දිව ගම­නක මතක සට­හන් | දිනමිණ

දඹ­දිව ගම­නක මතක සට­හන්

ඔක්තෝබර් මාසෙ මුල් භාගයේ මට දඹදිව චාරිකාවක යෙදෙන්න අවස්ථාව ලැබුණා. ඇත්තටම කියනවා නම් ඒක සාමාන්‍ය චාරිකාවක් නෙවේ. ලාංකික බොදු බැතිමතුන් මහත් බැතියෙන් යෙදෙන දඹදිව වන්දනා ගමනකට එක් වීමක් කීවොත් තමා වඩා නිවැරදි. සංචාරකයෙක් හැටියට වන්දනා නඩයකට එකතු වුණත් සංවිධායකයන්ගේ දැඩි කාල සටහනට අනුව සිද්ධස්ථාන දැක බලා ගන්නවා හැරෙන්නට නිදහසේ රට තොට දැකගැනීමේ වරම වන්දනා නඩයක සාමාජිකයකුට කවදාවත් හිමි වන්නේ නැහැ. දඹදිව වන්දනා චාරිකාවකදී තමන්ට ඕනා හැටියට රට තොට දැක බලාගන්න බැරි බව කලින් අසා තිබුණත් එය මෙතරම්ම දුෂ්කර කාර්යයක් බව මම තේරුම් ගත්තේ දිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන් තොටින් ඉන්දියාවට ගොඩබැස්සටත් පසුවයි.

මා එකතු වුණු නඩය හතළිහකින් විතර සමන්විත වූ අතර ඔවුන් සැමදෙනාම පාහේ වයස අවරුදු 60 ඉක්ම වූ අය බවත් කිව යුතුයි. එහි දක්නට ලැබුණු අනෙක් විශේෂත්වය තමා නඩයේ අති බහුතරය හෙවත් සීයට අනූවක් පමණම කාන්තාවන් වීම. මෙයත් හරියටම අද පන්සල් වටා වැඩි කාන්තාවන් සංඛ්‍යාවක් එක්රොක්ව සිටිනවා වගේම සුලබ කාරණයක් කියලයි මටනං හිතෙන්නේ. වන්දනා නඩයක කාන්තා ප‍්‍රතිශතය වැඩි වූ තරමට සංවිධායන්ගේ සතුටද වැඩි වෙනවා. මොකද මේ සියලූ දෙනාම පාහේ දඹදිව වැඳලා මළත් කමක් නැහැ කියමින් ගමනට එක් වූ අය නිසා. ගමනේදී ඇති වන හැම දුෂ්කරතාවක්ම කිසිම කන්කෙඳිරිගෑමකින් තොරව ඉවසා දරා සිටීම මේ උපාසක මාතාවන්ගේ සිරිතක්. මේ ගතිලක්ෂණය හොඳින් දන්නා සංවිධායකයන් ඒ මෑණිවරුන්ගේ බැති සිත් අපූරුවට ගසා කනවා. මගේ සංචාරක සිහිනය සැබෑ කරගන්න දහසකුත් එකක් බාධක මැද දැරූ උත්සාහයන් වගේම සංවිධායකයන් විසින් මොන්ටිසෝරි දරුවන් මෙන් බැතිමතුන් හසුරවනු ලැබූ හැටිත් ඉඩක් ලැබෙන විදිහට ඉදිරියේදී ඔබට කියන්නයි බලාපොරොත්තුව. අහම්බෙන් ලැබුණු අවස්ථාවක් ප්‍රයෝජනයට ගනිමින් බුද්ධගයාවේ වීදි පුරා ඇවිදිමින් දවසක් ගත කළ සැටි මේ ලිපියෙන් ඔබට විස්තර කරන්න මා කල්පනා කළේ ඒ වැඩේට මුල පිරීමක් වශයෙනුයි.

ඒ අහම්බ අවස්ථාව උදා වුණේ මෙහෙමයි. මේ වන්දනා ගමනේ ඉතා වැදගත් අවස්ථාවක් ලෙස සැලකෙන්නේ බුද්ධගයා විහාරය වැඳ පුදාගැනීමයි. බැතිමතුන්ට සිල් සමාදන් වීමට කටයුතු සම්පාදනය කර තිබුණෙත් මේ සිද්ධස්ථානයේදි. ලොව නන් දෙසින් දහස් ගණනින් සංචාරකයන් ඇදී එන බුද්ධගයාව දැඩි විනය නීති මාලාවකින් පාලනය වන බව සංවිධායකයන් දැනුම් දී තිබුණෙ කල් ඇතිවමයි. ඒ අනුව මොබයිල් දුරකථන, කැමරා ආදි කිසිම විද්යුත් උපකරණයක් පුදබිම තුළට ගෙන යාම සපුරා තහනම්. අපේ නඩයේ සිටි බැතිමතිනියකගේ ගමන් මල්ලේ මොබයිල් ෆෝනයක් තිබීම හේතුවෙන් ඇයට පුදබිමට ප‍්‍රවේශ වීමට අවසර දුන්නේ නැහැ. මේ ෆෝනය තම මල්ලේ තිබෙන බව ස්කෑනයට එය හසුවන තුරුම ඇය දැන සිටියෙත් නැහැ. ඇයට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග දෙකක් තිබුණා. එම විද්යුත් උපකරණය කුණු කූඩයට දමා විහාර භූමියට පිවිසීම හෝ උපකරණයද රැගෙන ආපසු හැරී යාමයි. සිල් ගැනීමටද සූදානම්ව පැමිණ සිටි ඇය මින් මහත් කම්පනයට පත් වුණා. එය වටිනා ෆෝනයක් නිසා වගේම අනෙකෙකුගෙන් ඉල්ලාගෙන ආ එකක් නිසාත් එය ඉවත දැමීමට වගේම බුද්ධගයාව නොවැඳ ආපසු යන්න කැමැත්තකුත් ඇයට තිබුණේ නැහැ.

මේ වෙලාවේ ඒ සැදැහැවතියට උපකාර කළ යුතු යයි මට සිතුණා. වන්දනා නඩය අතර සිල් සමාදන් වීමට සූදානමින් නොසිටි එකම පුද්ගලයා වුණෙත් මමයි. ඇයට උදව් කිරිමට මා ගත් තීරණයට මගේ බිරිඳගේද කැමැත්ත ලැබුණට පස්සෙ ඇගේ ෆෝනය මා බාරයට අරං මම පුද බිමෙන් පිටතට එන්න සූදානම් වුණා. මේ සිද්ධිය දුටු බොහෝදෙනා එය පැසසුවේ මහා පරිත්‍යාගයක් හැටියටයි. කොටින්ම සංවිධායකයන් පවා මවිතය පළ කළා. ඒත් ඒක මට දැනුණේ වෙස් වලාගෙන පැමිණි ආශිර්වාදයක් හැටියට. (මෙතනින් එළියට පැන ගන්නේ කෙසේද කියා මම කල්පනා කරමින් සිටියදි තමා මේ සිද්ධිය වුණේ.) එදා දවල් ආහාර වේල ලබා දීමට සැලසුම් කර තිබුණෙත් බුද්ධගයා පුද බිමේදිමයි. එසේම එදින සවස් වරුවේ බෝසතුන් දුෂ්කර ක්‍රියා කළ ලෙනක් වශයෙන් හැඳින්වෙන දුර්ගේශ්වරී නැරඹීමට යාමටත් නියමිතව තිබුණා. පිටතින් ආහාරපාන නොගන්නා ලෙස මුල සිටම අපට තදබල ලෙස අවවාද කරලයි තිබුණේ. මගේ තීරණය නිසා මට අහිමි වන ඒ සියලූම දේ යළිත් මතක් කර දිමටත් අපේ කළමනාකාරවරයා අමතක කළේ නැහැ. මා ඊට එකඟ වූ පසුව, අතරමං නොවී අපගේ හෝටලය වෙත යාගත හැකිදැයි අවසාන වශයෙන් ඔහු විමසා සිටියා. උදේ බසයට නඟින්න පෙර හෝටලයේ විසිත්ත පතක් කවුන්ටරයෙන් ඉල්ලා ගත් බව මට මතක තිබුණා. හෝටලයට යාගන්න බැරි වුණත් බුද්ධගයා නගරයේ සැරිසරමින් දවස ගෙවාගන්න හිතාගෙන මම කළමනාකරුගේ සියලු කොන්දේසි පිළිගනිමින් පුද බිමෙන් පිටතට ආවා.

ඔන්න ඔය විදිහට තමා බැතිමතුන්ට මිස සංචාර ප්‍රිය මා වැන්නන්ට එතරම් ගෝචර නොවන ඔවුන්ගේ වැඩසටහන් රාමුව බිඳගෙන මම එළියට ආවේ. පාරට ආවට පස්සෙ මට දැනුණ නිදහස කියා නිම කරන්න බැහැ.

රැහැන්පටවලින් ගැටගසා තිබූ අතපය ඉන් මුදා හැරියාක් බඳු සහනයක් මට දැනෙමින් තිබුණා. මුලින්ම කළ යුත්තේ හෝටලය සොයාගෙන ගොස් ඒ වන විට මා සැරසී සිටි ධවල වස්ත්‍රවලින් මිදීමයි. (බුද්ධගයාවට ඇතුළු වීමේදී අනිවාර්යයෙන්ම සුදු වතින් සැරසී සිටිය යුතු බවත් සංවිධායකයන් පනවා තිබු තවත් කොන්දේසියක්. මෙය ලාංකික වන්දනා ගමන් සංවිධායකයන්ගේ නීතියක් මිස බුද්ධගයා විහාරයේ නීතියක් නොවන බව එහි එන විදේශිකයන්ගේ වෛවර්ණ ඇඳුම් දෙස බලන විට පෙනී යනවා.) හෝටලයේ නම කියමින් පොලිස් නිලධාරීන් කීප දෙනකුගෙන්ම මඟ විමසුවත් හින්දි බස පමණක් දැන සිටි ඔවුන්ගෙන් මට කිසිම සෙතක් වුණේ නැහැ. අවසානයේ ත්‍රීරෝද රියැදුරෙකුට කාඩ්එක පෙන්වා හෝටලය වෙත සම්ප්‍රාප්ත වුණා. ඒ හෝටලය නවාතැන් පහසුකම් මිසක් කෑම බීම සපයන තැනක් නොවේ. ඒ හන්දා මම කළේ ඇඳුම් මාරුකරගෙන ඉවරවෙලා ගමන් මල්ලෙ තිබුණ ක්‍රීම්කැකර්ස් පැකට්ටෙක හිස් කරනඑක. සමහර විට දවසටම මගේ ආහාර වේල එපමණක් විය හැකියි. බඩ පිරෙන්න වතුරත් බීලා නාස් ආවරණය හා කැප්එකත් පැලඳ කැමරා ෆෝනයද අතැතිව මම ආයෙමත් හෝටලයෙන් එළියට බැස්සෙ නියම සංචාරකයකු විදිහට වෙස් මාරු කරගෙන.

බුද්ධගයාව කෙනෙක් අතරමං නොවන තරමෙ කුඩා නගරයක් බව මට හොඳට වැටහුණේ ත්‍රීවීලරය ආපු මඟ දිගේම ආපස්සට යනකොට. වැඩි වෙලා යන්න කලින් මම පයින්ම බුද්ධගයා විහාරය ළඟට ගියා. කොට කලිසමකින් හා ටී ෂර්ටයකින් සැරසිලා ඩෙක් සපත්තු කුට්ටමකුත් දාගෙන හිටපු මා වටේ තැරැව්කරුවන් හා හිඟන කොලු කෙල්ලන් වට වුණේ මැසි පොදියක් වගෙයි. සමහරු ඉන්දියන් සල්ලි මාරු කර දෙන්න අහනවා. තවත් උදවිය අරුමෝසම් බඩු විකූණන්න දඟලනවා. ඒ අස්සෙ නාවර පෙරාගෙන වැරහැලි ඇඳගෙන ඉන්න පොඩි උන් රොත්තෙනුත් කිසිම ගැලවීමක් නැහැ. බුද්ධගයා පූජා භූමියේ දොරකඩ සම්පුර්ණයෙන්ම පාලනය වෙන්නේ මේ කණ්ඩායම අතින් බව මට ඉක්මනටම වැටහුණා. පොලූ කෑලි අතේ තියාගෙන එහා මෙහා වෙමින් ඉන්න පොලිසියේ ඇත්තො මේ දිහා නිකමටවත් හැරිල බැලූවෙ නැහැ. ඒත් එක්කම මට බයකුත් දැනුණා , මෙහෙම ගියොත් මුන් ඔක්කොම එකතු වෙලා බුද්ධගයාව දොරකඩදිම මාව සුද්ද කරයිද කියලත්. මම හැකි වෙර යොදා උන්ව පැත්තකට තල්ලූ කර දාලා පාරෙ අනිත් පැත්තට පැනගත්තේ වෙනත් විකල්පයක් මට නොතිබුණු නිසයි.

එහි දක්නට ලැබුණෙත් හිත් සසල කරවන දසුනක්. අංගවිකල වූවන්ද ඇතුළු යාචකයන් රැසක් පවුල් පිටින් පදික වේදිකාව් එක පෙළට හිඳගෙන හිටියේ විසාලා නුවර දුර්භික්ෂ සමය මගේ මතකයට නංවමින්. උන්ගේ ආරවුල් පාලනය කරන්නටද කෙහෙදෝ වයසක රාලහාමි කෙනෙක් පොලූ කැබැල්ල එහාට මෙහාට වනමින් හිටියා. ඉස්සර අපෙ රටෙත් දකින්න තිබුණු මිනිසුන් විසින් ඇදගෙන යනු ලබන රික්සෝ වෙනුවට පාපැදියකින් නිර්මාණය කළ බයිසිකල් රික්සෝ පෙළක්ද ඊට මඳක් එපිටින් නතර කර තිබෙනු පෙනුණා. ඒ වගේම පෝනියන් බැඳි කරත්ත, විදුලි බලයෙන් ක්‍රියා කරන මෝටර් සයිකල් මුහුණු සහිත විශේෂ ත්‍රීරෝද වීදි පුරා ඒ මේ අත දිව්වේ ඇවිස්සුණු කඩිගුලක සිරිය මවමින්. මේ සියල්ල සිදු වෙමින් පවතිනුයේ බුද්ධගයාවට පැමිණෙන සංචාරකයන් ඉලක්ක කරගෙනයි. බටහිර සංචාරකයන්ට වඩා මෙහි බහුල වශයෙන් දක්නට ලැබුණේ ලංකාව, කොරියාව, බුරුමය හා තායිවානය බඳු බෞද්ධ පසුබිමක් සහිත රටවල පිරිස්. එහි සිටින තැරැව්කරුවන් හා වෙළෙන්දන් පමණක් නොව සිඟන්නන්ද එම රටවල භාෂාවෙන් සංචාරකයන් අමතන්න පුරුදු වී සිටිමද මෙහිදී දක්නට ලැබුණු තවත් විශේෂ ලක්ෂණයක්. මා ලාංකිකයෙක් බව දැනගත් සමහර වෙළෙන්දෝ “මහත්තයා ලාබෙට දෙන්නන්..එන්න එන්න ” කියා මා ඇමතුවේ හරියට කලින් දැන හැඳින සිටි අය වගෙයි.

මා එදා දවස ගත කළ හැටි, අතරමගදි මුණගැසුණු මිනිසුන්ගෙන් තොරතුරු විමසීමට ප්‍රයත්න දැරූ හැටි වගේම දිවා භෝජනය අමතක කර කීම් කැකර්ස්වලින් කුසගිනි නිවාගන්න සූදානමින් සිටි මට රසවත් දිවා භෝජනයක් ලැබුණු සැටිත් ඊළඟ දවසේ විස්තර ඇතුව කියන්නම්.

කමල් පෙරේරා


නව අදහස දක්වන්න

Or log in with...