නම්බු­කාර හිඟ­මන | දිනමිණ

නම්බු­කාර හිඟ­මන

මා ගමන් කරමින් සිටි බස්රිය නව කැලණි පාලම පසුකොට කොළඹ නගරයට ඇතුළු වූවා පමණි. ලිපි ගොනුවක් අතැති මිනිසෙක් බසයට ගොඩ වී රියැදුරු අසුනට මඳක් මෙපිටින් සිට කතා කරන්නට පටන් ගත්තේ ය. එතරම් ප්‍රබල කටහඬක් නොතිබුණ ද මේ මනුස්සයා කතා කරන්නේ රෝහල් ගතකර සිටින දරුවකු පිළිබඳව බව කාටත් වැටහිණි. ඔහු සිය දරුවාට කරන්නට නියමිත ශල්‍යකර්මයක් ගැන කීවේ ය. ඒ සඳහා වැයවන ලක්ෂ විසි ගණනක් වූ විශාල මුදලක් ගැනද කීවේ ය. ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුගේ නමක් ද, ජනාධිපති අරමුදලෙන් ලැබෙන ලක්ෂ තුනක මුදලක් ගැන ද සඳහන් විණ. කුරුණෑගල සහ තවත් නගර සභා කීපයක් ම මේ තැනැත්තා සතු ලියකියවිලි පරීක්ෂා කොට මුදල් එකතු කරන්නට බලය ලත් ලිපි නිකුත් කොට ඇතැයි හෙතෙම අවධාරණය කළේ ය. මුදල් සොයාගැනීමේ අසීරුව ගැන සඳහන් කරමින්, ලැබෙන මුදල් දරුවාගේ ශල්‍යකර්මයට හැර අන් කිසිවකට වැය නොකරන්නෙමැ’යි මගීන් ඉදිරියේ ප්‍රතිඥාවක් ද දීමෙන් සිය දෙසුම නිම කළ ඔහු කලින් බෙදා දුන් ටිකට් අතැති මගී ජනතාව වෙත එන්නට පටන් ගත්තේ ය.

මේ අපේ කාලයේ බස්රියක ගමන් කරන්නකුට අනිවාර්යෙන් ම මුහුණ දෙන්නට වන අත්දැකීමකි. ගමන දුර නම් සිය දරුවා අසනීපයෙන් පෙළෙන පියවරුන් මව්වරුන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් දෙතුන් දෙනෙක් වත් අඩු ම තරමින් බසයට ගොඩවැදෙනු ඇත.

මා ගමන් කළ බසයේ සිටි මගීහු අමුත්තා ගැන එතරම් අවධානයක් නොදැක්වූහ. එකක් නම් අතොරක් නැතිව බස්රියවල හා මහමග සිදුවන දරුවන්ගේ ලෙඩරෝග සඳහා කෙරෙන මුදල් එකතු කිරීම් අපේ රටේ ක්‍රියාත්මක කෙරෙන තවත් වංචාකාරී ව්‍යාපාරයක් බවට ජනතාව දැනුම්වත් වෙමින් තිබෙන අවස්ථාවක වංචනිකයා කවුද? අහිංසකයා කවුද? යන්න හරිහැටි තෝරා බේරා ගන්නට අසීරු තත්ත්වයක් නිර්මාණය වී තිබීම ය. අනෙක බස්රිය කොළඹ නගරයට පැමිණ තිබුණු විටෙක මගීන් විවිධ තැන්වලින් බැස යන්නට නියමිත බැවින් අවධානය තමන් බසයෙන් බහින මංසන්ධියට හෝ පාරට අවධානය යොමු කරන්නට සිදුවී තිබීම ය.

එහෙත් දරුවකුගේ විපතක් ගැන කියැවෙන විට මිනිස්සු, ගැහැනු සංවේදී වෙත්. ‘මේ නම් වංචාකාරයෙක් ය.’ යන දැඩි සිතින් ළය ගලක් කොට ගන්නා මිනිසුන්ගේ වුව ද ළය දරුවකුට වූ විපතක් යන හැඟීමෙන් සැණෙන් මලක් සේ මොළොක් වෙයි. එසේ මොළොක් වූ සිතැත්තන්ගේ පසුම්බිවලින් සැණෙන් රුපියල් දහය, විස්ස, පනහ එළියට වඩියි. ඇතැම්හු මුදල් දී තවමත් නොනැසුණු සැක ඇතිව,

“ වංචාකාරයෙක් වුණත් කමක් නෑ. මම සල්ලි දුන්නෙ දරුවෙකු වෙනුවෙන්.” මුමුණමින් බැරිවෙලාවත් හොරෙකුට අසුවී නම් සිදුවන ආත්මීය වේදනාව සමහන් කර ගනිත්.

ටික කලකට කලින් මා ගමට ආසන්න උප නගරයට බසයෙන් ගිය වෙලාවක මෙවැනි දරුවකුගේ අසනීපයක් වෙනුවෙන් මුදල් යදින්නෙකුට මුදලක් දුනිමි. මා බසයෙන් බැස යන විට මා හඳුනන්නෙක් මට දොස් කීවේ ය.

“ඇයි ඔයා අර මිනිහට සල්ලි දුන්නෙ? ඔයා දන්නෙ නැද්ද ... (ඔහු ආසන්න ගමක නමක් කීවේ ය.) ... (ඔහු මිනිහෙකුගේ නමක් කීවේ ය.) ඌ තමයි මිනිස්සු ළඟ තියන අසනීප වෙච්චි දරුවන්ගෙ ලියකියවිලි අරගෙන මිනිස්සු දාල රට පුරා ම යවල සල්ලි හොයන්නෙ. එක ලියවිලි සෙට් එකක් රට පුරාම මාස ගණනක් කරකවල ඌ ලක්ෂ ගණන්, කෝටි ගණන් හොයනව. ඇයි ඔයා වගේ කෙනෙක් ඔය වගේ හොරු පෝසත් කරන්ට සල්ලි දෙන්නෙ?”

ඔහු දිගින් දිගට ම මට දොස් කීවේ ය. මම කරබා ගතිමි. මම ඒ ව්‍යාපාරය තබා ඔහු කියන මිනිහාවත් හරිහැටි නොදැන සිටියෙමි.

මිනිස්සු මෙවැනි කුපාඩි ව්‍යාපාර කරමින් මුදල් උපයති. එසේ උපයන මුදලින් දරුවන් සුඛෝපභෝගී තාලයට පෝෂ්‍ය කරමින්, ඔවුන් ජනප්‍රිය පාසල්වලට ඇතුළු කොට, හොඳින් උගන්වති. සුපිරි වාහනවලින් යමින් එමින් විසල් නිවෙස්වල ලකේට ජීවත් වෙති. පන්සල්වල නොයෙක් පුද පූජා දෙමින් මහා දායකයකු සේ අබිසෙස් ලබති. හැබැයි ඒ මුදල් උපයන්නේ මෙවැනි බලු නොවටින ව්‍යාපාර ආදියෙනි.

ඉස්සර පුලන්නෙක් බසයට නගින විට “ඔන්න ඉන්කම්ටැක්ස් එනවා.” කියන්නට මිනිස්සු පුරුදු පුහුණු වී සිටියහ. හිඟන ව්‍යාපාරය ද මුදලාලි කෙනෙකු විසින් සංවිධිතව මෙහෙයවනු ලබන ව්‍යාපාරයක් බව අනාවරණය කරන ලදී. ඒ සඳහා පෙරමුණ ගත්තවුන් අතර අභාවප්‍රාප්ත මහාචාර්ය නන්දසේන රත්නපාලට ලැබෙන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ඔහු හිඟන්නන් අතර ගැවසෙමින් ඒ ව්‍යාපාරයේ කුප්‍රකට තැන් පුවත්පත් ලිපි හා පොතපත මගින් සමාජයට අනාවරණය කළේ ය.

අද වන විට වැරහැලි ඇඳගෙන බස්රථවලට නගින හිඟන ප්‍රජාව අඩු වී ඇත. අද ඇත්තේ වෙනස් ව්‍යාපාරයකි. නම්බුකාර වෙස් ගෙන සිය දියණියගේ අසනීපය, පුතුගේ අසනීපය මිනිස් සානුකම්පිත හැඟීම් දහරා මත ගිල්වා මුදල් උපයන ඊනියා ව්‍යාපාරයකි.

ලංකාවේ ළමා වාට්ටුවල හෘද සැත්කම්, වකුගඩු හා වෙනත් ආබාධවලට ලක්ව මුදල් වැයවෙන ප්‍රතිකාර ලැයිස්තුවේ සිටින ප්‍රමාණයට වඩා ඒ වෙනුවෙන් බස්වලට නගින, ගම්දනව්, නගර පුරා ඇවිදින පිරිස වැඩි ය.

මෙම ලිපිය ආබාදිත දරුවන් හා ඔවුන්ගේ අසරණ මාපියන්ට රිදවීමට ලියන ලද්දක් නොවේ. මේ වංචනිකයන් පිරිසක් ගැන ලියවුණකි.

 මහානාම දුනුමාල


නව අදහස දක්වන්න

Or log in with...