කථානායකගේ ලිපිය අමෙරිකාවට උඩ ගෙඩි දීමක් | දිනමිණ

කථානායකගේ ලිපිය අමෙරිකාවට උඩ ගෙඩි දීමක්

ජනාධිපතිවරයා තම බලතල ප්‍රකාරව කල් තබා ඇති පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙසට ජනාධිපතිවරයාට ලිපි යොමු කරන කථානායකවරයාගේ ක‍්‍රියාකලාපය මෙරට ස්වෛරීභාවයට හා ස්වාධීනත්වයට බලපෑම් කරන අමෙරිකාවට උඩ ගෙඩි දීමක් බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

නැවත පාර්ලිමේන්තුව කැඳවන ලෙස මෙරට ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියාගෙන් අමෙරිකානු තානාපති නිලධාරීන් කරන ලද ඉල්ලීම ද දැඩි සේ හෙළා දකින බව ද  එම පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම පෙරමුණ නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ ද සදහන් කර සිටියි.

ශ‍්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප‍්‍රධානී සහ තවත් නිලධාරියකු පසුගිය 29 වැනිදා ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා හමු වී ඇත. එහිදී ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් ඉල්ලා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තම බලතල ප‍්‍රකාරව කල් තබා ඇති පාර්ලිමේන්තුව වහා කැඳවීමට කටයුතු කරන ලෙස ය.

මෙරට ව්‍යවස්ථාදායකයේ ප‍්‍රධානියාගෙන් අමෙරිකන් රජයේ තානාපති නිලධාරීන් කළ එම ඉල්ලීම දැඩි සේ හෙළ දකින්නෙමු. එසේම කථානායකවරයා ද මෙසේ විදේශ රටවල තානාපති නිලධාරින්ට හිස නමමින් ඔවුන් හා මෙවැනි තම ධුරයට නොගැලපෙන හමුවීම් සඳහා සහභාගීවීම ද අපගේ බලවත් දෝෂදර්ශනයට ලක් වේ.

එසේම මෙවැනි බලපෑම්වලට යට වෙමින්, තමන් සතු නොවන බලයක් යොදා ගනිමින් වාරාවසාන කරන ලද පාර්ලිමේන්තුව නොවැම්බර් 16 වැනි දිනට ප‍්‍රථමව කැඳවීමට කථානායකවරයා කටයුතු කළහොත් එය මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කිරීමක් බව ද පෙන්වා දීමට කැමැත්තෙමි. අවසන් වශයෙන් ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හා ස්වාධීනත්වයට බලපෑම් කරන ඇමෙරිකා එක්සත් ජනපදයේ ක‍්‍රියාකලාපයට එරෙහිවීමට පෙරට එන ලෙස ලක්වාසී සුජාත දූපුතුන්ට ඇරයුම් කරන්නෙමු.

නව අදහස දක්වන්න