ඩුබායි සිද්ධිය ‘මට මතක නෑ’ | දිනමිණ

ඩුබායි සිද්ධිය ‘මට මතක නෑ’

අයි. සී. සියෙන් නුවන් සොයිසාට තහනමක්

 ප්‍රින්ස් ගුණසේකර

ජගත් ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ චෝදනා මත ශ්‍රී ලංකා ක්‍රිකට් අනිවාර්ය නිවාඩු යවා ඇති ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු නුවන් සොයිසා මහතා වසර 2014දී ඩුබායි හී පැවැති ක්‍රීඩා සමාජ තරගාවලියකදී මූල්‍ය ගනුදෙනු සහිත සිද්ධියකට චෝදනා ලැබූ බවත්, ඒ පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහුගෙන් කළ විමසීමකදී ‘මට මතක නෑ’ යනුවෙන් පවසා ඇති බවත් වාර්තා වේ.

ඩුබායි හී සිද්ධිය දැනගත් නුවන් සොයිසාගේ මිතුරන් කිහිප දෙනකු ජගත් ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයට තොරතුරු ලබාදීමෙන් පරීක්ෂණ ආරම්භවී ඇතැයි පැවැසේ. මිතුරන් පිළිබඳ හා අදාළ සිද්ධිය පිළිබඳ දිගින් දිගටම ප්‍රශ්න කරද්දී ‘මට මතක නෑ’ යනුවෙන් පැවැසීම ජගත් ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය ප්‍රතික්ෂේප කොට ක්‍රිකට් තහනම පැනවීමට පියවර ගෙන ඇත.

නුවන් සොයිසාගේ ජංගම දුරකතනය ජගත් ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ප්‍රධානී අලෙක්ස් මාර්ෂල් මහතා ඇතුළු පිරිස පරීක්ෂා කිරීමේදී වැදගත් සාධක ගණනාවක් තහවුරුවී ඇතැයි ද වාර්තාවේ. එම තොරතුරු අනුව නුවන් සොයිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති රීති තුනක් කඩකළ බවට දූෂණ මර්ධන ඒකකය තීරණය කොට ඇත.

නුවන් සොයිසා මහතාට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙසේ චෝදනා ගොනු කර ඇත්තේ තරග පාවාදීම හෝ එයට උත්සාහ කිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම, ඒ සඳහා ක්‍රීඩකයන් පෙළඹවීම, බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම හෝ දිරිගැන්වීම යන කරුණු වේ. එමෙන්ම ක්‍රිකට් තරගවලදී නොමනා ලෙස හැසිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම පූර්ව විස්තර සහිතව අනාවරණය කිරීමට අපොහොසත් වීම.

නුවන් සොයිසාට පැනවූ ඇති තහනමට එරෙහිව නිදහසට කරුණු ඉදිරිපත් කිරීම වෙනුවෙන් දින 14ක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලබාදී ඇත.

මේ අයුරින්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති රීති උල්ලංඝණය කළේ යයි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම තේරීම් කමිටු සභාපතිවරයකුද වන සනත් ජයසූරිය මහතාට චෝදනා එල්ල විය. පසුගිය මස 15 වැනිදා සිට දින 14 ක් ඇතුළත ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව සනත් ජයසූරිය මහතාට ලබාදී තිබිණි.

ඔහුට එරෙහි චෝදනා වූයේ ජගත් ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපොහොසත් වීම හෝ ප්‍රතික්ෂේප කිරීම. දූෂණ මර්දන කටයුතු සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්‍ෂණයකදී ඉල්ලා සිටින ලේඛන හෝ නිවැරදි තොරතුරු සම්පූර්ණ වශයෙන් සැපයීමට අපොහොසත්වීම, පරීක්‍ෂණ සඳහා බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම, ඒවායින් ආවරණය වී සිටීම, අදාළ ලේඛන නැතහොත් එවන් දූෂණ මර්ධන නීති යටතේ පරීක්‍ෂණවලට අදාළ හෝ සාක්ෂි වශයෙන් ලියකියවිලි වෙනස් කිරීම හෝ විනාශ කිරීම වැනි කරුණුය.

නව අදහස දක්වන්න