අධිවේගයට ගත් පස් බලපත්‍රයෙන් රාගම වත්තකට පස් ඇදලා | දිනමිණ

අධිවේගයට ගත් පස් බලපත්‍රයෙන් රාගම වත්තකට පස් ඇදලා

ටිපර් රථ 7ක් රියැදුරන් සමඟ අත්අඩංගුවේ

කඩවත 'සිවුමංසල' අධිවේගී මාර්ගයට යාවෙන වත්තල කෙළවරපිටිය අධිවේගී මාර්ගය සංවර්ධනය කිරීම පිණිස රජයෙන් ලබා ගත් බලපත්‍රය උපයෝගී කර ගනිමින් අවිස්සාවේල්ල රුවන්වැල්ලේ පිහිටි පස් කපන ස්ථානයේ සිට කෙළවරපිටියේ වැඩ බිම දක්වා පස් ප්‍රවාහනය කිරීමේ නිරතව සිටි ටිපර් රථ 7ක් යෝජිත ස්ථානයට නොව රාගම ඉහළගම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට එම පස් ප්‍රවාහනය කරමින් සිටිය දී රාගම පොලිසිය විසින් 31දා දහවල් රාගම ඉහළගම දී අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් අත්අඩංගුවට ගත් රියදුරන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ තමන්ට මේ ඉඩමට පස් ප්‍රවාහනය කරන ලෙස අවිස්සාවේල්ලේ පස් කපන ස්ථානයෙන් දුන් උපදෙස් මත එය සිදු කළ බවකි.

රියදුරන් මෙය වරදක් බව හිමිකරුට පැවසුව ද එකම මාර්ගයක නිසා ගැටලුවක් නොවන බැවින් පස් රැගෙන ගොස් ඉහළගම පෞද්ගලික ඉඩමට දමන ලෙස ඔවුන් උපදෙස් දුන් බව අත්අඩංගුවේ පසුවන රියදුරන් 7 දෙනා පොලිසියට පවසා ඇත. අත්අඩංගුවට ගත් රියදුරන් 7දෙනා මීගමුව අධිකරණයට ඉදිරිපත් කරන බව වැටලීම සිදු කළ නිලධාරීහූ පැවසූහ. රාගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ පැවැත්වේ.

රාගම සමූහ කුසුමලතා හැන්නදි

නව අදහස දක්වන්න