කතානායකගේ ප්‍රකාශයේ සත්‍යතාවක් නැහැ | දිනමිණ

කතානායකගේ ප්‍රකාශයේ සත්‍යතාවක් නැහැ

ස්වර්ණා විජේකෝන්

ලබන හත්වැනි දා පාර්ලිමේන්තුව රැස් කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කතානායකවරයාට කිසිසේත් එකඟතාව පළ කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

පාර්ලිමේන්තුව රැස් කිරීමට නියමිතව ඇත්තේ ලබන 16 වැනිදා බවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් තමන් වෙත එල්ල වන විරෝධය වළක්වා ගැනීම ‍වෙනුවෙන් කතානායකවරයා මෙවැනි ප්‍රකාශයක් සිදු කරන්නට ඇති බවත් අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා‍ කතානායකවරයා අතර පසුගිය දා (31) පැවැති සාකච්ඡාවෙන් පසුව ලබන හත්වැනිදා පාර්ලිමේන්තුව රැස් කරන බවට ජනාධිපතිවරයා තමන්ට දැනුම් දුන්නේ යැයි කතානායක කරු ජයසූරිය මහතා සිදුකර ඇති ප්‍රකාශයෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේ අගමැති කාර්යාලයේ දී ඊයේ (03) පස්වරුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය තමන් වෙත නොමැති බහුතරයක් පෙන්වීමට උත්සාහ දරන බවයි.

අද දිනයේ දී මෙන්ම ඉදිරි දින කිහිපය තුළ දී නව රජය සමඟ එක්වීමට සිටින එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ මානසිකත්වය බිඳ දැමීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂය මේ අසාර්ථක උත්සාහයේ නිරත වන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

වැඩි දුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා,

ඊයේ දවස පුරාම අරලියගහ මන්දිරයේ දී දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කෙරුණා. එක්සත් ජාතික පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට 2 වැනිදා උදේ 9.30 ට පාර්ලිමේන්තුවට එන්න කියල ඔවුන්ට දැනුම් දුන්නා. නව අගමැතිවරයාගේ පත් කිරීමට එරෙහිව පෙළ ගැසීමට හා කතානායකවරයාගේ බලතල අනුව පාර්ලිමේන්තුව රැස් කරන්න කියා ඉල්ලීම් කරන්නයි මේ අය කැඳවා තිබුණේ. එහෙම කියලා සියලු දෙනා‍ම පාර්ලිමේන්තුවේ කමිටු කාමරයක් වෙත කැඳෙවුවා. කතානායකවරයාත් එතැනට පැමිණියා. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධුරය ආරක්ෂා කර ගැනීමට සහාය ලබාදෙන්න කියා මේ අය ඉල්ලා සිටියා‍. මේ අවස්ථාවට දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 14ක් ද ආවා. එක්සත් ජාතික පක්ෂයේ උදවිය කිවුවේ මේ අවස්ථාවට 118 කට වැඩි සංඛ්‍යාවක් පැමිණි බවයි. නමුත් පාර්ලිමේන්තුවේ පැමිණිමේ ලේඛන අනුව මේ අවස්ථාවට ආවේ 107 යි. මේ 107 ට දෙමළ ජාතික සන්ධානය හා ජවිපෙ අයත් ඇතුළත්. මේ අවස්ථාවට පැමිණි දෙමළ ජාතික සන්ධානය හා ජවිපෙ මන්ත්‍රීවරු කිවුවේ රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කර දෙන්න කියලා නෙවෙයි, පාර්ලිමේන්තුව කැඳවන්න කියලයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පත් කළේ පසුගිය 26 වැනි දා. 27 වැනි දා පෙරවරු 10.15ට පමණ මේ පත් කිරීම පිළිබඳ කතානායකවරයා නීතිපතිවරයාගේ මතය විමසා සිටියා. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පත් කිරීම ව්‍යවස්ථානුකූලව සිදුවී ඇති බවට නීතිපතිවරයා විනාඩි 35ක් ඇතුළත තම මතය කතානායකවරයා වෙත දැනුම් දී තිබෙනවා.

කතානායකවරයාත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ‍මේ පත් කිරීම පිළිගෙන තිබෙනවා. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් මේ පත් කිරීම පිළිගෙන තිබෙනවා. නීතිඥ සංගමයේ සභාපතිවරයාත් නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පත් කිරීම ව්‍යවස්ථානුකූල බව ප්‍රකාශ කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් ඉවත්ව යන්න සූදානම්. නමුත් කිහිප දෙනෙක් එතුමාට යන්න නොදී වළක්වනවා. ඒ වගේම අද සහ ඉදිරි දිනවල බොහෝ දෙනෙක් අප සමඟ එකතු වෙනවා. ඒ බව මේ අය දන්නවා. අප සමඟ එක්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ මානසිකත්වය බිඳ දැමීමේ අපේක්ෂාවෙන් මේ අය මානසික මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව නැති බහුතරයක් තිබෙන බව කියනවා. බහුතරය පෙන්විය යුත්තේ පාර්ලිමේන්තුවේ කමිටු කාමරවල නෙවෙයි. පාර්ලිමේන්තුව ඇතුළෙයි. ඒ වගේම මේ අවස්ථාවට කතානායකවරයාත් පැමිණියා‍. එහි දී කතානායකවරයා සඳහන් කළා, ලබන හත්වැනි දා පාර්ලිමේන්තුව රැස් කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දුන් බවට. ජනාධිපතිවරයා කතානායකවරයාට එවැනි ආකාරයේ කිසිදු දැනුම් දීමක් සිදුකර නැහැ. කතානායකවරයාට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඔළුව බේරා ගැනීමේ අපේක්ෂාවෙන් මේ වගේ දෙයක් කියන්න ඇති.

නව අදහස දක්වන්න