අරලියහගහ මැඳුර අසලදී මේජර් අජිත් ප්‍රසන්නට මැර ප්‍රහාරයක් | දිනමිණ

අරලියහගහ මැඳුර අසලදී මේජර් අජිත් ප්‍රසන්නට මැර ප්‍රහාරයක්

හිටපු නියෝජ්‍ය වනජීවි ඇමැති පාලිත තෙවරප්පෙරුම සහ හේෂාන් විතාරණ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් විසින් පෙරේදා (01) සවස 3.15ට පමණ කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා සංකීර්ණය අසලදී එල්ල කරන ලද මැර ප්‍රහාරයකින් තුවාල ලැබූ මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මහතා කොළඹ මහ රෝහලේ 72 වන වාට්ටුවට ඇතුළත් කර ඇත.

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා 01වැනිදා සවස මිත්‍රයෙකු මුණගැසීමට තම මිත්‍ර හමුදා නිලධාරීන් තිදෙනෙකු සමඟ කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා සාප්පු සංකීර්ණය අසලට ගිය අවස්ථාවේදී මේ මැර ප්‍රහාරයට ගොදුරු වී ඇත.

මේ පහරදීම සිදුවූ අවස්ථාවේදී අජිත් ප්‍රසන්න මහතා අසල සිටි සිද්ධිය ඇසින් දුටු සිංහ රෙජිමේන්තුවේ මේජර් ජගත් මොහාන් ද සිල්වා මහතා මේ මැර ප්‍රහාරය පිළිබඳව මාධ්‍යට කරුණු හෙළිකරමින් මෙසේ පැවසීය.

අපි ලිබර්ටි ප්ලාසා එක ළඟට ගියේ යාළුවෙක් මුණගැහෙන්න.ඒ වෙලාවේ අරලියගහ මන්දිරයේ පිටුපස දොරටුවෙන් පැමිණි මිටි පුද්ගලයෙක් මේජර් අජිත් ප්‍රසන්න මහතා දෙස විමසිල්ලෙන් බලා ඉඳලා ඒ අසල තිබුණු දුරකථන කුටියකින් කාටදෝ ඇමතුමක් ගන්නවත් අපි දැක්කා. මම අජිත් ප්‍රසන්න මහතාට ඒ බව කිවුවා. මාව දන්න කෙනෙක් වෙන්න ඇති කියලයි එයා කිවුවේ.

මොහොතකින් අපි හිටිය තැනට පාලිත තෙවරප්පෙරුම සහ හේෂාන් විතාරණ එක්ක 15 ක විතර මැරවරයන් ඇවිත් උඹලා මෙහෙ මොකට ආවද කියලා අජිත් ප්‍රසන්න මේජර් වරයාට පහර දෙන්න පටන් ගත්තා.එතුමා බිම වැටිලා ඉද්දිත් අතින් පයින් පහර දුන්නා.පාලිත තෙවරප්පෙරුම ඇතුළු මැරවරයන්ට අපි කොල්ලුපිටියට ආපු හේතුව කිවුවට ඔවුන් ඒ ගැන ඇහුම්කන් දුන්නේම නෑ.පහර කාගෙනම අපි කොල්ලුපිටිය පොලිසියට ගියා.මූණට එල්ල උණු දරුණු පහරවල් නිසා මේජර්ගේ නළලෙන් ලේ ගලද්දි අපි ඔහුව කොළඹ ජාතික රෝහලේ72 වාට්ටුවට ඇතුළත් කළා.එහිදී ලබා ගත් එක්ස් කිරණ පරීක්ෂණයකින් තහවුරු වුණේ පපුවේ ඇට කීපයකට හානි සිදුවී ඇති බවයි.

සිද්ධිය දැනගත් උදය ගම්මනන්පිල මහතාද කොළඹ මහරෝහලට පැමිණ මේජර්වරයාගේ තත්ත්වය පිළිබඳව විමසුවා.

ප්‍රථමයෙන්ම අජිත් ප්‍රසන්නට පහර දුන්නේ පාලිත තෙවරප්පෙරුම.ඊට පස්සෙ තමයි අනිත් මැරවරයො පහර දුන්නේ යැයි මේජර් මොහාන් මහතා පැවසීය.

යුදහමුදා 5 වෙනි ගැමුණු හේවා බල ඇණියේ වර්ණ මේජර් සරත් විජේතුංග මහතා ද මේ පහරදීම සිදුවූ අවස්ථාවේ එම ස්ථානයේ සිට ඇති අතර මේ මැර ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි පාලිත තෙවරප්පෙරුම ඇතුළු ඔහුගේ මැරවරයන් හඳුනා ගැනීමට පුළුවන් යැයිද ඔහු පැවසීය.

වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම පිණිස කොල්ලුපිටිය පොලීසියට 02 වැනිදා උදෑසන පැමිණෙන ලෙස එම අවස්ථාවේ අජිත් ප්‍රසන්න මහතා සමඟ සිටි විශ්‍රාමික යුද හමුදා සැරයන් සරත් විජේතුංග,සාජන් මේජර් ආනන්ද සිරිතුංග,මේජර් ජගත් මොහාන් ද සිල්වා යන අයට පොලිසිය උපදෙස් දී ඇත.සාක්ෂි සටහන් කර ගැනීමෙන් පසු නීතියේ සාධාරණය ඉටුවෙණු ඇතැයි ද ඔවුහූ පැවසූහ.

රාගම සමූහ

 

නව අදහස දක්වන්න