ආරක්ෂක ඇස නමින් විශේෂ ජංගම ආරක්ෂක සේවාවක් | දිනමිණ

ආරක්ෂක ඇස නමින් විශේෂ ජංගම ආරක්ෂක සේවාවක්

'ආරක්ෂක ඇස' ජංගම මුර සංචාරක වෑන් රථය මාතර කොට්ඨාස පොලිස් අධිකාරී ජී. එච්. මාරපන මහතා සහ අකුරැස්ස පොලිස් ස්ථානාධිපති අජිත් නිශ්ශංක මහත්වරුන් විසින් භාර ගත් අයුරු.

අකුරැස්ස නගරය පුරා විහිදෙන ආකාරයට 'ආරක්ෂක ඇස' නමින් විශේෂ ජංගම ආරක්ෂක සේවාවක් පෙරේදා (01) අකුරැස්ස පොලිස් ස්ථානයේ දී ආරම්භ කෙරිණි.

අකුරැස්ස පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් නිශ්ශංක මහතාගේ සංකල්පයක් මත දකුණු පළාතේ ආරම්භ කරන ලද පළමු විශේෂ ජංගම ආරක්ෂක සේවය මෙය වේ.

අකුරැස්ස නාගරික වෙළෙඳ සංගමය ප්‍රමුඛ අකුරැස්ස වෙළෙඳ ප්‍රජාව, රාජ්‍ය හා පෞද්ගලික බැංකු, සියලුම රක්ෂණ ආයතන සහ සියලුම මූල්‍ය ආයතනවල පූර්ණ දායකත්වයෙන් විශේෂයෙන් සකස් කරන ලද වෑන් රථයක් සහ රියැදුරුවරයෙක් මේ සේවාවට ලබා දී ඇත. ආයුධ සන්නද්ධව පොලිස් නිලධාරීන් මේ සේවය සඳහා යොදවා ඇත.

මුළු දවස පුරාවම මේ ජංගම රථය මුර සංචාරයේ යෙදෙන අතර විශේෂ දුරකථන අංකයක් ද ලබා දී ඇත. අකුරැස්ස නගරයේ යම් අපරාධයක් හෝ යම් අකටයුතු සිදුවීමක් හෝ සාමය කඩවීමක් සිදු වේ නම් දුරකථන අංක 075-5100600ට ඇමතුමක් ලබා දී විනාඩි 02ක දී මේ පොලිස් නිලධාරී කණ්ඩායම එම ස්ථානයට පැමිණෙනු ඇත.

ගොඩපිටිය රජමහා විහාරාධිපති අගලකඩ රතනපාල සහ දස මහා බෝධි සෙනසුනේ විහාරාධිපති දිද්දෙනිපොත නන්දරතන හිමිවරු සමාරම්භක අවස්ථාවට වැඩම කරමින් ආගමික වතාවත් සිදු කළහ.

මේ සේවාවේ සම්බන්ධීකාරකවරුන් වශයෙන් හෙළදිව සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂ හේමන්ත විදානගමගේ සහ නන්දන තේ කර්මාන්ත ශාලාවේ අධිපති ගුණසෝම වනිගසේකර මහත්වරුන් කටයුතු කරනු ලැබේ. අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති මුනිදාස ගමගේ, අතුරලිය ප්‍රාදේශීය සභාවේ සභාපති නිහාල් සිල්වා, අකුරැස්ස ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉසුරුමල් පල්ලියගුරු, මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ජී. එච්. මාරපන, මාතර දිස්ත්‍රික් භාර පොලිස් අධිකාරී ලීලසේන, අකුරැස්ස, වැලිගම, පිටබැද්දර, දෙනියාය සහකාර පොලිස් අධිකාරී රොෂාන් පෙරේරා මහත්වරු ද මේ සඳහා දායකත්වය සපයන බැංකු, රක්ෂණ හා මූල්‍ය ආයතන කළමණාකාරවරු ද, නියෝජිතයෝ ද, වෙළෙඳ ප්‍රජාව ද එක් වී සිටියහ.

අකුරැස්ස මධ්‍යම විශේෂ විජිත සල්ගාදු

නව අදහස දක්වන්න