ජාත්‍යන්තර කැක්කුම! | දිනමිණ

ජාත්‍යන්තර කැක්කුම!

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට ඇති බලතල ගැන හුඟ දෙනකු දන්නේ නැත. සමහරු එහෙන් - මෙහෙන් අහුලාගත් වගන්තිවලින් තර්ක කරති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ විශාරදයෝ පවා අග - මුල පාගාගෙන කතා කරති. ඔවුන් දේශපාලන වාසි අපේක්ෂාවෙන් එලෙස ක්‍රියා කරනවා වන්නටත් පුළුවන. ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව කල් තැබීම, නැවත කැඳවීම, කැබිනට් මණ්ඩලය වෙනස් කිරීම, අගමැති ඉවත් කිරීම, නව අගමැතිවරයකු පත්කිරීම යන කරුණු - කාරණා සම්බන්ධයෙන් පූර්ණ බලය ඇත්තේ ජනාධිපතිවරයාට ය. ව්‍යවස්ථාවේ 43, 48, 47, 46 හා 70 වගන්ති හා එහි උප වගන්ති සිහි නුවණින් කියවා බලන විට ඉහත තත්ත්වය හොඳින් අවධාරණය කරගත හැකි ය.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අවස්ථාවේ එතුමා ජනාධිපති බලතල ඉතා හොඳින් පාවිච්චි කළේ ය. දින විසිහතරකට පාර්ලිමේන්තුව කල් තැබිණි. එවකට සභානායකවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තරයට කරුණු පහදමින් එම තත්ත්වය රටේ ව්‍යවස්ථාවට අනුකූල බව ද නිත්‍යානුකූල බවද කියා සිටියේ ය. ඒ අනුව පාර්ලිමේන්තුව කල් තැබීම ගැන ප්‍රශ්න කිරීමට ජාත්‍යන්තරය පෙලඹුණේ නැත. දෛවයේ සරදමකට මෙන් රනිල් වික්‍රමසිංහ මහතාට අද එහි නො පිට කතා කරමින් ජාත්‍යන්තරය කුලප්පු කරන්නට සිදු වී තිබේ. එය අවාසනාවන්ත තත්ත්වයකි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන සැකයක් මෙහි දී කෙනකුට ඇතිවන්නට පුළුවන. එම සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ තටු කපා ඇතැ’යි සමහරුන් තර්ක කළ ද එවැනි දෙයක් සිදු වී නැත. 70 වන වගන්තිය හා එහි උප වගන්ති ඊට හොඳ ම නිදසුන ය. එම වගන්තියෙහි ඇත්තේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතු අන්දම ය. 19 වන සංශෝධනයෙන් එම වගන්තියට අත - තබා නැත. පාර්ලිමේන්තුව රැස්කිරීම කල්තැබීම යන අවස්ථා සම්බන්ධයෙන් තම අභිමතයට අනුව ක්‍රියා කිරීමේ ව්‍යවස්ථානුකූල බලය ඉහත වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇත. ඒ අනුව කතානායකවරයාට හෝ පාර්ලිමේන්තුවට හෝ ජනාධිපතිවරයාට එරෙහි ව ක්‍රියා කිරීමේ බලයක් නැත.

හිටපු කතානායකවරයකු වූ වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා මේ තත්ත්වය ඉතා හොඳින් විග්‍රහ කර තිබේ. එතුමාට අනුව පාර්ලිමේන්තුව රැස්කිරීම, කල්තැබීම, නැවත කැඳවීම යන සියලු අවස්ථා ජනාධිපතිවරයාගේ අභිමතයට අනුව සිදුවිය යුතු ය. කතානායකවරයාට ඒ සම්බන්ධයෙන් කළ හැකි දෙයක් නැත. ලොකු බණ්ඩාර මහතා තවදුරටත් පෙන්වා දෙන්නේ කතානායකවරයා මෙබඳු අවස්ථාවක ස්වාධීන හා අපක්ෂපාතී තැනැත්තකු ලෙස ක්‍රියා කළ යුතු බව ය. එහෙත් වත්මන් කතානායකවරයා එලෙස ක්‍රියා කරන බවක් පෙනෙන්නට නැත. ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් වී ඇත්තේ ද ඒ නිසා යැයි කියන්නට පුළුවන.

වික්‍රමසිංහ මහතාගේ අරමුණ වී ඇත්තේ ජාත්‍යන්තර සංවිධාන හා බලවත් රටවල් හරහා තම බලය තහවුරු කර ගැනීම බව පැහැදිලි ය. ඔහු තානාපතිවරුන් කැඳවා කරුණු කියා සිටියේ ය. දුරකථන සංවාද ඔස්සේ බලවත් නායකයන්ට කරුණු කියා සිටියේ ය. අන්තර්ජාතික ජනමාධ්‍යකරුවන් ගෙන්වා ඔවුන්ටද කරුණු දක්වා සිටියේය. මේ කිසිවකු අපේ ව්‍යවස්ථාව හා ජනාධිපතිවරයා සතු බලතල ගැන දන්නා දෙයක් නැත.

ලෝ ප්‍රකට නාළිකාවක් කියා සිටියේ ශ්‍රී ලංකා අගමැතිවරුන් දෙදෙනකු සහිත ලෝකයේ එකම රාජ්‍යය බව ය. මේ ප්‍රවෘත්ති පළ කිරීමේ අරමුණ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා හා ඔහුගේ පාලනය හෑල්ලුවට ලක් කරමින් රජයේ නව වැඩපිළිවෙළ අසාර්ථක කිරීම ය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති පදවියෙන් ඉවත් කිරීම ගැන විශාල කැක්කුමක් ජාත්‍යන්තර නායකයන්ට මෙන්ම ජාත්‍යන්තර ජනමාධ්‍යවලට ද තිබේ. රනිල්ගේ පරාජය නිසා විජාතිකකරණයට රට තුළ තිත තැබේ. එය බොහෝ අයට දරා ගත නොහැකි ය. සිංගප්පූරු ශ්‍රී ලංකා ගිවිසුම මේ වන විට ක්‍රියාත්මක වීමට නියමිතව තිබිණි.

බලවත් රටවලට මෙන් ම ජාත්‍යන්තර සංවිධානවලට ද ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස ගැන මෙතරම් කැක්කුමක් ඇතිවන්නේ කෙසේ ද? කොටි සංවිධානය දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන විට එම කැක්කුම තිබුණේ නැත. කොටි මහ බැංකුවට පහර දෙන විට එම කැක්කුම තිබුණේ නැත. කොටි සංවිධානය සිංහල ගම්මානවල වැසියන් කැතිවලින් කපා මරා දමන විට එම කැක්කුම තිබුණේ ද නැත. එහෙත් වික්‍රමසිංහ මහතා අගමැති පදවියෙන් නෙරපන විට ජාත්‍යන්තරයේ කැක්කුම වහාම එළියට පනී. බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, අමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය දැන් දැඩි අවධානයකින් යුතුව ශ්‍රී ලංකාව දෙස බලා සිටිති.

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට හොඳ උත්තරයක් ලබාදී තිබේ. එනම්; පවතින අවුල විසඳාගැනීමට ඔබගේ හෝ ඔබ සංවිධානයේ හෝ සහයෝගයක් අපට කිසිසේත්ම අවශ්‍ය නැත යන්නය. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයට පමණක් නොව; එක්සත් ජාතික පක්ෂයට ද ලබාදුන් කදිම උත්තරයක් ලෙස සැලැකිය හැකි ය. අපේ ව්‍යවස්ථාව කූරුගෑමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට හෝ අයිතියක් නැත. ඒ බව වටහාගෙන ක්‍රියා කිරීමෙන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ගෞරවය ආරක්ෂා කර ඇතැ’යි කියන්නට පුළුවන.

ජාත්‍යන්තරය පමණක් නොව; අලුතෙන් බිහිවන දේශීය චණ්ඩියෝ ද දැන් ජනාධිපතිවරයාට හා නව රජයට අභියෝග කරන්නට සැරසෙති. එක්තරා දේශපාලන චණ්ඩියෙක් කියා ඇත්තේ ලේ ගංගාවක් ඇති නොකොට වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ය. ඔහු තවදුරටත් කියා ඇත්තේ අපි චණ්ඩි බව ය. වේළුපිල්ලේ ප්‍රභාකරන් අන්තිම සටනට පෙර කියා සිටියේ ද ඔය ටික ම ය. අපේ භූමියට ඇතුළු වුවහොත් ශ්‍රී ලංකාව ලෙයින් තෙත් වේවි යනුවෙන් ඔහු ද පුරසාරම් දෙඩුවේ ය. එහෙත් අවසන් සටනේ දී ඔහු මීයකු සේ පැනයන්නට උත්සාහ කළේ ය. ජනාධිපතිවරයාට ලේ ගලන සටනක් නැත. ඔහු ක්‍රියා කරන්නේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව ජනතාවට අවශ්‍ය දේවල් ලබාදීම සඳහා ය.

 

නව අදහස දක්වන්න