ඔස්ට්‍රේලියාව කඩුලු 6කින් දකුණු අප්‍රිකාවට පරදී | දිනමිණ

ඔස්ට්‍රේලියාව කඩුලු 6කින් දකුණු අප්‍රිකාවට පරදී

ඔස්ට්‍රේලියාව සමග පර්ත් හිදී පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 6ක ජයක් අත්කර ගැනීමට සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරකයන්ට හැකිවිය. කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සත්කාරක ඔස්ට්‍රේලියානු ඉනිම ලකුණු 152කට සීමා විය. එම ඉලක්කය හඹාගිය දකුණු අප්‍රිකාව පන්දු 124ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 4ක් පමණක් අහිමිකර ගනිමිනි.

කුයින්ටන් ඩි කොක් ලකුණු 47ක්, රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 44ක් සහ එයිඩ්න් මාක්‍රම් ලකුණු 36ක් දකුණු අප්‍රිකානු ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී මාකස් ස්ටොයින්ස් කඩුලු 3ක් දවා ගත්තේය.

පන්දු 31කට මුහුණදුන් නෙතන් කුල්ටර් නයිල් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 34ක් රැස් කරමින් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය.

ඇලෙක්ස් කේරි පන්දු 71කින් ලකුණු 33ක් රැස්කළ අතර දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාව පසු කිරීමට නොහැකි විය.

පන්දු යැවීමේදී ඇන්ඩ්ලි පෙහෙලුක්වායෝ කඩුලු 3ක් දවාගත් අතර ඩේල් ස්ටේන්, ලුන්ගි න්ගිඩි සහ ඉම්රාන් තහීර් කඩුලු 2 බැගින් බිඳ දැමූහ. ඕවර 7කදී නිලකුණු ඕවරයක්ද සමගින් ලකුණු 18කට කඩුලු 2ක් දවාගත් ස්ටේන් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

දෙපිල අතර දෙවැනි එක්දින තරගය 9 වැනිදා ඇඩිලේඩ්හිදී පැවැත්වෙයි.

ඔස්ට්‍රේලියාව - 152යි. (ඕවර 38.1) නෙතන් කුල්ටර් නයිල් 34, ඇලෙක්ස් කේරි 33 (ඇන්ඩ්ලි පෙහෙලුක්වායෝ 33/3, ඩේල් ස්ටේන් 18/2, ලුන්ගි න්ගිඩි 26/2, ඉම්රාන් තහීර් 39/2)

දකුණු අප්‍රිකාව - 154/4යි. (ඕවර 29.2) කුවින්ටන් ඩි කොක් 47, රීසා හෙන්ඩ්‍රිකස් 44, එයිඩ්න් මාක්‍රම් 36 (මාකස් ස්ටොයින්ස් 16/3)

නව අදහස දක්වන්න