ඩොලර් ලංකාවට ගෙනවිත් ආයෝජනය නොකළහොත් එම මුදල් අයිතිකරුවන්ට පාඩුයි | දිනමිණ

ඩොලර් ලංකාවට ගෙනවිත් ආයෝජනය නොකළහොත් එම මුදල් අයිතිකරුවන්ට පාඩුයි

අනුර ප්‍රේමලාල්

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

ඩොලරයක අගය තවත් ඉහළ යනු ඇතැයි සිතා දේශීයව හා විදේශීයව රඳවා ගෙන සිටින ඩොලර් මුදල් ඉතා ඉක්මනින් ලංකාවට ගෙනවිත් ආයෝජනය නොකළහොත් එම මුදල් අයිතිකරුවන්ට ඉදිරියේදී පාඩු සිදුවනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (04) පුංචි බොරැල්ල ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති අර්ථික මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුවට එක්වෙමින්ය. එහිදී වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය.විදේශවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට එවන විදේශ විනිමය සඳහා අයකළ 14%බද්ද ඉවත් කිරීමටත්,අනේවාසික විදේශිය ව්‍යවහාර මුදල් ගිණුම්වල පොලි ආදායම මත අයකළ බද්ද ඉවත් කිරීමටත් නව මුදල් ඇමතිවරයා තීරණය කර තිබෙන බැවින් ඩොලරයක අගය පහත ගොස් රුපියල් ශක්තිමත් වෙනවා.

විදේශ අයෝජන සඳහා මෙරටට රැගෙන එන මුදල් සඳහා බදු සහන ලබාදීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

“පසුගිය කාලය තුළ ඩොලරයේ අගය වැඩිවේවි කියා සිතා දේශීයව හා විදේශියව ඩොලර් රඳවාගෙන සිටි අයට අනාගතයේදි පාඩුවක් වෙන්න ඉඩ තිබෙනවා.ලංකා ඉතිහාසයේ කිසිම රජයක් ලබානොදුන් ආයෝජනය සඳහා විදේශ විනිමයට අසාමාන්‍ය බදු සහනයක් ලබාදෙන්න කියා අපි මුදල් අමාත්‍යවරයාට යෝජනා කර තිබෙනවා. ලංකාවට මෙතෙක් එව්වේ නැති ,විදේශ මුදල් රඳවාගෙන සිටින,විදේශීය මුදල් අතිරික්තය මුදල් අමාත්‍යාංශය විසින් අනුමත කරන නිශ්චිත ව්‍යාපෘති සඳහා තොග වශයෙන් ගෙනඑන විට කිසිදු කාලයක ලංකාවේ රජයක් නොදුන් ආකාරයේ විශාල බදු සහන ව්‍යාපෘතියක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත අතුරු සම්මත ගිණුමෙන් හෝ අය වැය ලේඛනයෙන් ලබාදෙන්න කියා අපි යෝජනා කර තිබෙනවා.ඒ ව්‍යාපෘතිය තුළ අපි අපේක්ෂා කරනවා පෞද්ගලික අංශය විසින් ඉතා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් නුදුරේදී ලංකාවට රැගෙන ඒවි කියලා.ඒ සඳහා අවශ්‍ය නීතිමය රැකවරණය ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.

ඒ නිසා මම වගකීමෙන් කියනවා විදේශ විනිමය තව ඩොලරය වැඩිවේවි කියලා රඳවාගෙන ඉන්න එවා ඉතා ඉක්මනින් ලංකාවට එවන්න.අපි එවන මුදල් සදහා අනාගතයේදී අපි බදු සහන ලබාදෙනවා.තොග වශයෙන් මුදල් ලැබෙන විට ඩොලරයට ගෙවිය යුතු මුදල් අඩුවුනොත් දැන් සම්පේක්ෂණ චේතනාවෙන් මුදල් රැස්කරන අයට අවාසියක් ඇතිවෙන්න පුළුවන්.මුදල් ඇමතිවරයා විශේෂඥයන් සමඟ සාකච්ඡා කර තීරණයක් ගනිවි.අනාගතයේදී සෘජු විදේශ ආයෝජන සහ විදේශ ආයෝජන රැගෙන එන අයට සුවිශේෂි බදු සහන ලබාදීමට නියමිතයි.

නව අදහස දක්වන්න