භාෂාව ලාබයි | දිනමිණ

භාෂාව ලාබයි

‘ලාබයි... ලාබයි...‘ කියා කවුද වෙළෙන්දෙක් පාර දිගේ කෑ ගසමින් යන හඬ ඇසී ටොම්සන් මහත්තයා ඉක්මනට ගේට්ටුව ඇර ගෙන පාර දිහාට ගියේය. බැලින්නම් බොහොම ජැන්ඩියට ඇඳ ගත්තු උස මහත්තයෙක්, කඳක් කරේ තබා ගෙන පාර දිගේ කෑ ගසමින් යයි. කඳේ දෙපැත්තේ තට්ටු දෙකේම තිබුණේ පොත් වාගේය.

ටොම්සන් මහත්තයාත් පිටුපස්සෙන් ඇම්බන් මහත්තයාත්, උන්නැහේත් දුව ගෙන ආවෝය.

‘ඇයි ටොම්සන් මහත්තයා... මොනවද අර කෑ ගහ ගහ විකුණන්නේ... මාළුද? ‘ කියා උන්නැහේ ඇසුවේය.

‘ නෑ... නෑ... මට පේන්නේ නම් පොත් වගේ... මේක පොත් විකුණන අලුත් වෙළඳාමක් වගේ... අනේ හොඳයි... ඒ විදිහට මිනිස්සු අතරට පොත් අර ගෙන යනවා නම්... පොඩ්ඩක් කතා කරලා බලමුද?‘ කියා ටොම්සන් මහත්තයා අත්පුඩි ගැසුවේය. පොත් වෙළෙන්දා ආපසු හැරී බලා කඳ බිමින් තැබුවේය. ටොම්සන් මහත්තයාත්, උන්නැහේත්, ඇම්බන් මහත්තයාත් පොත් වෙළෙන්දා වෙත හනික ළඟා වූහ.

‘හප්පේ... මං බැලුවා මේ කවුද කියලා... ඉතින් දැන් මහත්තයා මේකද කරන්නේ?‘ කියා උන්නැහේ කම්මුලේ අතක් තියා ගෙන පශ්චාත්තාප වෙමින් ඇසුවේය.

‘අනේ ඔව්... උන්නැහේ... මේක මේ ජීවත් වෙන්න කරන දෙයක්... දන්නේ භාෂාව විතරයි නේ... දැන් ඉතින් ඒක විකුණලා තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ...‘ කියා භාෂා මහත්තයා කීවේ වෙන කියන්නට දෙයක් නැති විදිහටය.

‘ඒක තමයි... ජීවත් වෙන්න ඔය කුඩු, අයිස් වගේ දේවල් විකුණන්නේ නැතිව, භාෂාව විකුණන එක නම් හොඳයි තමයි... ඒ වුණාට භාෂා මහත්තයා අර මුනිදාස කුමාරතුංග මහත්තයා බොහොම වෙහෙස මහන්සි වෙලා ගොඩ නඟාපු භාෂා සාහිත්‍ය ව්‍යාපාරය අත් ඇරලා දාලා මේ විදිහට භාෂාව විකුණලා ජීවත් වෙන එක මට නම් හිතට මොකක්ද වගේ...‘ කියා ටොම්සන් මහත්තයා කීවේය.

ඒ සැරේ භාෂා මහත්තයා අයිනේ තිබූ සිමෙන්ති පඩියක් උඩ හිඳ ගත්තේය.

‘ඇයි මුන්නැහේලා මට විතරක් ඔහොම කියන්නේ.... තව කී දෙනෙක් ඉන්නවාද ඔය භාෂාව විකුණා ගෙන ජීවත් වෙන අය... සමහරු ඔය වචනයක තේරුම පත්තරේට ලියනවා... .තවත් සමහරු එක එක අකුරට එන වචන ටිකක් පොතකට හදලා ගහනවා... තවත් අය ඔය පත්තරවලට භාෂාව ගැන තීරු ලිපි ලියනවා... ඒ ඔක්කොම කරන්නේ මේ වැඩේ තමයි... මං ඉතින් ඔය භාෂාව ගැන පොතක් ලියලා විකුණා ගන්නවා..“ කියා භාෂා මහත්තයා කීවේය.

‘‍ඒ ඔක්කොටම තමා මං කියන්නේ... අර ගම්ලත් මහත්තයා ජීවත්ව ඉන්න කාලේ අඩු ගානේ ඒ මහත්තයා ජීවත් වෙලා ඉන්නවා කියන්නවත් කොළඹ මහජන පුස්තකාලේ රැස්වීම් ශාලාවේ රැස්වීමක් තියෙනවා භාෂා ප්‍රේමය පෙන්නලා... ඊට පස්සේ ආයෙත් මාස හයක් නිදා ගන්නවා. ඒ අතරේ මේ රේඩියෝ කාරයෝ භාෂාව මස් කඩේට දාලා විකුණා ගෙන කනවා... ඒ ගැන කතාවක් නෑ... ඉතින් මේ මහත්තයා කියන්නේ ඔය විදිහට භාෂා පොත් ගහලා විකුණා ගෙන ජීවත් වුණාම භාෂාව දියුණු වෙයි කියලාද? හරිනම් භාෂාව විනාශ කරන එකට විරුද්ධව මහා ජනතා ව්‍යාපාරයක් ගොඩ නංවන්න ඕනැ නේ..“ කියා ඇම්බන් මහත්තයා කීවේ තරමක තරහකිනි.

‘ඇයි ඉතින් ඕක මටම කියන්නේ... මං මේ කාටවත් කරදරයක් නැති වැඩක් නේ කරන්නේ... අඩු ගණනේ මේ රටේ මිනිස්සුන්ට භාෂාව ඉගෙන ගන්න හරි මං උදව් කරනවානේ...“ කියා භාෂා මහත්තයා කීවේ දුක්මුසුවය.

උන්නැහේ කම්මුල දෙපැත්තේ අත් දෙක තියා ගෙන හිටියේ කියන්නේ කුමක්දැයි සිතා ගන්නට බැරිවය.

‘ඒ වුණාට දැන් ඔය තරම් වචන දාලා පොත් ගහන්නේ, භාෂාව ගැන පොත් ගහන්නේ, මේ රටේ ඉස්කෝලවලවත් භාෂාව හරියට උගන්නන්නේ නැති හින්දා නේද මහත්තයා... ඉතින් ඇත්තටම නම් කරන්න තියෙන්නේ මේ භාෂාව උගන්වන එක වැඩි දියුණු කරන එක නේද? මේ වෙන කොට ලංකාවේ ඉස්කෝලවල භාෂාව උගන්වන එක නන්නත්තාර වෙලා නේ... හරියට ලියුම් කවරයක ලිපිනයවත් ලියා ගන්න ඉස්කෝලේ ළමයකුට පුළුවන්ද? බෑනේ... ඉතින් ඒක හදන්නේ නැතිව මේ පොත් ලියන එක ශාස්ත්‍රීය වංචාවක් නේ... එහෙම නේද මහත්තයා.? “ කියා උන්නැහේ ඇසුවේය.

‘ඒ කතාවේ ඇත්තක් නැත්තෙත් නෑ... ඔය විශ්වවිද්‍යාලවලත් භාෂාව උගන්වනවා කිව්වට, භාෂාව විශේෂ උපාධියක් හදාරපු කෙනෙකුටවත් හරියට ලියවිල්ලක් ලියා ගන්න බෑ නේ... හැබැයි ඉතින් ඒ හින්දාම තමයි අපට තාම පොතක් විකුණා ගන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ... මොකද? අඩු ගණනේ වචනයක් හරියට ලියා ගන්න ඉගෙන ගෙන නැති හින්දා, උක්ත ආඛ්‍යාතය නිවැරදිව ලියන්න දන්නේ නැති හින්දා තමයි අපේ පොත මිල දී ගන්නේ.. ගිහින් බලන්නකෝ ඔය පරිගණකවල වැඩ කරන අය අපේ පොත් ළඟ තියා ගෙන නේ වචන හරියට ගහන්නේ.. එහෙම බැලුවම අපි මේ කොච්චර සේවයක්ද කරන්නේ... අපිට ඔහොම අපහාස කරන්නේ ඇයි? අපට අපේ පාඩුවේ මේ පොතක් විකුණා ගෙන ජීවත් වෙන්න ඉඩ දෙන්නකෝ... ‘ කියා භාෂා මහත්තයා පොත් හිට ගත්තේ පොත් කඳ කරේ තියා ගන්නටය.

‘පොඩ්ඩක් ඉන්න මහත්තයා... දැන් ඔය රේඩියෝවලින් කරන භාෂා සංහාරය ගැන මොකුත්ම කරන්නේ නැද්ද? ඒක එහෙම වුණාට කමක් නැද්ද?“ කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.

‘මං එහෙම කියන්නේ නෑ.. මොනවා හරි කරන්න ඕනෑ... රේඩියෝවල විතරක් නෙවෙයි.. ඔය ටීවීවලත්, සමහර පත්තරවලත් අද තියෙන්නේ අව්‍යක්ත භාෂා යෙදුම් නේ... ඒවා ඉතින් මේ ඩිජිටල් ආතල් එකේ අනුපාන නේ... අද ඉතින් ඩිජිටල් ආතල් එකේ බයිට් එකට අරන් තියෙන්නේ භාෂාව නේ.. හැබැයි අපේ භාෂාව විතරයි... ඉංගිරිසියට වැඳ ගෙන නේ ඉන්නේ... ඉතින් ඒ අස්සේ අපිත් භාෂාව විකුණා ගන්නවා.. එච්චරයි.‘ කියා භාෂා මහත්තයා කඳ කරට ගත්තේය.

‘කමක් නෑ... මහත්තයා භාෂාව විකුණා ගෙන ජීවත් වෙන්න.... නැතිනම් මහත්තයා ජීවත් කරවන බරත් එන්නේ අපේ කරටම නේ.. එහෙම බැලුවාම තමයි අපට පුදුම හිතෙන්නේ කුමාරතුංග මහත්තයා අපේ රටේ භාෂාව වෙනුවෙන් කරපු සේවය කොයි තරම්ද කියලා... උන්නැහේ භාෂාව විකුණා ගෙන කෑවේ නෑ... භාෂාව ජීවත් කෙරුවා.. එතුමා ලියාපු අර පොත් තුනට ඒ කියන්නේ හත්පණ, මඟුල් කෑම, හීන් සැරය පොත් තුනට අහලකින් යන්න එක පොතක් ලියා ගන්න තවම බැරි වුණා නේ... එහෙව් එකේ මහත්තයා ඔය වචන ටිකක් ලියලා පොත් ගහලා, පත්තරවලට යවලා ජීවත් වෙන එකත් හොඳ දෙයක් තමයි...කමක් නෑ... ඔහොම කර ගෙන යන්න... අපේ හේතුවකට තව කුමාරතුංග මුනිදාස කෙනෙක් කවදා හරි බිහි වෙයි නේ... අපේ භාෂාව විකුණා ගෙන කන්නේ නැතිව, භාෂාව බේරා ගන්න සටන් කරන...‘ කියා ටොම්සන් මහත්තයා කීවේය.

පොත් මහත්තයා පොත් කඳත් කරේ තියාගෙන යන්නට ගියේය.

“ලාබයි ලාබයි.. භාෂා පොත් ලාබයි...අලුත්ම භාෂා පොත්... “

බන්දුල පී දයාරත්න

නව අදහස දක්වන්න