කිවිඳි පර­පුරේ නව කවි කුසුම | දිනමිණ

කිවිඳි පර­පුරේ නව කවි කුසුම

සිංහල පද්‍ය කාව්‍ය ක්ෂේත්‍රයේ කිවිඳි පරම්පරාවේ ඉතිහාසය තුළ නොමියෙන නාමය රුහුණේ විසූ ගජමන් නෝනාය. ඇගේ කවිය ඇගේ ජීවිතයේ ඈ විඳි නෙක දුක්ඛ දෝමනස්සයන්ගේ අඳුරු චිත්‍රය ලොවට ප්‍රදර්ශනය කළ කැඩපතක් වැන්න. ගජමන් නෝනා ගේ කවිය හා සමතැන් ගන්නා වූ අපූරු කාව්‍ය නිර්මාණාවලියක් සමඟ නව කිවිඳි පරම්පරාවේ ආරම්භය සටහන් කරන ලද්දී රුහුණු රටින්ම බිහි වූ මොනිකා රුවන්පතිරන කිවිඳියයි. ගජමන් නෝනාගේ කවියෙහි වූ ජීවිත පිළිබිඹුව වඩාත් පුළුල් පරාසයක් තුළ මොනිකාගේ කවියෙහි සටහන් වන්නට පටන් ගත්තේ 1971 වර්ෂයේ ඈ විසින් පළ කළ අපි දෙන්නා සහ තවත් කීප දෙනෙක් නම් වූ කවි එකතුවෙනි. එදා මෙදා තුර නූතන ගජමන් නෝනාගේ සිට සිංහල කවි කෙත පිපුණු කිවිඳි කුසුම් අපමණය. මේ කිවිඳි නාමාවලිය දිගු වූවත් ඔවුනගේ නිර්මාණ නිසි ඇගැයීමකට ලක් වී ඇද්ද යන්න පිළිතුරු නොලත් ප්‍රශ්නයක් බවයි මගේ හැඟීම. මා මෙහි දී අදහස් කරන්නේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලක් වැනි පිළිගත් උළෙලක දී අපගේ කිවිඳියන්ගේ නිර්මාණ සඳහා නිසි කලට සම්මාන පිදුණා ද යන ප්‍රශ්නය මසිතට නැගුණු වාර බොහෝ බැවිනි. 1971 සිට ජීවිතයෙන් සමු ගන්නා තෙක්ම කවි ලියූ මොනිකාගේ කාව්‍ය සංග්‍රහයකට පළමු වරට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් හිමිවන්නේ 1999 දී ය. අවුරුදු විසි අටකට පසු අසන් පත්තිනි දේවතාවී කාව්‍ය සංග්‍රහයට මොනිකා සම්මාන ලබන කල්හි කවිය සඳහා පළමු වරට රාජ්‍ය සම්මාන හිමිකර ගත් කිවිඳිය ලෙස 1993 දී යමුනා මාලිනී පෙරේරා අබිසෙස් ලබන්නී ඇගේ තිත්ත මකරන්දය කාව්‍ය සංග්‍රහයටය. පළමු හා දෙවන රාජ්‍ය සම්මාන දිනූ යමුනා හා මොනිකා අතරින් දෙවන වරටත් රාජ්‍ය සම්මාලාභී කිවිඳිය වීමේ දුලබ වාසනාව මොනිකා හිමිකරගන්නී 2002 වසරේ දී ඇගේ හිපොක්‍රටිස් හා රෝගිනිය කවි එකතුවටය. නව කිවිඳි පරම්පරාවේ මෑත කාලීන රාජ්‍ය සම්මානලාභී කිවිඳිය වන්නී සුහර්ෂිණී ධර්මරත්න කිවිඳියයි.

2012 දී පළ කරන ලද ගිරිහිස තරණය සඳහා 2013 රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකර ගනිමින් සුහර්ෂිණී හොඳම කිවිඳිය බවට පත්වීමෙන් අනතුරුව කිවිඳියක් රාජ්‍ය සම්මානයක් හිමි කර ගත් බවක් වාර්තාවන්නේ නොමැත. එහෙත් රාජ්‍ය සාහිත්‍ය උළෙල අවසාන වටය නියෝජනය කළ කිවිඳියන් ලෙස සුහර්ෂිණී ධර්මරත්න ( සුදු වත හැඳි කෙකණිය ) ,තනුජා ලුම්බිණි තඹවිට ( දුඹුරු කොළ මොනරු ලිස්සන පපුව මැද ) සුනන්දා රණසිංහ ( තැනිතලා බිමක සිහින ඉම ) සම්මාන උළෙල ඉතිහාසයෙහි ලි‍යැවී තිබෙනු පෙනේ. රාජ්‍ය සාහිත්‍ය සම්මාන හැරුනු කල අනෙක් ප්‍රමුඛ සම්මාන උළෙල සම්මානලාභී කිවිඳියන් ලෙස සජීවනී කස්තුරිආරච්චි ( විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ) සුහර්ෂිණී ධර්මරත්න ( ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල ) ආදීන් වූ අතර ප්‍රථම රජත පුස්තක සම්මාන සඳහා අවසාන වටයට නිර්දේශ වූ කවීන් අතර අනුරාධා නිල්මිණි ද කිවිඳි පරපුර නියෝජනය කළාය. අන්තර් විශ්වවිද්‍යාලයීය නිර්මාණ තරගාවලියේ දී සම්මානලාභී කිවිඳියන් රැසක්ම වූ බවත් අමතක කළ නොහේ. දිනිති උත්පලා රණසිංහ, ඒ.එම්.එල්. සජානි අමරතුංග එම කිවිඳියෝ වෙත්. සම්මානලාභී හෝ සම්මාන සඳහා නිර්දේශිත හෝ සීමිත කිවිඳි නාමාවලියට අමතරව නවීන කවියෙහි හපන්කම් පානා කිවිඳියන් රැසකගේම පද්‍ය කාව්‍ය ඇතුළත් සංග්‍රහ මෙන්ම මුහුණු පොත හා විවිධ පුවත්පත් කවි පිටු, හා සාහිත්‍ය සඟරා ආදියෙහි පළවන නිර්මාණ බොහෝය.

ශානිකා ශෂිප්‍රියා ද සිල්වා කිවිඳිය මෙතෙක් තම පද්‍ය කාව්‍ය සංග්‍රහ කරන ලද කෘතියක් පළ කොට නොමැති වූව ද, කවියෙහි අපූරු හපන් කම් පානා තරුණ කවිකාරියක බව මෑත කාලයේ ඈ විසින් කාව්‍ය තරග සඳහා රචිත හා සඟරා, පුවත්පත් කවි පිටු සඳහා ලියූ කවි රැසකින්ම සනාථ වන බව පෙනේ. ඈ තම කාව්‍ය අනුභූතී සඳහා තෝරාගනු ලබන විෂයයෙහි අපූර්වත්වය මෙන්ම එකී අනුභූතීන් සඳහා තම පරිකල්පනයෙන් එක්කරනු ලබන කාව්‍යමය ගුණය ඇගේ කවියෙහි අනන්‍ය ලක්ෂණ සේ දකිමි. නවීන ජීවන අත්දැකීමක් ඇගේ කවියකින් ප්‍රතිනිර්මාණය වන්නේ පාඨක හදවතට සමීපව හද රිදුමකට ලක් කරමිනි. 2017 වර්ෂයේ සාහිත්‍ය දිනය වෙනුවෙන් ලංකා ඉරිදා සංග්‍රහය විසින් පවත්වන ලද කාව්‍ය තරගයේ දී තෙවන ස්ථානය දිනා ගත් නිර්මාණය නිදසුන් කොට දැක්වීමට කැමැත්තෙමි.

ලේ පාට මතකය කඳුළකි

( නිමිත්ත: හැර ගිය පෙම්වතාගේ පතිනිය වන යුවතිය හැඩ කරන්නට මනාලියන් අන්දවන්නියක් වූ ඇයටම සිදුවීම )

සිහින් දෙනයන අඳුන් තවරා කොපුල් තල කුංකුම උලා

ළදලු වන් ළා දෙතොල් සඟල ද ඔබ කැමති පැහැයෙන් නෙළා

පළන්දා මුතු මාල හත රන් හවඩිය ද බඳ වට වෙළා

ඔන්න පෙම්වත ඔබේ සොඳුරිය මගේ දෑතින් හැඩ කළා

 

රාජකාරිය දේවකාරිය නිසා කඳුළක් වැටුන්නෑ

ඇගේ අත ගෙන පෝරුවට ඔබ නගින තුරු හිත රිදුන්නෑ

පළන්දන කොට මඟුල් මුදු නුඹෙ ඇස් දෙකේ මම උන්නෙ නෑ

පිරුවටය ඇගෙ බඳ වෙළද්දී අත ගැස්සුණෙ ඇයි දන්නෙ නෑ

 

පාරිශුද්ධ ම සහතිකේ මම ඇයට කලියෙන් නුඹට දුන්නේ

ජය මඟුල් ගී නැතුවමයි රතු රෝස මල් පෙති රිදුම් දෙන්නේ

බොහෝ කල් සුව වින්ද පසුවයි නුඹට මම පර මලක් වෙන්නේ

ඊට පස්සෙයි නෑඹුලේ කුල කුමරියක අත සරණ යන්නේ

 

දැන් ඉතින් ඒ කතා මොකට ද මගේ ඇස් මම සඟව ගන්නම්

දෛවයේ සරදමක් විලසට අද දවස මම ලියා ගන්නම්

රක්ත වර්ණෙන් දෙවනි ගමනට සරසවන්නත් ඇවිත් යන්නම්

ඔබේ මධුසම කලාපෙට මම එද්දි මගේ හිත මරාලන්නම්

ශානිකා ශෂිප්‍රියා කිවිඳිය ගේ කතානායිකාව මුහුණ දෙන්නේ කෙබඳු වූ දුක්ඛදායක අත්දැකීමකට ද? තමන් ජීවිත කාලයක් පුරා පෙම් කළ පෙම්වතා ඈ හැර ගොස් අන් කතක් සමඟ විවාහ වන මොහොතේ එකී මනමාලිය හැඩවැඩ ගන්වන්නට, ඇයට මංගල සාරිය අන්දවන්නට, මංගල අබරණ පළඳවන්නට සිදුවීම තරම් දෛවෝපගත සිදුවීමකට පැරණි පෙම්වතියකට මුහුණ පෑමට සිදුවීම හා එවන් මොහොතක ඇගේ චිත්තාභ්‍යන්තරයෙහි නැඟෙන සිතිවිලි ධාරාව කිවිඳිය සංවේදී අයුරින් කවියට නඟනු අපි දකිමු. ඇගේ කැලඹුණු සිත අපූරු කාව්‍යොක්ති මගින් නිර්මාණය කර තිබෙනු දකිමු. කඳුළක් වැටුන්නෑ, හිත රිදුන්නෑ, ඇස් දෙකේ මම උන්නෙ නෑ, අත ගැස්සුණේ ඇයි දන්නෙ නෑ නිදසුන්ය. ඔහු කුල සිරිතට ඈ හා දෙවැනි ගමන් යන්නට එන දිනයේ දී ද කතානායිකාව විසින් පැරණි පෙම්වතාගේ බිරිඳට රතු සාරිය පළන්ඳන්නට එන බව පැවසීම කවියෙහි කූටප්‍රාප්ත මොහොතයි. හැඩවැඩ කරන්නියගේ සිත අතීතාවර්ජනයකට රැගෙන යන මොහොතයි.

‘පාරිශුද්ධම සහතිකේ මම ඇයට කලියෙන් නුඹට දුන්නේ

ජය මඟුල් ගී නැතුවමයි රතු රෝස මල් පෙති රිදුම් දුන්නේ...‘

ජය මඟුල් ගී, රතු රෝස මල් පෙති, කිවිඳිය විසින් භාවිත අපූරු සංකල්ප රූපයි. ශානිකා ගේ කාව්‍යානුභූතිය සංකීර්ණ ජීවන සබඳතාවක සියුම් රිදුම් හදට එක් කරන්නකි. කිවිඳිය විසින් විඳින ලද රිදුම පෙරළා පාඨක සිතට එක් කරන විලාසය ප්‍රශස්ථය.

පුරාණෝක්ති, ඓතිහාසික, හෝ ආගමික සංසිද්ධීන් තම නිර්මාණ සඳහා පාදක කර ගනිමින් ඒවාට නව අර්ථකතන සම්පාදනයට නව නිර්මාණකරුවෝ අභිරුචියක් දක්වති. ශානිකා ශෂිප්‍රියා කිවිඳිය ද එමගම ගත් සාර්ථක නිර්මාණකාරියක් බව අපට ඒත්තු ගන්වන අපූරු නිර්මාණයක් මෑතක දී අපට හමුවිණ. රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය විසින් 2018 රාජ්‍ය සාහිත්‍ය උළෙල වෙනුවෙන් ප්‍රකාශිත සාහිත්‍යය විශේෂ කලාපයට ශානිකා විසින් රචනා කරන ලද සීතාවක් ව ! එම නිර්මාණයයි. රාම, සීතා හා රාවණා පිළිබඳ අප දන්නා ඉතිහාස පුවතත් සීතා ගේ පරමාදර්ශී චරිතයත් ප්‍රශ්න කරනා කිවිඳිය සීතා මසින් ලෙයින් සැදුණු ගැහැනියක ලෙස අප හමුවේ නිර්මාණය කරන්නීය. ඉතිහාස කතා පුවතෙහි සීතා පතිවත රැකි බිරිඳක ලෙසින් සති පූජාවට බිය නොවන්නියකවූව ද, ශානිකා විසින් ප්‍රතිනිර්මිත සීතා සති පූජාව හමුවේ බියට පත්වන්නීය. රාවණා සමඟ ගතින් එක් නොවූ සීතා ගේ ඇතුළු හද ගැබෙහි රාවණා වෙනුවෙන් උපන් රහසිගත ආදරයක් නොවීද? කිවිඳිය සීතාගේ ආත්ම කථනයක් ලෙසින් ඇගේ සසල වූ හදවතෙහි චිත්ත රූපය අප හමුවේ මවන්නීය.

හිම වගේ හීතලයි මේ වංකගිරි වනේ

රාවණා නුඹ කොහිද මට තනිය දැනේ

කුදලාන ඇවිත මා වහං කෙරුවට ලෙනේ

ඇස් දෙකෙන් ගලන්නෙම ඔය හිතේ ඇති සෙනේ

 

රාවණා නුඹට ඇති චෝදනා බරපතළයි

ඉතිහාසේ පුරා නුඹෙ නමට කළු කැළලයි

ලෝකෙටම පේන්නේ නුඹෙ සළෙලකමමයි

ඒත් මම දක්කෙ නුඹෙ ඇස් දෙකේ පෙමමයි

 

ඇල්ලුවේ නැති උනත් අතින්වත් අත

ඇස්වලින් බදාගත්තම මගේ හිත

දන්නවා උනත් අපි අපිට අයිති නැත

සැලෙනවා රාමාට බැඳුණු පතිවත

රාවණා නුඹෙ නපුර මගෙ ළඟදි කීකරුයි

ඒ නිසාමද මංද මමත් හරි ළෙංගතුයි

ප්‍රේමයේ පැහය බොඳ වුණත් ඇස් දිස්න දෙයි

රාමාව අමතකව යාවිදෝ බය හිතෙයි

 

එකම එක රැයක්වත් නුඹේ ඔය සද්දන්ත

පපුතුරේ කොහේ හරි හීතලට ගුලි වෙන්න

ඉඩක් නොතියම ඉතින් සිහගිරට ගිනි තිබ්බ

උන් දන්නවද නුඹේ පිරිමකම මං දැක්ක

 

රාවණා නුඹේ ඇස් මට කිව්ව පෙම් කතා

සත්තමයි පපුතුරේ සඟව ගන්නම් සදා

ගතින් සිල් නොබින්දට හිතේ සිල් බිඳි නිසා

රාමාගෙ අග්නියෙන් බේරෙන්න බෑ තමා

ශානිකා කිවිඳිය ඇගේ පරිකල්පනයෙන් මවන්නා වූ සීතාව ලේ මස් නහරින් සැදි සැබෑ මිනිස් දුවයි. ඈ රාවණා ගේ පුරුෂ කාය මෙන්ම වීරෝධාර ගති ගුණ ද දකී. ශානිකා කිවිඳියගේ නිර්මාණයෙහි දී අපට හමුවන්නේ කළු සුදු චරිත නොව සැබෑ ජීවිතයේ දී අපට හමුවන මිනිසුන් හා ගැහැනුන්ය. අප දකින්නේ ඔවුන් ගේ සැබෑ මිනිස් හැසිරීම් ස්වභාවයි. ප්‍රතිනිර්මාණිත කාව්‍යමය අනුභූතිය විශ්වසනීයත්වයෙන් යුත් අත්දැකීමක් බව පාඨක අපට දැනේ. එය කිවිඳියගේ ප්‍රතිභාවයි. ඈ විසින් භාවිත භාෂාව කාව්‍යොචිතයි. අර්ථ රසයෙන් යුතුයි.

අන්තර්ජාලයේ, මුහුණුපොත, කවි බ්ලොග්, කවි වෙබ් අඩවි තුළ ගජමන් නෝනාට නොදෙවෙනි කවිකාරියෝ වැහි වැහැලාය. ඔවුන්ගේ නිර්මාණ පිළිබඳ වෙනමම කතා කළ යුතුය. ඔවුන්ගේ කවි ගැන විචාර ලියන විචාරක විචාරිකාවෝ ද එමටය. සම්මානිත නවකතාකරු, සමන් වික්‍රමාරච්චි පවසා තිබූ පරිදි මුහුණු පොතෙහි තරම් මහා පඬිවරු හෝ විචාරක විචාරිකාවෝ අන් කිසි තැනක නොමැත. එහෙත් අවාසනාව නම් මුහුණුපොත කවි කිවිඳියන් මෙන්ම විචාරක විචාරිකාවන් අතර මෙකී ක්ෂේත්‍ර පිළිබඳ පොත පත කියවීමෙන්, කලාත්මක නිර්මාණ ආශ්‍රයෙන් ලද දැනුමැත්තෝ අල්පයක් වීමයි. එහෙත් මේ පසුබිම යටතේ වුව ශානිකා ශෂිප්‍රියා වැනි මෙතෙක් තම නිර්මාණ කෘතියකින් පාඨකයන් හමු නොවූ ප්‍රතිභාන්විත කිවිඳියක් හා ඇගේ අගනා නිර්මාණ පිළිබඳ විමසන්නට ලැබීම ආස්වාදජනක අත්දැකීමකි. පද්‍ය කාව්‍ය තරගාවලී රැසක දී ඈ තම නිර්මාණ කෞශල්‍යය වෙනුවෙන් සම්මාන දිනා සිටින්නීය. මුහුණු පොත විචාරක විචාරිකාවන්ගේ ප්‍රශස්ති විචාරවලට නොරැවටී කලාත්මක, සැබෑ කවියෙහි ගුණරුව හඳුනා ගනිමින් කාව්‍යකරණයෙහි නිරත වන ශානිකා ශෂිප්‍රියා වැනි කිවිඳියක මතු දවසේ දකින්නට ලැබේවාය යන්න කාව්‍ය ලෝලී සියල්ලන්ගේ ප්‍රාර්ථනාවයි. ශානිකා එම ප්‍රාර්ථනාව යථාර්ථයක් කරනු විශ්වාසයි. නිසැකයි.

බුද්ධදාස ගලප්පත්ති


නව අදහස දක්වන්න

Or log in with...