වැස්සයි වැවයි | දිනමිණ

වැස්සයි වැවයි

විටින් විට වහින වැස්ස හිරිහැරයකැයි හැඟුණද කාලයක් මුළුල්ලේ වැසි පතා හුන් පොළොවට ආශීර්වාදයක් නොවන්නේද? දැඩි හිරු රැසින් දැවී වියළී ගිය පොළොව තෙමී, පෙඟී ලකලෑස්ති වන්නේ බිජුවට ඇකයේ හොවා හෙට දවසේ අස්වැන්න ගොවි දෑතට පිරිනමන්නටය.

“කොල්ලෙකුට කෙල්ලෙක් වගේ, මිනිහෙකුට ගෑනියෙක් වගේ එපාම එපා වෙන දේ තමා මේ වැස්ස“

දෙවැන්නාගේ උපමා උපමේයන් වටහාගත නුහුණු මම ‘මොකක්ද? මොකක්ද?‘ යි වහා ප්‍රශ්න කළෙමි.

“නෑ ඉතිං... කොච්චර පස්සෙං ගිහිල්ලා චාටර් වෙලා දාගත්තත් කොල්ලට වැඩි දවසක් යන්ඩ කලිං කෙල්ලව එපා වෙනවනේ. ලව් කරලා බැන්දත් මිනිහෙකුට ගෑනියෙක් එපාවෙන්නත් වැඩි කාලයක් යන්නෙ නෑනේ. අපිටත් ඉතිං කොච්චර පෑව්වත් සේරම කරකුට්ටං වෙලා ගියත් දවස් දෙක වහිනකොට වැස්ස එපා වෙන්නැද්ද අම්මා...?“

මා සිනාව මැඬගත්තේ වෑයමෙනි.

“ඒක නං ඇත්ත තමා“ යි හිස් සලමින් ඔහුගේ සහෝදරයන් වහා එකඟ වූ කල මා මැඬගත් සිනාව පිපිරී ගියේය.

“එපා වෙන්නැද්ද අප්පා... එළියට බහින්න බෑ... සෙල්ලමක් කරන්න විදියක් නෑ... දවස තිස්සෙම වහිනවා...“

මගේ සිනාවට හවුල් නොවූ කොල්ලෝ වැස්ස හෙළා දකිති.

“මොකද අනේ මේ...? ඕගොල්ලො පුරුදුවෙන්න ඕන අව්ව වැස්ස අභියෝගයක් කියලා හිතලා වැඩ කරගන්න...“

මට මගේ කතාව හමාර කරන්නට ඉඩ නොදුන් ඔවුන් ‘අයියෝ එපා එපා...‘ යි මුර ගෑවෝය.

“ඇයි? මොකද?“ යි මම අප්‍රමාණ විමතියෙන් ප්‍රශ්න කළෙමි.

“අර හැම වැහි කාලෙටම තියන හිම වැටෙන රටවල්වල ළමයින්ගෙ කතාව නං කියන්න එපා අම්මේ... මෙන්න වැන්දා...“

අත් අටක වන්දනයෙන් වික්ෂිප්තව ගිය මම ඊළඟ මොහොතේ මහ හයියෙන් හිනැහුණෙමි.

කොල්ලෝ විසිර යෑමෙන් පසුව උයන්නට පටන්ගත් මම නොකඩවා වහින වැස්සෙන් පිරී යන වැව් සිහි කළෙමි. කලක පටන් ගොවියන් වෙතින් නැ‍ඟෙන මැසිවිල්ල නම් වැව් නොපිරෙන බවද, නිසියාකාරයෙන් ජලය එක්රැස් කරගන්නට වැව අපොහොසත් වන බවය. ජබන් ජබර ආදී ගැටලු මෙන්ම වැව් හෑරීමේදී සිදුවන අකටයුතුකම් ද එකී තත්ත්වය නිර්මාණය කරන බව පැහැදිලිය. නියං සමයේදී කෙමෙන් සිඳී යන වැවේ බව භෝග වගා කරගන්නට තරම් අපේ ගොවියන් පෙළඹී සිටීම කොතරම් ඛේදජනකද? අපේ පැරැන්නාට නම් වැව ප්‍රාණය හා සම විය. කිසියම් ශුද්ධ වස්තුවක් තරමට පූජනීය හා අගනා එකක් විය. එහෙත් වර්තමානයේදී වැව යනු රැකගත යුතු වටිනා වස්තුවක් නොව කැබැලිකොට තමා සතු කරගත යුතු නිෂ්ඵල දේපළක් ලෙස හඟින්නට අපේ උදවිය පුරුදු වී සිටීම තරම් විපතක් තවත් ඇත්ද?

ගමට හා වැවට මෙන්ම භූමියට ද වග කියන රාජ්‍ය නිලධාරීන් ඕනෑ පදම් සිටියද නීති විරෝධී ක්‍රියාවන් පාලනය හා මැඬපැවැත්වීම කෙරෙහි දක්වන අලස නිද්‍රාබර බව හේතුකොටගෙන වැව විනාශ මුඛයට යන බව මඳක් ඇස ඇර බැලුවහොත් දැකිය හැකිය. වැව හෑරීමේදී එක්රැස් වන පස් පවා වැව් කණ්ඩියේ අතුරන්නට ක්‍රියා නොකොට විකුණාගන්නා නොඑසේනම් තම තමන්ගේ ගෙවතු කරා ගෙන යන ගොවි සංවිධාන හා රාජ්‍ය නිලධාරීන් පිළිබඳව සොයා බලන්නට ද එකී නිහීන අපරාධ උදෙසා දඬුවම් දෙන්නට ද යාන්ත්‍රණයක් මෙරට තුළ නොමැත්තේය. පණනල රැක දුන් මව් දෙතන හපා කෑම හා සමාන අකටයුත්තක් නොවේද වැව විනාශ කිරීමට වැවේ දියවරින්ම උස් මහත් වූ මිනිසුන් ක්‍රියා කිරීම.

බිම් කඩක් යනු රුපියල් සත පමණක් වූ රටකට වැව රැකගත යුතු සම්පතක් නොවේ. ජලය ගබඩා කරන අපා දෙපා සිවුපා සියලු සත්වග ද ගහකොළ ද රැක දෙන පෝෂණය කරන මාහැඟි සම්පතක් නොවේ. අධි පරිභෝජනයට වහල් වූ අපට වැඩි වැඩියෙන් මුදල් උවමනා කෙරේ. ඒ සඳහා වැව පවා කැබලිකොට විකුණන්නට අපි මැළි නොවෙමු. වැවේ පවා වගාකරන්නට අපි නොපැකිළෙමු. වැව විනාශවීමෙන් ගමක් පමණක් නොව රටක්ම වළපල්ලට යන බව වටහාගන්නට තරම් සිහි නුවණක් අපට නැත්තේය.

වැව රැකගත්තේ නම් වප්, ඉල්, උඳුවප් තෙමස මුළුල්ලේ වහින වැස්සෙන් පිරී යමින් නොවහින මාස නවයක් පුරා ජලය ලබා දෙන්නට සමත්වන බව අපි අමතක නොකරමු. ගොවිතැනට ජලය නැහැයි කන්කෙඳිරි ගාන්නට එවිට අපේ ගොවියන්ට සිදු නොවනවා නිසැකය. වැව රකින්නට හා නඩත්තුවට වහාම විශේෂ වැඩපිළිවෙළක් යෙදිය යුතු බව අපේ ලොකු ලොක්කන්ට අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමු.

ශාන්ති දිසානායක


නව අදහස දක්වන්න

Or log in with...