මළ­වුන්ගේ දවස | දිනමිණ

මළ­වුන්ගේ දවස

කතෝලික බැතිමතුන් නොවැම්බරය සලකන්නෙ මළවුන්ගෙ මාසය හැටියටයි. හැම අවුරුද්දෙම නොවැම්බර් 1 දිනය සියලු සාන්තුවරයන්ගෙ දිනය හැටියටත් නොවැම්බර් 2 දිනය මළවුන් සිහි කරන දවස ලෙසත් ඔවුන් නම් කර තිබෙනවා. එතැන් සිට ඇරඹෙන සමස්ත නොවැම්බරයම වෙන් කර තිබෙන්නේ මළවුන්ට පින්පෙත් සැලසීම සඳහා ආගමික වතාවත් ඉටු කිරීමට හා දානමාන පිරිනැමීමටයි. ලොව පුරා කිතුණු බැතිමතුන් මළවුන් සිහි කරන මේ සමයේ දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වන්නේ පවුල් පිටින් එක්ව විවිධ පුණ්‍ය කටයුතුවල නිරත වීමට ඔවුන් දක්වන උනන්දුවයි. තම ඥාති මිත්‍රාදීන් සමාදානයේ සැතපෙන සොහොන් බිම් මලින් පහනින් සරසා ඔවුන්ගේ ආත්මවලට සැනසුම පතා දෙවියන් යැදීම නොකඩවාම කෙරෙන චාරිත්‍රයක්. මේ චාරිත්‍රයට දිගු ඉතිහාසයක් තිබෙන බවයි වැඩිමනත් තතු සෙවීමේදී දැනගන්නට ලැබුණෙ. කිතුණු බැතිමතුන් පවසන ආකාරයට මේ චාරිත්‍රය ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගස්ථ වී සියවස් ගණනාවකට පසුව ආරම්භ වූ එකක්.

ඔක්තොබර් මස 28වන ඉරිදා ”ඥානාර්ථ ප‍්‍රදීපය” කතෝලික පුවත්පතේ කතුවැකිය වෙන් කර තිබෙන්නේ මළවුන්ගේ මාසය වෙනුවෙනුයි. මළවුන්ගේ මාසය පිළිබඳ කෙටි හැඳින්වීමකින්ද සමන්විත එහි මෙසේ කියවෙනවා. ”කතෝලික සභාවේ මුල් යුගයේ සිට යුදා සමය හරහා පැමිණි මළවුන් සිහි කිරීමේ චාරිත්‍රයක් තිබූ අතර ක්‍රි. ව. 998දී සාන්ත ඔඩිලෝ තුමන් විසින් නොවැම්බර් මස 2දා මළවුන් සිහිපත් කිරීමේ දිනය ලෙස ස්ථාපිත කරන ලද බව ඉතිහාසය සටහන් කරයි. දෙවියන් වහන්සේ සමඟ අප සදාකාලික ජීවිතයේ ප්‍රීතිය අත් විඳිනු සඳහා අප මැවූ බව අපගේ නොබිඳෙන විශ්වාසයයි. එපමණක් නොව මරණින් උස්ථාන වූ සමිඳාණන් වහන්සේ සිය ජීවිත සාක්ෂියෙන් අප සැමට සදාකාලික ජීවිතයක් තිබෙන බව සහතික කළ සේක. ඒ නිසා මළවුන්ගේ අවුරුදු සමරණ ජීවතුන් අතර සිටින අප, අපේ මියගිය සියලු සගයන් සදාකාලික ජීවිතය භුක්ති විඳින්නට හේතුකාරයන් කරන ලෙස යදින අතර, කිසියම් දවසක අපත් ඔවුන් සමඟ එක් වන බව සිහිපත් කරන්නේ මළවුන්ගේ මාසයයි”

වසරකට වරක් හෝ මෙසේ සෙහොන් බිමක් වෙත යාම මගින් මළවුන්ට බුහුමන් දැක්වීමට අමතරව ජීවිතයේ අනියතබව පසක් කර ගැනීමටත් අවස්ථාවක් සැලසෙන බව කිතුණු බැතිමතුන් සලකනවා. සොහොන් බිමක් පසු කර යන විට කිසියම් දවසක තමන්ද එවැනි බිමක සැතපෙන බව සිහිපත් වී එකිනෙකාට වෛර කිරීමෙන් දුරස් වීමට හා වස්තු දේපළ පොදිගැසීමට ඇති තණ්හාවෙන් මිදී සිටීමට රුකුලක් සැපයෙන බවකුත් ඔවුන් විශ්වාස කරනවා. මේ නිසා මළවුන්ගේ දිනය එළඹීමට පෙර සොහාන්පිටි සුද්ද පවිත්‍ර කර තම ඥාතීන් සදාකාලික නින්දේ සැතපෙන සොහොන් ගැබ් අලංකාර කිරීමටත් ඔවුන් අමතක කරන්නේ නැහැ. මළවුන් වෙනුවෙන් විශේෂ දේව පූජාවක්ද නොවැම්බර් 2දා, එනම් මළවුන්ගේ දිනය දා සොහොන් බිමේදීම පැවැත්වෙනවා. මල් පොකුරු හා ඉටි පහන් රැගෙන සොහොන් පිටියට එන බැතිමතුන් තම ඥාතියා නිදන බිම්කඩෙහි ඒවා තැම්පත් කර මළවුන්ගේ ආත්මයට නිත්‍ය සමාදානය පතා දෙවියන් හමුවේ යාච්ඤා කිරිම අනිවාර්යෙන්ම ඉටු කෙරෙන වතාවතක්.

නොවැම්බර් 1 දිනය සාන්තුවරයන්ගේ දිනය ලෙස නම් කර ඇත්තේ මන්ද කියන කාරණයත් ඉහත කී කතුවැකිය මගින්ම පැහැදිලි කර දෙනවා. මරණින් මතු ජීවිතයක් පිළිබඳව කතෝලිකයන් තුළ ඇති විශ්වාසය ශක්තිමත් කරගැනීමට සහාය වන්නේ සාන්තුවර සාන්තුවරියන් නිසා ඔවුන් සිහිපත් කිරීමට දිනයක් වෙන් කිරීම වැදගත් වන බවයි ඉන් පැවසෙන්නේ. එසේම කිතුදහම ප්‍රචලිත කිරිමේ ගුරු තරු සේ සැලකෙන ටර්ටූලියන් හා සාන්ත සිප්‍රියන් වැනි උතුමන්ලා සිහිපත් කිරීමට සාන්තුවර දිනය යොදාගන්නා බවකුත් ඒ කතුවැකියෙන් ගම්‍ය වෙනවා. මෙදින උදෑසන කුඩා දරුවන් නිවෙස්වලට කැඳවා ඔවුන්ට කිරිබත් හා රසකැවිලි ආදියෙන් සංග්‍රහ කිරීමේ චාරිත්‍රයකුත් කතෝලික බැතිමතුන් විසින් ඉටු කෙරෙන බවක් අසන්න ලැබුණා.

මළවුන්ගේ මාසය තුළ දානමාන දීමේ දී පුලන්නන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමත් බොහෝ කතෝලිකයන්ගේ සිරිතක්. පුලන්නන් වශයෙන් සැලකෙන්නේ අගහිඟකමින් පෙළුණත් අනුන්ගෙන් සිඟමන් යදින්නට අකමැති අයයි. යමක් භුක්ති විඳිමට පුල පුලා සිටින පිරිසක් යන අරුත පුලනන්නන් යන වදනින් මැනවින් ගම්‍යමාන වෙනවා. වැඩි කුසලක් අත් වන්නේ නැතිබැරිකම් තිබුණත් දෑත පා යදින්නට අකමැති මෙවැන්නන්ට උදව් උපකාර කිරීම මගින්ය යන විශ්වාසය මතයි කතෝලිකයන් මේ දන්දීම කරන්නේ. මිය ගිය ඥාතියා කෑමට බීමට ප්‍රිය කළ ආහාර පානවලින් මළවුන්ගේ දානවලට සහභාගි වන පුලන්නන්ට සංග්‍රහ කිරීමට වගබලා ගැනීමත් කතෝලිකයන්ගේ සිරිතක්. එසේ කිරීමෙන් මළගිය ඥාතියාගේ ආත්මයට සදාකාලික සුවයක් අත් වන බවයි ඔවුන්ගේ විශ්වාසය. අග හිඟකම්වලින් පෙළෙන පවුල් කීපයක් තෝරාගෙන ඔවුන්ට ආහාර ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම් පමණක් නොව මුදල්ද ඇතුළත් තෑගි මල්ලක් ප්‍රදානය කිරීමටත් යමක් කමක් ඇති කතෝලිකයන් පුරුදුව සිටිනවා. මෙහිදී ජාති ආගම් හෝ වෙනත් ප්‍රභේද කෙරෙහි කිසිම සැලකිල්ලක් නොදැක්වීම කතෝලික බැතිමතුන්ගේ දැකිය හැකි සුවිශේෂ ගුණයත් බවත් කිව යුතුයි.

මළවුන්ගේ දිනය දා මෑණියන්ගේ සොහොන අබියසට ගිය කවියෙක් තම මෑණියන්ගේ මරණ මංචකය සිහිපත් වී ලියූ මේ කවියෙන් මළවුන් වෙනුවෙන් දවසක් නම් කිරීම මගින් කතෝලික සභාව සපුරා ගැනීමට අපේක්ෂා කරන අරමුණ පසක් කරන සැටි මොනවට පැහැදිලි වෙනවා.

නික්මයාම

මා දයාබර මෑණියන්ද

සමාදානයේ සැතපෙනුයේ මෙහිය

ඇගේ නම ගත් කුරිසිය සොයා

පස් ගොඩැලි මතින් අපි පැන යමු

අම්මා

ස්වර්ගස්ථ වෙන්නට පෙර දා

මැදුම් රැයෙහි

මා යහන අසලට පැමිණ

බිඳුණු හඬින් කළ ඇමතුමට

මගේ මුවින් ගිලිහුණු රළු බස්

සුළඟේ පාව විත්

මා සවන්පත් පාරයි

“ඇයි අම්මේ මේ මහ රෑ

ඇවිදින් කරදර කරන්නෙ

ඊයෙත් ඩොක්ටර් කීවේ

අමාරුවක් නැහැ කියලනෙ”

අම්මා නැත කවදාවත්

රෑ ඇවිදින් ඊට පසුව

බාධ කළේ අපෙ නින්දට

හීනෙන් පෙනීලාවත් නැත

ලෙඩක් දුකක් කීවෙ අපට...

ඉටි පහන් උණුහුමට මැලවුණු

මල් පොකුරු දෙස

අවසන් වරටත් නෙත් හෙළමි

පමා වී නැඟුණු කඳුළක්

සුසුමක පා කර හැර

සොහොන් බිමින් නික්ම යමි...

කමල් පෙරේරා


නව අදහස දක්වන්න

Or log in with...