අඩු-වැඩි ලකුණු | දිනමිණ

අඩු-වැඩි ලකුණු

නගරයේ මිනිසුන්ට එක් රැස් වී සිටිය හැකි තැන් වසින වැස්සෙන් සේදී ගොසිනි. වෙනදාට සිය දරුවන්ගේ පාසල් හමාර වන වෙලාව ළඟා වන තුරු අල්ලාප සල්ලාපයේ යෙදෙමින් පාසල් ගේට්ටුව අසල, තුරු සෙවණ යට කල් ගෙවන දරුවන්ගේ මවුවරුන්ට ඒ තැන් තොරතෝංචියක් නැතිව ඇද හැලෙන වැස්ස විසින් අහිමි කරනු ලැබුවා සේ ය. වැස්සෙන් විසිර ගිය මවුපිය සමාජය හුදකලාව ම හෝ දෙතුන්දෙනා එක්ව කඩපිල්, හෝටල් ආදී නොතෙමෙන තැන් සොයා ගොස් ය.

වැස්ස නිසා නගරයේ හෝටලයකට ගාල් වූ අම්මා කෙනෙක් කාලය ගත කරන්නට මෙන් තවත් කාන්තාවක් හා කතාබහේ නිරතව හිඳී. අනෙක් කාන්තාව නගරාසන්න ආයතනයක සේවය කරන්නියකි. ඇය කිසියම් අවශ්‍යතාවකට වරු නිවාඩු දමා නගරයට පැමිණි අතරේ දාවල් බත සඳහා හෝටලයට පැමිණි තැනැත්තියකි. ඇය ද පාසල් වියේ පසුවන දරුවකු ගේ මවකි. දෙදෙනාට ම දරුවන් පිළිබඳ කතාබහ රුචි වූවා සේ ය.

“මගෙ පුතා යන්නෙ කොළඹ ... එකට.” (වරු නිවාඩු දමා පැමිණි කාන්තාව කොළඹ ප්‍රධාන පෙළේ පාසලක නමක් කියයි.) තවමත් ප්‍රාථමික පන්තියක ඉගෙනුම ලබන සිය දරුවා ද එවන් පාසලකට ඇතුළු කිරීමේ සිහිනයකින් පසුවන අනෙක් කාන්තාව ද ආශාවෙන් අසා සිටින්නී ය.

“පුතාලගෙ ඉස්කෝලෙ අද චිත්‍ර ප්‍රදර්ශනයක්. එකේක පන්තිවල ළමයි ඇඳපු චිත්‍ර එකතු කරලයි ප්‍රදර්ශනේ තියන්නෙ. ඉතින් අපේ පුතත් චිත්‍රයක් ඉදිරිපත් කළා. ඊයෙ හොඳම චිත්‍ර තේරුවලු අද තෑගියි සහතිකයි දෙන්න. අනේ අපේ පුතාගෙ චිත්තරෙත් තේරිලා. ඉතින් අද තෑගි හම්බ වෙනවනෙ. එයා අත් දිග ෂර්ට් එකක් ඇඳගෙන කොලේජ් ටයි එක හෙම දාල ඉස්කෝලෙ ගියා.”

ළමයි කොළඹ යවන කාන්තාවගේ ස්වරයේ සතුට හා ආඩම්බරය මුසු වී තිබේ. අනෙක් කාන්තාව අසා සිටී. ඇය ද කතාව කියන්නියගේ ළමයා ගැන අදහස් පළ කරයි.

“ පුතා චිත්‍ර අඳින්න දක්ෂ ඇති නේ ද?”

“ අනේ නෑ. එයාට චිත්‍රවලට එහෙම දක්ෂකමක් තිබ්බෙ නෑ. එයා ආස විද්‍යාව වගේ සබ්ජෙක්ට්වලට. කොටින් ම චිත්‍ර එහෙමට ඉගෙනගන්ට ආසාවක් එයාට නෑ. ඒ පැත්තෙන් යන්ට හිතන්නෙවත් නෑ. ඒත් කොහොම හරි තෑගි ලැබුණා. ඉස්කෝලෙන් දීපු තේමාවක්නෙ ඇඳල තියෙන්නෙ. මං හිතන්නෙ අපේ පුතා තේමාව හරියට ම අල්ල ගන්න ඇති. එයාට අනේ ඔය ඕනැදෙයක් හිතල මතල කරන්න පුළුවන්.”

අද කාලයේ පාසල් වියේ දරුවන් සිටින කාන්තාවන් එකිනෙකා හමුවුණු විට ඔවුනොවුන් අතර කතාබහ සිදුවන්නේ සිය දරුවන් අරභයා ය. මෝස්තර හා ඇඳුම්පැළඳුම්, බඩුමිල, ගෙවත්තේ සිටුවන මල්වර්ග, දේශපාලනය ආදී කතාබහ වැටෙන්නේ අතුරු මාතෘකා ගණයට ය. දරුවන් ඉගෙනගන්නා පාසල හා එහි විශිෂ්ටත්වය අන් කවරදාකටවත් වඩා සමාජ පෞරුෂය හුවා දක්වන කාරණයක් බවට පත්ව ඇත්තේ ය.

“ ඔයත් පුතා දාන්න ... කොලේජ් එකට. කොහොමටත් පිරිමි ළමයින්ගෙ ඉස්කෝල කුහක නෑ. මගෙ දුව යන්නෙ කොළඹ ... කොලේජ් එකට. ගෑනු ළමයි හරි කුහකයි. දන්න දෙයක් කියල දෙන්නෙත් නෑ. පිරිමි ළමයි එහෙම නෑ. යාළුවන්ට කියල දෙනව. දක්ෂයො වුණත් විභාගෙදි බැරි උන් ගොඩ දාන්ට බලනව. අපේ හස්බන්ඩ්ට ඔය කතාව කීව ම එයා කියන්නෙ ඔයාලගෙ ස්ත්‍රී වර්ගයා කොහොමටත් කුහකයි කියල...”

ගැහැනු දෙදෙනම සිනාසෙති. කොහොමටත් දරුවන්ට කුහකකම් උගන්වන්නෝ වැඩහිටියෝ ය. විශේෂයෙන් ම දෙමාපියෝ ය. එවන් අවස්ථා මට බොහෝ සෙයින් දැක පුරුදු ය.

මාස දෙක තුනකට පෙර මා ආපන ශාලාවක සිටින අවස්ථාවක මට එපිටින් වූ මේසයක මවක් සිය කුඩා දරුවා හා වාඩිවී සිටියා ය. ඇය සිටියේ සිය දරුවා ලද ලකුණු විමසමිනි.

“ මට ලකුණු අසූ තුනක් තියනව. පන්තියෙන් ම අටවෙනියට ලකුණු තියෙන්නෙ මට.”

දරුවා කීවේ කිසියම් අභිමානයකිනි.

“අයියෝ අට වෙනියට. අට වෙනියට නෙමෙයි පුතේ පළවෙනියට ලකුණු ගන්ට ඕනෑ. නැතුව වැඩක් නෑ.”

අම්මා දරුවා සතු අභිමානය පාගා දමා ඒ මත ආත්මාර්ථකාමිත්වයේ බිජුවට වපුළා ය. හදිසියේ ඇයට තව කිසිවක් මතක් වූවා සේ ය.

“ එතකොට අශාන්. එයාට ලකුණු කීයද?”

“එයාගෙ ලකුණු හොඳයි. එයාට මට වඩා වැඩියි. එයාට ලකුණු අසූ හයයි.”

දරුවා කීවේ ය. එසැණින් මවගේ මුහුණ විරූපි විය. ඇය සිය දරුවා දෙස බැලුවේ මහා අපරාධයක් කළ එකෙකු දෙස බලන තාලෙට ය.

“ මොනවා? මොනවා? අශාන්ට ඔයාට වඩා ලකුණු වැඩියි. එහෙම වුණේ කොහොම ද? එහෙම වෙන්න බෑ. කොහොම හරි ඔයා අශාන්ට වඩා ලකුණු ගන්න ඕනෑ. දන්නවනෙ අශාන්ගෙ අම්මගෙ හැටි. එයා පුතාගෙ ලකුණු ගැන කයිවාරු ගහන්ට පටන් ගනී. ඔයාගෙ අම්ම කොහොමද එයාගෙ කයිවාරු අහගෙන ඉන්නෙ? හොඳට මතක තියාගන්ට. මින් පස්සෙ ඔයා කොහොම හරි අශාන්ට වැඩියෙන් ලකුණු ගන්ට ඕනෑ.”

අම්මා දැඩිව පුතාට කියා සිටියා ය. ළමයින් ලබන ලකුණු සිය ගෞරවය වෙනුවෙන් ඔහු විසින් අනිවාර්යෙන් ම උපයා සපයා ගත යුතු අස්වැන්නක් යයි සමහර මවුවරු සිතා සිටිති. අසල්වැසියාගේ දරුවාට වඩා අනිවාර්යෙන් ලකුණු ඉපයිය යුතුය යන කිසිසේත් ම සාධාරණ නොවන අනවශ්‍ය ඉලක්කයක් උහු සිය අසරණ දරුවන්ට ලබා දෙත්. ඇතැම් මව්වරු (සමහර විට පියවරු) සිය දරුවාට වඩා අසල්වැසියාගේ දරුවාට ලකුණු වැඩිවූයේ කෙසේදැයි සොයා බලන්නට පන්තිභාර ගුරුවරිය හෝ විෂයභාර ගුරුවරිය හමුවන්නට පාසලට ද යති. වතාවක් මා හඳුනන ගුරුවරියක් මඳක් එපිටින් යන ගැහැනියක් මට පෙන්වූවා ය.

“අර යන ලේඩි දැන් දවස් දෙකක් ම ඉස්කෝලෙට ආව. එයාගෙ ළමයාට වඩා අල්ලපු ගෙදර ළමයාට ලකුණු වැඩිවුණේ කොහොමද කියල අහන්න. අල්ලපු ගෙදර ළමයගෙ පේපර් එක ඉල්ලනව එයාට බලන්ට. මම කීව එහෙම දෙන්ට බෑ කියල.”

මේ ක්‍රෑර තරගය නිසා බොහෝ විට අසල්වැසියන්ගේ හොඳහිත ද බිඳී යයි. එකිනෙකාට උපකාර කරමින් හොඳින් ජීවත් වූ මිනිස්සු නයි පොළොඟුන් සේ එකිනෙකාට වෛර බඳිති. සියල්ලට ම වඩා දැඩි ඛේදවාචකය බවට පත්වන්නේ ලකුණු අරභයා සිදුවන තරගයෙන් හා අමනාපයෙන් අසරණ දරුවන්ට විඳින්නට සිදුවන මානසික පීඩනයයි.

දරුවෝ මල් වැනි සිත් ඇත්තෝ ය. එහෙත් දෙමාපියෝ සිය දරුවන් ඔරොත්තු නොදෙන තරගයකට ළමා වියේ සිට ම යොමු කරමින් ඒ නිකැළැල් මල් තලා පෙළා දමති. සිය මිතුරු මිතුරියන් හා තරගයට යොමු කිරීමෙන් කුඩුකේඩුකම් හුරු පුරුදු කරවති. ළමා වියේ පටන් තිබිය යුතු යහපත් බවේ සාරය විනාශ කර දමති.

ළමයි මූලික වශයෙන් යහපත් පුරවැසියන් විය යුත්තෝ ය. දරුවන් සතු සහජ කුසලතා හඳුනාගෙන එකියන සහජ කුසලතා ඇසුරින් යහපත් පුරවැසියන් ගොඩනැඟෙන සේ අධ්‍යාපනය ඔවුන් වෙත පිරිනැමිය යුත්තේ ය. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය දෙමාපියන් තුළ තරගය දල්වන ක්‍රමවේදයක් වීම ද අපේ අවාසනාවකි. තරගයෙන් මිදෙන්නට යයි කියමින් කවරාකාරයේ අලුත් අංග හඳුන්වා දුන්න ද ඒ සියල්ල පෙරලා පෙර තිබුණු තරගය තීව්‍ර කරමින් ඉදිරියට ම යනු දක්නට ලැබීම අපේ කාලයේ අවාසනාව බවට පත්ව තිබේ.

සිය දරුවාගේ ලකුණු අඩුවීම පන්තිභාර ගුරුවරිය හෝ විෂයභාර ගුරුවරිය මත පටවන්නට අපේ මව්වරු බෙහෙවින් සමත්කම් දක්වත්. සිය දරුවන් රැගෙන පාසල ඇරී මව්වරුන් පාරේ ගමන් කරන අවස්ථාවල ඔවුන් කතා කරන දෑ ඔබට ඇසී ඇතිවාට සැකයක් නැත. සමහරු මෙසේ කියත්.

“ අපේ ළමයා කොයිතරම් වැඩ කරත් ටීචර් ලකුණු දෙන්නෙ අඩුවෙන්. පහුගිය දවස්වල ගෙදරවැඩ සේරම මම ම බල බල කෙරෙව්ව. හදාගෙන යන්න කියන දේවල් මමයි අපේ එක්කෙනයි මහන්සි වෙලා හදල යැව්ව. පොත පාඩම් කෙරෙව්ව. ගණන් හැදෙව්ව. සේ‍රම කරලත් අරකිගෙ කෙල්ලට අපේ ළමයට වැඩියෙන් ලකුණු. මං හිතන්නෙ අරකි හොරෙන් හොරෙන් ටීචර්ට තෑගිබෝග අරන් යනව ඇති. නැත්නම් කෙහෙද ඒ ළමයට ලකුණු වැඩිවුණේ.?”

දරුවාගේ ලකුණු අඩුවීමේ කේන්තියට පන්තිභාර ගුරුවරිය මතු නොව සිය දරුවාට වඩා වැඩියෙන් ලකුණු ලබා ගන්නා දැරියකගේ මව ද වගඋත්තරකාරියක් බවට පත්ව ඇත. කුඩා දරුවාගේ ගුරුවරිය බොහෝ විට විවේචනයට ලක්වන්නේ දරුවා ඉදිරියේ ම ය. මේ අතිශයින් අහිතකර තත්ත්වයකි. දරුවන්ට කුඩුකේඩුකම් හා කුහකකම් හුරු කරවන මූලිකයෝ මවුපියෝ ය. එසේ කරමින් වැඩියෙන් කුහක බාලිකාවන් ද නැත්නම් බාලකයන් ද වැනි පුහු තර්කවල නිරත වීමෙන් පලක් නැත්තේ ය.

 මහානාම දුනුමාල


නව අදහස දක්වන්න

Or log in with...